මල්ලි ගෙදර ආවේ මාස හත අටකට පස්සේ. අද අම්මගේ හිසේ මලක් පිපුන වගෙයි. එහාට දුවනවා මෙහාට දුවනවා. කඩේට දුවනවා. කෑම හදනවා. වෙනද අනෙක් අය උයනකං බලාගෙන ඉන්න අම්මාගේ වෙනස පුදුමයි. “අම්මා මෙච්චර මහන්සි වෙන්නේ මල්ලි අමුත්තෙක්ය?” “අමුත්තෙක් නෙවෙන්නේ කොහොමද? මාස ගානකින් ආවේ. ඌට කටට රහට කෑමක් හදල දෙන එක වරදක්ද? “ඇයි එයත් කසාද බැඳලනේ ඉන්නේ. එයාගෙ නෝනා රසට උයල පිහල දෙනවා ඇති.” “මොන රහක්ද බං. කවුද දන්නේ ලුනුයි බතුයි දෙනවද කියල.” “එතකොට අම්ම හිතන්නේ, ඒ ගොල්ලෝ ලුනුයි බතුයි කාල හැමදාම ජීවත් වෙනව කියලද? එයා රස්සාවක් කරන කෙනෙක්. එයාගෙ නෝනත් රස්සාවක් කරනවා.” “ඒ උනත් පුතේ..”

1/2

“ඒ උනත් පුතේ කියන්න එපා අම්මේ. ගෙදරට කෙනෙක් ආවහම උයල පිහල රසට කෑම වේලක් දෙන්න ඕන තමයි. ඒත් අම්ම ඇයි මේ ගෙදර අනෙක් දරුවන්ටත් එහෙම නොසලකන්නේ.? ගිය සතියේ පොඩි අක්ක ආවා. එයා තේ එක බීල ඉවර කරන්න ඉස්සර වෙලාම මොනවදෝ හිත රිදෙන්න කියල ඒකත් නොබී ගියේ. ලොකු අක්ක ආපු වෙලාවෙත් එයා ගියේ හිත නරක් කරගෙන. පොඩි මල්ලිට විතරද සලකන්න ඕන. එයා විතරද අම්මගෙ දරුවා”. “ඒකා තාම පොඩි එකානේ බං.” “පොඩි වෙන්නේ කොහොමද කසාදත් බැඳල දරුවොත් ඉන්නවානම්.?” “එතකොට උඹ කියන්නේ මං ඌට උයල පිහල දෙන එක වැරදි කියලද.?” “නෑ.. නෑ.. මං අහන්නේ, අම්මා ඇයි මේ අක්කලාටයි, මල්ලිටයි දෙවිදිහකට සලකන්නේ කියල. “ඒක මගේ කැමැත්තනේ.” අම්මා කීවේ තේජාන්විත බවක් මවාගෙන අපහාසයෙන් වගේ. මම කතාව නවතා පසෙකට වීමි.

2/2

- ආනන්ද මාරසිංහ -