හද්දා වැස්ස. අපේ සමහර ව්‍යවහාර පිළිබඳව සමහරු උපහාසයෙන් කතා කළත්, ඒවායේ යම් අදහසක් තියෙනවා. ‘හද්දා වැස්ස’ යන්න එවැන්නකි. ‘හත්’ යනු හතය. ‘දා’ යනු දිනය. දින හතක් එක දිගට වහින වැස්ස ‘හත්දා වැස්ස’ය. පර වර්‍ණයේ වූ ‘ද’ යන්න පූර්‍ව වර්‍ණයට වී ‘හද්දා’ බවට පත්වී ඇත. මේ දිනවල පවතින්නේ ‘හද්දා’ වැස්සය. හෙවත් දින හතක් එක දිගට පවතින වැස්සය. බෙංගාල බොක්කේ වායු කැළමීම් නිසා එය ඇති වෙන බව විද්‍යාත්මක උපකරණ නිසා අද පැවසුවත් පැරැන්නෝ එහි ස්වභාවය අනුව නම් කර ගත්හ. සාමාන්‍යයෙන් එය පවතින්නේ ඉල් -උදුවප් අතරය. ඒ නිසාම සමහරවිට ‘උල්’ හෙල්ලේ. ‘උල්’ යනු උල්පත්ය. උල් හොල්ලන මාසය ඉල් මාසයයි. (හද්දා පිටිසර යන්නත්, එවන් අරුතක් ගෙන දෙන්නකි. පිටිසර ගම් පිහිටා ඇත්තේ අගනගරයෙන් ඈතට වන්නටය. දින හතක් තිස්සේ පයින් ගමන් කර, ළඟා විය යුතු ගම්මාන ‘හද්දා පිටිසර’ යනුවෙන් හැඳින්වේ.) හද්දා වැස්ස ලෙඩ දුක්, අතුරු ආන්තරා, ඇති කරයි. නාය යාම්, ජල ගැලීම්වලින් ජනයා පීඩාවට පත් කරයි. මේ නිසා සමහර පත්තිනි දේවාලවල (උග්ගල් අලුත් නුවර) වාර්ෂිකව තෝත්තරද පැවැත්වේ.
1/1