විපුලන්තගෙ කසාදෙ විපුලන්ත මේ ගියේ පස් වෙනි මනාලිය බලන්න. අලුත් මනාලිගේ වරදක් ඔහුට පෙනුනේ නැහැ. ගමන බිමන, හැසිරීම්, කතා බහ, හිනාව, අඟ පසඟ, ලස්සනට පිහිටල තිබුණ. පසෙක තබා තිබුනු ලෝගුවක් ඇඳගත් ඡායාරූපය අධ්‍යාපනය ගැන ශාක්ෂි සැපයුවා. දිග කොණ්ඩෙ එයාට ගෙනත් දුන්නේ අමුතු ලස්සනක්. ‘මෙයානම් මටම ගැලපෙනවා.’ විපුලන්ත තනියම හිනා උනා. “මොකද පුතා මනමාලි ගැන කියන්නේ?” අම්මා ආපහු එන්න, වාහනේට නැගල හරිබරි ගැහෙන ගමන් ඇහුවා. ෂීට් එක කිරි කිරි ගෑවේ අම්මගෙ බරට වෙන්ටැති. “වරදක් නැහැ අම්මා.” විපුලන්ත කීවා. “ඒක කියන ලස්සන.” පුංචි අම්මා කීවා. “ඇයි පුංචම්මේ ඒ ළමයගෙ වරදක් නෑනේ.” “ගොන් වාහේ.. පොත්ත ටිකක් රතු උනා කියල ඒ ගෑනි කසාදෙට ගැළපෙන්නේ නැහැ”. “පොත්තේ රතුව නෙවෙයි, එයාගෙ කතා බහ උනත් වරදක් නැහැ. අපිටත් ගරු සරුව කතා කළේ. හැදිච්චි ළමයෙක් වගේ පෙනෙන්නේ.” අම්මාත් කීවා. “අක්කටත් ඕන මෙයාව කාගෙ හරි ඇගේ ගහල බේරෙන්නද. දැක්කේ නැද්ද එයාගෙ කොමලෙ. කපටි ඇස්. මට හිතෙන්නේ නටන්න පුලුවන් හැම නාඩගමක්ම නටල, දැන් පත්තිනි අම්මා කෙනෙක් වෙන්න හදනවා කියලයි. අර විශ්වවිද්‍යාලෙ කොල්ලෝ කට්ටියක් මැදට වෙලා හිටියේ පොටෝ එකෙත්.” “මගේ විශ්ව විද්‍යාලෙ පොටෝ එකෙත් ගෑනු ළමයි ඉන්නේ.”
1/5
“අපි දන්නවානේ උඹ ගැන. ඒ කෙල්ල ගැන අපි දන්නේ කොහොමද?” “ නැන්දම්මයි, පුංචි අම්මයි මොනව කීවත් මටනම් ඒ ළමයගෙ වරදක් පේන්නේ නැහැ. මම ඒ ළමයට කැමැතියි අම්මා.” විපුලන්ත කීවේය “උඹේ ඔය ඔල මොට්ටලකම් දන්න හින්ද තමයි අපිත් ආවේ.අපි ආවෙ නැත්තම් අම්මයි පුතයි දෙන්න ගෑනි අදම ගෙදර එක්කන් එන්ටත් තිබුනා.” නැන්දම්මා කීවාය. “ඇයි මොකක්ද එයාගෙ තියෙන වරද?” විපුලන්ත ඇහුවේ තමන් නුදුටු කුමන දුර්ගුණයක් ඔවුන් දුටුවේද යන්න දැන ගැනීමටය. “විපුලන්ත පුතේ, උඹව පුංචි කාලෙ ඉඳල හැදුවෙ අපි. අපි කැමැති නැහැ උඹව අමාරුවේ වැටෙනවා බලන්න. උඹේ පුංචි අම්මයි මායි දෙන්න කසාද නොබැන්ද එක ඇත්ත. ඒත් ගෑනියෙක් හැරෙන කොට මේ හැරෙන්නේ මොකටද කියල අපිට හිතා ගන්න පුලුවන්.” “එතකොට නැන්දම්මයි, පුංචියි, කියන්නේ අම්මට එහෙම තේරෙන්නේ නැහැ කියලද?” “නැහැ. නැහැ. උඹල අම්මටත් තේරෙනවා. ඒත් දැන් මෙයාට ඕන වෙලා තියෙන්නේ කොහෙන් හරි ලේලි පොඩ්ඩක් ගෙනත් දීල, මේ ගේ දොරත් ඒකිට දීල, දරු සුරතල් බල බල ඉන්න. උඹෙන් නිදහස් වෙන්න.” “මොනවද බං උඹල දෙන්න මේ කියන්නේ. මං මේකගෙ අම්ම නේද? මෙයාට අකණහවක් වෙනවට මං කැමැතිද?. මේ අපි මනමාලියක් බලන්න ගිය පස් වැනි ගෙදර. උඹල දෙන්නගෙන් කවුරු හරි ඒ හැම එකකටම විරුද්ද උනා. නැත්තම් මේ වෙනකොට
2/5
කසාදෙකුත් වෙලා දරුවොත් හම්බවෙලා.” මේ කතා අහල අම්මා කීවාය. “හරි. හරි. ඔය කියවුනේ ඇත්ත. දැන් අපි තමයි වැරදිකාරයෝ. අපි ආය මොකුත්ම කියන්නේ නැහැ. ඕන මඟුළක් කර ගත්තට කමක් නැහැ.” නැන්දම්මා කීවේ වාහනයෙන් පිටත බලාගෙන. “උඹලට ඩෝං යන්න මම මුකුත් කීවෙ නෑනේ. උඹල අකැමැති නම් මම ඉස්සර වෙන්නේ නැහැ.” අම්මා පරාජය භාර ගත්තාය. “දැන් කසාදෙ කරගන්නේ විපුලන්තයටද නැත්තම් වෙන කෙනෙකුටද?” මෙච්චර වෙලා කරබාගෙන හිටපු ලොකු මාමා ඇසුවේය. “ලොකු අයියට මේව තේරෙනවය.? දැක්කෙ නැද්ද ඒකි විපුලන්තයට උකුළු මුකුළු කර කර ළඟට වෙලා කතා කර කර හිටපු හැටි. තොල් රතු කරල. ඇහි බැම ගාල. නියපොතු පාට කරල. බ්ලවුස් ස්කර්ට්ස් ඇඳල. අඩි උස සපත්තු දාල. හරි නම් අදවත් සාරියක් හැට්ටයක් අඳින්න එපාය. ” “අනේ නිකම් හිටපං බං නංගියේ. මුං දෙන්නම විශ්ව විද්‍යාලෙ ගිය උං. උඹල අපිට වඩා උං දන්නවා සමාජෙ ගැන. අනික තමන්ට පහසු මොන ඇඳුමක් ඇන්දම මොකද, බොරු විච්චූරණ නැතුව?.” ලොකු මාමා කීවේ නොමනාපයෙන්. “අයියටත් ඉතිං මොකද? ඒකිගෙ පොත්ත රතුපාටනේ.” පුංචි අම්මාද නැන්දම්මාට හූ මිටි දුන්නාය. “මමනම් ඒ මඟුලට කැමැතියි.” ලොකු මාමා තමන්ගේ තීරණය කීවේය.
3/5
“මමනම් ඒ මඟුළට කැමැති නැහැ. ඒ මඟුල කෙරුනොත් අපිට මේ ගෙදරවත් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ගෑනි මහ කෛරාටික අම්මණ්ඩි කෙනෙක්.” පුංචි අම්මා කීවාය. විපුලන්ත අම්මා දිහාත්, පුංචි අම්මා දිහාත්, ලොකු මාමා දිහාත් බැලුවේය. අප්පච්චි නැති උන දවසෙ ඉඳලම මේ ගෙදර තනියට හිටියේ නැන්දයි, පුංචියි, දෙන්නා. ඒ දෙන්නා තරහ කරගන්නත් බැහැ. “මමත් ඒ මඟුලට කැමැති නැහැ.” නැන්දම්මාද තම තීරණය කීවාය. ‘අප්පච්චි හිටියනම් එයත් මේ මඟුළට කැමැති වේවි. අලුත් මනාළිගෙ අඩුවක් විපුලන්තට නොපෙනුනි. එයා ආවොත් පුංචි අම්මටයි නැන්දම්මටයි ගෙදරින් යන්ට වෙයි කියල බය හිතෙනවා ඇති. ඇයි එහෙම බය වෙන්නේ.’ විපුලන්ත තනිවම හිතුවේය. “උඹ ඒ කෙල්ලට කැමැති නම්, ඒ කෙල්ලත් උඹට කැමැති නම්, පිරිමියෙක් වගේ තීරණයක් ගනින් බං.” කාරෙකෙන් බැහැල ලොකු මාමා විපුලන්තගේ කණට කර කීවේය.. “මට එහෙම කරන්න පුලුවන් ලොකු මාමේ. ඒත් නැන්දයි පුංචියි දෙන්නම පුංචි කාලෙ ඉඳල මාව බලා ගත්තා. දැන් ඒ අයගේ වචනෙ අහක දාල මං හිතුවක්කාරෙට වැඩ කරන්නේ කොහොමද.?” “ගෑනියෙක් ගේන්නේ උඹට. උඹේ ගෙදෙට්ට. උඹ කැමැති තීරණයක් ගනින්. නැන්දම්මා තරහ උනොත් අපේ ගෙදර ඒවි. පුංචි අම්මත් මහ ගෙදර යාවි. ටික දවසක් තරහ වෙලා හිටියත් ආයෙම යාලු වේවි.” “අනේ මන්ද ලොකු මාමේ.”
4/5
“උඹේ කැමැත්තක් කරපං. නැත්තම් උඹත් නැන්දම්මයි පුංචි අම්මයි වගෙ අනුන්ගෙ මඟුල් බල බලා හිටපං.” ලොකු මාමා ආපසු යාමට වාහනයට නැංගේය. සැළ ලිහිණි ජෝඩුවක් ඉස්සරහ අඹ ගහේ අත්තක සතුටින් සිටිනු විපුලන්ත දැක්කේය.
5/5