‘එකත්පස්ව’ සිටීම. අපි ‘එකත්පස්ව’ සිටිනවා කියන වචනේ අහල තියෙනවා. ‘එකත්පස්ව’ සිටිනවා කියන්නේ මොකක්ද? ගෞරවණීය කෙනෙක් ඉදිරියේ වාඩි ගන්නා ආකාරය. ඒකට කාරණා අටක් සම්පූර්ණ වෙන්ට ඕන. නැත්නම් කාරණා අටකින් යුක්ත වැරදි වලින් මිදෙන්ට ඕන. ඒක ගාථාවක මෙහෙම සඳහන් වෙනවා. “න පච්චතෝ න පුරතො න පි ආසන්න දූරතෝ න කච්ඡේ නෝ පටිවාතෙ න චාපි ඕනතුන්නතේ එතේ දොසේ විවජ්ජිත්වා ඒකමන්තන්ති වුච්චති.”

1/2

කර අඹරා බැලිය යුතු තරමට පිටු පස්සේ නොසිටීම, එක එල්ලේ දෑසට දෑස පෙනෙන සේ ඉදිරියෙන්ම නොසිටීම, කතා කරන විට ඇඟට කෙළ ඉසෙන තරම් ළංව නොසිටීම, ඉතා දුරස්ව නොසිටීම, තමන්ගේ ඇගේ වදින සුළං (බුදුන්ගේ) ඇගේ වදින ලෙස නොසිටීම, (බුදුන්ගේ) ඇගේ වදින සුළං තමන්ගේ ඇගේ වදින ලෙස නොසිටීම, (උඩු සුළග හා යටි සුළග) කර ඔසොවා බලන තරම් උස් තැනෙක නොසිටීම, කර පහත් කර බැලිය යුතු තරම් පහත් තැනෙක නොසිටීම, යන මේ කාරණා අනුගමනය කර සිටීම එකත්පස්ව සිටීම යැයි කියනු ලැබේ. එකත්පස්ව සිටීම යන්න වැඩිපුරම භාවිතා වන්නේ බුදුරජාණන් වහන්සේ හමුවීම පිළිබඳ තොරතුරු කියවෙන විට. සමහරවිට මහරහතක් වහන්සේලා සම්බන්ධයෙන්ද, ප්‍රපූජ්‍ය උතුමන් හමුවන විටදීද එම වචනය භාවිතා විය හැකියි. අතිශය ගෞරවාන්විත වීමයි මෙහිදී වන්නේ. මේ ආචාර ධර්‍ම හැකි හැම විටම ආරක්ෂා කරන්න ඔබත් පුරුදු වන්න.

2/2

- ආනන්ද මාරසිංහ -