“අයියා පිටි ඩිංගක් කමුද?” නංගී කුස්සියට ඇවිත් කීවා. “අම්මට අහු උනොත් ගුටි කන්න තමා වෙන්නේ.” “නෑ මං දොර ළඟ ඉඳල බලන්නම්.” නංගී ඉස්සරහ දොර ළඟට ගියාය. මම පුටුව තබා කුස්සියේ මේසයට නැඟ රාක්කයේ තබා තිබුණු පිටි ටින් එක ගත්තෙමි. එහි පියන හැර පිටි හැන්දක් කටේ දා ගතිමි. තව එකක් කටේ දාගෙන නංගිට කතා කරන්න හැරෙනකොටම අම්මා නංගිගේ අතින් අල්ලාගෙන එතැනය. අම්මා මගේද අතින් තදකර අල්ලා ගත්තාය. “ඒත් මං බැලුව හැමදාම පිටි ටින් එකේ පිටි අඩු වෙන්නේ මොකද කියල.” අම්මා මා දෙස රවා බලා කීවාය. මම නංගී දෙස බැලීමි. ඇය ඇස් දෙක ලොකු කර බියෙන් මා දෙස බලා සිටියා මිස කිසිවක් නොකීවාය. හොරු අතටම අසුවී ඇත. බේරිල්ලක් නැත.

1/3

“මේව ගෙනත් තියෙන්නේ අපිට නෙවෙයි ඔයාලටම තමයි. ඒව හොරෙන් කාපුවහම අන්තිමට කහට බොන්න වෙන්නෙත් ඔය ගොල්ලන්ටමයි.” “මේ මේසෙ පුරා පිටි හලල. ඕවට කූඹි වහපුවම ආය කෑමක් තියා ගන්න වෙන්නේ නෑ. ඔයාලටනම් මොකද?” “ඔන්න ඔහොම දෙන්නම වාඩිවෙනව.” අම්මා අපි දෙදෙනාම කුස්සියේ බංකුවේ වාඩි කෙරෙව්වාය. “අදනම් ගුටි පූජාව හම්බ වෙනවාමයි. මම නංගිගේ කණට කර කීවෙමි. කටේ පිරුණු පිටි තලියක් උඩු තල්ලේ ඇලී ඇත. මම හෙමීට දිවෙන් එය කටට ගතිමි. “මෙන්න මේ තේ එක අරන් අර මේසෙට ගිහිං හලාගන් නැතුව බොනව. ආයෙ එහෙම පිටි හොරෙන් කාල තිබ්බොත් බලාගෙනයි.” අම්මා අපිට කිරි තේ දෙකක් හදා දී කීවාය. අපි තේ දෙකත් අරන් මේසෙට ගියෙමු. “මොකද නංගී උනේ?” මම නංගිගෙන් ඇසුවෙමි.

2/3

“මං දොර ළඟ ඉන්නකොට අම්මා එතෙන්ට එනකල්ම මං දැක්කේ නැහැ. අම්මා දැනගත්තා මං ඔත්තු බලනවා කියල. ඒක හන්දයි එයා මගේ අතින් අල්ලගෙනම කුස්සියට ආවේ.” “ඒත් අයියේ මේ කිරි තේ එකට වඩා, පිටි නිකම් කනකොට රහයි නේද?” නංගී කිරි තේ එකේ තිබුණු චූටි පිටි කැටයක් ඇගිල්ලෙන් ගෙන කටට දා ගනිමින් කීවාය. “හ්ම් ..හ්ම්..” මම සිනාසී කීමි

3/3

- ආනන්ද මාරසිංහ -