අත්තම්මට වයස අවුරුදු අනූ අටයි. උන්දැගේ දත් එකක්වත් නැහැ. ඒක හන්ද හයිය දේවල්වලට මනාපයක් නැහැ.( අත්තම්මා කීවේ අපේ අම්මගෙ අම්මා) ටික දවසකට කලින් අපේ චූටි දුවට ටිපි ටිප් එකක් ගෙනාපු වෙලාවක එයා ඒවයින් කීපයක් අත්තම්මට දුන්නාය. “අනේ පුතේ ඒවනම් හොඳයි. හපන්ට දේකුත් නැහැ.” කියා තව කීපයක් ඉල්ලාගෙන කෑවාය. “ඒ උනාට අම්මේ ඒවා කන්ට හොඳ නැහැනේ.” එය බලා සිටි අපේ අම්මා කීවාය. “එහෙනම් උඹල මේ පොඩි එවුන්ට ගෙනත් දෙන්නේ. ආය ඉතිං හොඳක් නරකක් බලන්න දෙයක්යෑ. කන්ට පුලුවන් දෙයක් කන්ට කියල දොස්තර මහත්තයත් කිව්වේ. අනෙක ඉතිං කල්පයක් ජීවත් වෙන්ටයෑ.?” අත්තම්මා කීවාය. “ඒ උනාට අම්මගේ වයසට ඒව හොඳ නැහැනේ.” අම්මා නැවතත් කීවාය. “මේ පොඩි එවුන්ට හොඳයි නම් මට නරත් වෙන්ට බෑනේ.” අත්තම්මා අම්මාට එරෙහි වූවාය. දැන් අත්තම්මට නිකම් ඉන්න වෙලාවට හප හපා ඉන්න ටිපි ටිප් ඕන වෙලා. දරු මුණුබුරෝ බලන්ට ආවොත් මුලින්ම අහන්නේ ටිපි ටිප් එකක් ගෙනාවෙ නැද්ද කියලා. කවුරු හරි කඩේ පැත්තේ යනවා දැක්කොත් “ අනේ පුතේ මටත් ඔය ටිපි ටිප් එකක් ගෙනත් දීපංකෝ” කියල කියයි.

1/1

- ආනන්ද මාරසිංහ -