මේක කලු අප්පු කොල්ල කාලේ වෙච්චි දෙයක්. කලු අප්පුගේ අප්පොච්චා එක්ක බිළි කොක්කකුත් අරන් කලු අප්පු මාලු බාන්න අමුණට ගියා. එදා වෙලාව කියන්නේ පැයගානක් බිළි කොක්ක දාගෙන හිටියත් මාලු කූරියෙක් හම්බ උනේ නැහැ. කොහොමින් හරි අන්තිමේට ලොකු තෙප්පිලියෙක් බිළිකොක්කට ඇමිණුනා. අප්පොච්චට හරි සන්තෝසයි. එයා මාළුවා ගලවල වල් ගොල්ලට දැම්මා. වල් ගොල්ලේ උඩ පැන පැන මාලුවා ටික වෙලාවක් දැගලුවා. අප්පොච්චා ආයෙත් පණුවෙක්ගෙ කෑල්ලක් බිළි කොක්කේ අමුණලා අමුණට දැම්මා. කලු අප්පු තෙප්පිළියා දිහා බලාගෙන හිටියා. ඒකා ඇස් දෙක ලොකු කරගෙන කලු අප්පු දිහා බලාගෙන හිටියා. කටත් අරිනවා වහනවා. අමාරුවෙන් හුස්ම ගන්නවා. “අප්පොච්චා මේකා කට අරිනවා. ඌට වතුර ඩිංගිත්තක් පොවන්ටද?” “ඒකා වතුරෙමනේ හිටියේ. ඌට වතුර ඕන නැහැ.” අප්පොච්චා කීවා. “අනේ අප්පොච්චා පව්. ඌ වතුර ඉල්ලනවා.” “මම සැරයක් උඹට කීවා. ඕකා ඔන්න ඔහේ හිටපුදෙන්. උඹ පැහෙන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.” අප්පොච්චා එහෙම කීවට කලුඅප්පුට දුකයි. එයා අප්පොච්චට නොපෙනෙන්න තෙප්පිලියාව අත් දෙකෙන් අල්ල ගත්තා. ඌ දැඟලුවත් ටිකක් තදේට අල්ලගෙන ඇළ ගාවට ගිහින් වතුර ටිකක් පොවන්න මාලුවාගේ කට වතුරට ළං කළා. එක පාරටම අලුත් පණක් ආව වගේ මාලුවා දඟලල වතුරට පැන්නා. කලු අප්පුට හිතා ගන්නවත් බැරි උනා මොකද උනේ කියලා. “අප්පොච්චා.. අප්පොච්චා.. මාලුවා වතුරට පැන්නා.” කලු අප්පු හයියෙන් කෑ ගෑවා. “ගොං වස්සා, අහවල් කෙං ගෙඩියකටද මාලුවාට වතුර පොවන්න ගියේ. වරුවක් මහන්සි වෙලා අල්ල ගත්තෙත් ඒකා විතරයි.” අප්පච්චි දත් මිටි කමින් එතැනට ආවා. “දැන් තෝත් වතුරට පැනල කොහොම හරි තෙප්පිලිය අල්ලගෙන වර.” කියල කලු අප්පුව අමුණට තල්ලු කළා. කලු අප්පු අමාරුවෙන් අමුණෙන් ගොඩට ඇවිත් අඬ අඬ හිටියා. අප්පච්චිගේ තරහ අඩුවෙලා නැහැ. “අඬ අඬ ඔතැන ඉන්නේ නැතුව දුවපිය ගෙදර.” කියල කෝටුවක් අතට ගත්තම කලු අප්පු දුවගෙන ගෙදර ගියා. එදා ඉඳල කවදාවත් මාලු බාන තැනට කලු අප්පුව එක්කං ගියේ නැහැ

1/1

- ආනන්ද මාරසිංහ -