එළු පැංචයි. කොළු පැංචයි. යසේන් දුවල ගිහින් එළු ගාලෙන් චූටි පැටියෙක් වඩා ගත්තා. “බෑ...බෑ..බෑ...” එළුපැටියා කෑ ගැහුවා. “අනේ පැටියෝ හැම දේටම බෑ.. බෑ.. බෑ.. කියන්න එපා.” යසේන් කීවා. “අනේ ඉතිං අපේ අම්මලාට තේරෙන්නේ ඒ විදිහට කතා කළොත්නේ. මං ඔයත් එක්ක සෙල්ලම් කරන්න යනවා කියලයි ඒ කිව්වේ.” එළු පැංචා කීවා. “ඒත් මට ඇහුනේ බෑ.. කියන සද්ද විතරයිනේ.” “එහෙම ඇහුනට, ඒ හඬ වෙනස්වෙන තාලෙට අදහසත් වෙනස් වෙනවා.” “හා එහෙනම් කමක් නැහැ. ඒත්, මාත් එක්ක කතා කරනකොට අපේ විදිහට කතා කරන්න.” “හරි හරි. අපි දෙන්නා එහෙම කතා කරමු. එන්න අපි අල්ලං සෙල්ලම් කරමු.” එළු පැංචා බිමට බැහැල දිව්වා. යසේනුත් පස්සෙන් පන්නගෙන ගියා. හවස් වෙනකල්ම දෙන්නා සෙල්ලම් කළා.

1/1

- ආනන්ද මාරසිංහ -