කලු අප්පු පැට්‍රෝල් ලාම්පුව එල්ලපු හැටි. කලු අප්පු ටිකක් මෝඩ පහේ තමයි. ඒත් හිත හොඳ මනුස්සයා. ඕනම කෙනෙක්ගේ මඟුලට-තුලාවට කයියට- අත්තමට එයා ගමේ කවුරුත් එක්ක හොඳින් ඉන්නවා. ගමේ රාළගේ කුඹුරු යාය කපල, ඒක පාගන දවසේ කලු අප්පුත් උදව්වට ගියා. කලින් ගොයම් කපල ‘වටමලු’ ගහල තිබුනේ. දවල් වරුවෙන්ම කමතට ගිය කීප දෙනා අතර කලුඅප්පුත් හිටියා. ගමරාළ උදේ වරුවෙන්ම කමතෙ අලුවම්බාල, මුත්තයි පූජා වස්තුයි තැන්පත් කරල, ගොයම් අහුරකුත් ඒකෙ උඩින් දාලයි තිබුනේ. ඊට පස්සෙ කලුඅප්පුයි තවත් කීපදෙනෙකුයි, ‘වටමලු’ කඩල, කමතට ගොයම් දැම්මා. ඉර බැහැගෙන යනකොට කමතට හරක් දැම්මා. අද වගේ ට්‍රැක්ටර්වත්, භූතයෝවත්, සුනාමියවත්, ගොයම් පාගන්න තිබුනේ නැහැ. හරක් බානක් හරි තුන්දෙනෙක් හතරදෙනෙක් හරි, ‘ගොයම්කොලේ’ තරමට කොල පාගන්ට දානවා. ගමරාළගේ වටමලුව ලොකු නිසා හරක් හතර දෙනෙක්ම කමතට දැම්මා. එක්කෙනෙක් ‘ගොන්ගහන අතරේ’ අනෙක් කට්ටිය කමත වටේ වාඩිවෙලා විට හප හපා, පුරාජේරු කතා කිය කියා ඉන්නවා. සමහරු ඉතිහාස කතා කියනවා. සමහරු රටේ තොටේ තොරතුරු කියනවා. සමහරු ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කතා කියනවා. ඔය අතරේ කලුවර වැටීගෙන ආවා . පුරහඳ පලුවත් අහසේ පායන්ට පටන්ගත්තා. “කලු අප්පු, ඔය ‘පැට්‍රෝල් ලාම්පුව’ පත්තු කරල එල්ලපන්කෝ.” ගමරාළ කලුඅප්පුට වැඩක් පංගනාත්තු කළා. පැට්‍රෝල් ලම්පුවට හුළං ගහල තෙල් ඇවිත් ‘මැන්ටලය’ පෙඟුනට පස්සේ, තෙල් වහල, හෙමීට ගිනිකූරක් ගහල හීන් සීරුවේ ලාම්පුව පත්තු කරල, වහල තිබුණු තෙල් එකත් ඇරල, ආපහු හුළං ටිකක් ගැහුවා. දෙපාරක් විතර ‘පින්කරල’ එළිය අඩු වැඩි කරල, ලාම්පුව හරියට සකස් කළා. දැන් පැට්‍රෝල් ලාම්පුව ෂෝ... ගාන සද්දෙන් පත්තු වෙනවා. මුලු කමතටම එළිය වැටුනා. පැට්‍රෝල් ලාම්පුව බිම තියන්ට බෑනේ. ටටේටම එළිය වැටෙන්ට ඕනනේ. ටිකක් උඩකින් එල්ලන්න ඕන. කලුඅප්පු එතැන තිබිච්ච උණ ගහක් පාත් කරල, ඒකේ අග්ගිස්සේ පැට්‍රෝල් ලාම්පුව එල්ලුවා. උණ ගහ අතෑරියා. රොකට් එකක් යන්නා වගේ පැට්‍රෝල් ලාම්පුව අහසින් ගියා. හොද වෙලාවට පැට්‍රෝල් ලාම්පුව අහසින් යනකොට මැන්ටල් එක කැඩිල ලාම්පුව නිවුනා. නැත්තං මහ වින්නැහියක් වෙනවා.
1/2