කොට්ටෝරු අම්මගෙ උපදේසෙ. “ගස්වලට කොටන හැටි මම අද පුතාලට කියල දෙනවා. කොට්ටෝරු අම්මා කීවා. “ඕක කියල දෙන්න දෙයක්ය අම්මේ?.” “එහෙම කියන්න එපා පුතා. හකුරු කන්ටත් ගුරෙක් ඕන කියනවානේ. එහෙම නොවුනොත් අපි කරදරේ වැටෙන්ටත් පුලුවන්.” “බෙනයක් හාරනකොට හැමවෙලාවෙම සැහැල්ලු ගහක් තෝරගන්න ඕන. තද ගස් තෝරාගත්තහම ඒවා හාරන්න අමාරුයි.” “ එහෙනම් පොල් පුවක් කිතුල් වගේ ගස්වලත් බෙණ හාරන්නේ.” “ඒ ගස්වල වටේ විතරයි හයියට තියෙන්නේ. ඒ ටික හෑරුවහම ඇතුළ හාරගන්න ලේසියි. එහෙම නැත්තම් දිරාපු ගස් තෝර ගන්න ඕන. හැබැයි කෙසෙල් ගස් වගේ කිසිම හරයක් නැති ගස් තෝරා ගන්න එපා. එහෙම උනොත් හොට පැටලෙන්න පුලුවන්.” “වැඩක් නෑනේ ඔය බෙන හෑරිල්ලෙන්. හැමදාම අපි හාරන බෙණ වෙන කෙනෙක් අයිති කර ගන්නවානේ.” කොට්ටෝරු පැටියෙක් කීවා. “ඒකට කමක් නැහැ. අපි කරන හැම දෙයක්ම ප්‍රතිඵල අපිටම ලැබෙන්නෙ නැහැ. මේ ගස් බෙණවල ඉන්න පුංචි සත්තු අපට කන්න පුලුවන්. සමහර ඒවායේ වතුර පිරෙනවා. ඒවා අනෙක් සත්තුන්ට පාවිච්චි කරන්න පුලුවන්. ගෙවල් හදා ගන්න අමාරු, ගිරා, මයින, සැළලිහිණි, වගේ අයට කූඩු හදාගෙන ජීවත් වෙන්න පුලුවන් . ඒක යහපත් වැඩක්. අපේ හැකියාවලින් තවත් කෙනෙකුට යහපතක් කරන්න පුලුවන්නම් ඒක හොද දෙයක්.” කොට්ටෝරු අම්මා පැටවුන්ට කීවා

1/1

- ආනන්ද මාරසිංහ -