පුල්ලෙයාර් මුත්තගෙ කරුණාව. ඉස්කෝලෙ උදේ රැස්වීමේදී ළමයි දෙන්නෙක්ම කළන්තෙ දාල වැටුනා. හැමදාම මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් වැටෙන හන්දා ගුරුවරුන්ටත්, ළමයින්ටත්, ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒ ළමයි උස්සගෙන ගිහින් වතුර ටිකක් ඉහල, වතුර ටිකක් බොන්න දීල, හැමදාම අහන ප්‍රශ්න ටිකයි, උපදෙස් ටිකයි, ගුරුවරු දෙනවා. මුලු ඉස්කෝලෙම ඉන්නේ ළමයි හැටක් විතර. දුප්පත් ගැමි දරුවෝ. ඒ අය ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ආයුත් ඒ ඉස්කෝලෙම ළමයෙක්. එයා හිතුවා මේකට මොනවා හරි කරන්න ඕන කියල. ගමේ හැමෝටම දුක් කරදරවලදී පිහිට වෙන්නේ පුල්ලෙයාර් මුත්තා. පුල්ලෙයාර් දේවාලයක් ඉස්කෝලෙට හැරෙන හන්දියේ නුග ගහ යට තියෙනවා. ඉස්කෝලෙ ඇරිල යන ගමන් ආයු දේවාලෙ ළඟ නැවතුනා. එයාගෙ බෑක්කේ තිබුණා, පරෙස්සම් කරගෙන තියා ගත්තු රුපියල් පහක්. එයා ඒක කැටේට දැම්මා. “අනේ පුල්ලෙයාර් මුත්තේ, අපේ ඉස්කෝලෙ ළමයි හැමදාම කලන්තෙ දාල වැටෙනවා. ඒ අය වෙනුවෙන් මොකක් හරි උදව්වක් කරන්න.” “ ඔය දරුවා හොඳ කෙනෙක්. අනික් හැමෝම එන්නේ තමන්ගේ වැඩක් කරගන්න. ඔබ ඉල්ලන්නේ අනික් අය වෙනුවෙන් උදව්වක්. ඉල්ලන්න ඕනදෙයක්. මම ඒක කරල දෙන්නම්.” එයාට ඇහුනා. “එහෙනම් හැමදාම උදේට, අපේ ඉස්කොලෙ ළමයින්ට මොනව හරි දෙයක්, කෑමට ලබා දෙන්න.” “හරි දරුවා. මම හැමදාම උදේ ආහාර වේල දරුවන්ට දෙනවා. මට ප්‍රින්සිපල් මුණ ගස්සන්න.”

1/2

ආයු පිටිපස්ස හැරිල බැලුවා. සුදු ඇඳගත්තු කෙනෙක් එයා පිටිපස්සේ හිටගෙන හිටියා. පුල්ලෙයාර් මුත්තා ඇවිත්. එයාගෙ ඇස් කරුණාවෙන් පිරිල. ආයු පුදුමයෙන් ඔහු දිහා බැලුවා. “ඔව් දරුවා මාව ප්‍රින්සිපල් ළඟට එක්කන් යන්න.” අමුත්තා ආයෙත් කිව්වා. ආයු එයත් එක්ක ආපහු ඉස්කෝලෙට ගියා. ප්‍රින්සිපල් ගෙදර යන්න ලෑස්ති වෙලයි හිටියේ. ආයු අමුත්තෙක් එක්ක ආපු හන්ද බෑග් එක පැත්තකින් තියල, කතා කළා. “ඔබ තුමා කවුද?” ප්‍රින්සිපල් ඇහුවා. “මම මේ ගමේ ඉඩමක් බලන්නයි ආවේ. මේ ළමයා පුල්ලෙයාර් දෙයියන්ගෙන් ඉල්ලීමක් කළා. මමත් එතැන නැවතුනේ පඬුරක් දාන්නයි. ඉස්කෝලේ දරුවන්ගේ දුප්පත්කම මට තේරුනා. මට පුලුවන් හැමදාම උදේට ආහාර සඳහා යන වියදම දෙන්න. මම ඒක මාස් පතා ඉස්කෝලෙ සංවර්ධන අරමුදලට දාන්නම්. ඔබ තුමා පුලුවන්නම් දරුවන්ගේ දෙමාපියන් එක්ක එකතු වෙලා ඒ ආහාර වේල සකස් කරල දෙන්න.” “ඔබ තුමාට ගොඩක් පිං. මේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුලුවන්. ඒත් මේ දුප්පත්කම තමයි බාධාවකට තියෙන්නේ. මම දෙමාපියන් එක්ක කතා කරල, ඒ කටයුත්ත කරන්නම්.” ප්‍රින්සිපල් කීවා. “මට නෙවෙයි මේ දරුවටයි පිං දෙන්න ඕන. ඒ ළමය දෙවියන්ට ආයාචනා කළේ තමන් වෙනුවෙන් නෙවෙයි, අනෙක් ළමයි වෙනුවෙන්.” අමුත්තා ආයුගේ ඔලුව අතගාමින් කීවා. දැන් හැමදාම ඉස්කෝලෙ ළමයින්ට උදේට කෑමට යමක් ලැබෙනවා. කවුරුවත් කලන්තෙ දාල වැටෙන්නේ නැහැ. ඔබටත් අනුන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් කරන්න.

2/2

- ආනන්ද මාරසිංහ -