ඉත්තෑවගෙ ගෙට කබැල්ලෑවා රිංගලා.. එක කැලෑවක ඉත්තෑවෙක් බොහොම අමාරුවෙන් ගුහාවක් හාරාගෙන, දරුවොත් එක්ක ඒකේ ජීවත් උනා. රෑ උනාම එහෙ මෙහෙ ඇවිදල මොනව හරි හොයාගෙන කාල ආපහු තමන්ගේ ගුහාවටම එනවා. එක දවසක් කොහෙදෝ යන කබැල්ලෑවෙක් ඉත්තෑවගේ ගුහාව ළඟට ආවා. “අනේ යාලුවේ මට යන්ට එන්ට තැනක් නෑ. මාවත් ඔය ගුහාව ඇතුළට ගන්නවද?” කියල ඇහුවා. ඉත්තෑවගේ හිත හොඳ වැඩි හන්ද, ‘දවසක් දෙකක් ඔන්න ඔහේ ගුහාවේ හිටපු දෙන්’, කියල ගුහාවේ ඉන්න ඉඩ දුන්නා. දවස් ගානක් ගියත්, කබැල්ලෑවා යන පාටක් නෑ. යන්න කියල කීවත්, යන්නේ නැහැ. දවසක් ගමනක් ගිහින් එනකොට ඉත්තෑ පැටියෙක් ගුහාවෙන් එළියට දාලා. ඒකට තරහ ගිය ඉත්තෑවා බැන්නා. තමන්ගේ කූරුවලින් කබැල්ලෑවට විද්දා. ඒත් ගානක්වත් නෑ. එයාගෙ කොරපොතු, ඒ පාරවල්වලට හුරු වෙලා. කරන්න දෙයක් නැතුව ඉත්තෑවා කල්පනා කර කර හිටියා. “ඉන්න බැරි කෙනෙක් ඉන්නවානම් යන එකයි ඇත්තේ දොර ඇරල තියෙන්නේ.” ඇතුළෙ ඉඳල කබැල්ලෑවා කීවා. ‘අපේ අමන මරි මෝඩ වැඩවලට අපිටමයි මඩු වලිගෙන් තලන්න ඕන’ කියල ඉත්තෑවා තමන්ටම කියාගත්තා. අනුන්ගෙ තැන්වලට ඇතුල්වෙලා, නිවැසියන්ටත් බලය පෙන්නගෙන ඉන්න අය අදත් ඉන්නවා.

1/1

- ආනන්ද මාරසිංහ -