පොළව පලා අපායේ ගිය ඇත්තෝ. එක් එක් ආගම්වල බරපතල පාප කර්මයන් කළ අය ඒවායේ විපාක ලබපු ආකාරය දක්වන්නේ විවිධ ක්‍රම වලට. බෞද්ධයෝ එවැනි දරුණු පාප කර්‍මයන් කළ අය පොළව පළාගෙන අපායට ගිය බව සඳහන් කරනවා. එහෙම පොළව පළාගෙන අපායට ගිය පස් දෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. උප්පලවන්නා මහ රහත් මෙහෙණින් වහන්සේ වනාන්තරයේ සිටින විට ඈ කෙරෙහි කාමරාගයෙන් පෙළුණු භාගිණෙය්‍ය කියන සිටු පුත්‍රයා ඇය දූෂණය කළා. ඒ පාපය නිසා ඔහු පොළව පලාගෙන අපායට ගියා. මාගන්දි බැමිණියත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආඝාත බැඳගත් කෙනෙක්. එයා බුදු හාමුදුරුවොත් එක්ක තරහ උනේ එයාගේ රූපයේ අනිස්ථිර භාවය කිව්වාය කියල. බුදුහාමුදුරුවන්ට ඒ නිසා අප්‍රමාණව නින්දා අපහාස, චෝදනා එල්ල කළා. ඒ විතරක් නෙවේ, බුදුන් අදහන අයටත් විවිධ පීඩන කළා. ඒ මාගන්දියත් පොළව පලාගෙන අපායට ගියා. චිඤ්චි මානවිකාවත් බුදුහාමුදුරුවන්ට කරපු නින්දා අපහාස කෙළවරක් නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න බව කියමින්, ධර්‍ම ශාලාවට බඩේ දරමිටියක් බැඳගෙන ආවේ එයා.

1/2

දේවදත්ත හාමුදුරුවන්ගේ තාත්තා, ඒ කියන්නේ යසෝදරාවගේ තාත්තාත්, (සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ)පොළොව පලාගෙන අපායේ ගිය කෙනෙක්. තමන්ගේ දියණිය අනාථ කර පළා ගියේයැයි ඔහු බුදුහාමුදුරුවෝත් එක්ක තරහ වෙලා හිටියේ. ඒක හන්ද දවසක් එයා බුදු හාමුදුරුවෝ වඩින කොට පාර හරස් කළා. ඒක ඉතා බරපතල අපාරාධයක්. ඒ නිසා එයාත් පොළව පලාගෙන අපායට ගියා. අනෙක් එක්කෙනා තමයි, දේවදත්ත හාමුදුරුවෝ. එයා බුදු හාමුදුරුවන්ට කරපු අපරාධ අපි සේරමලා දන්නවා. මේ කතාවලින් පේනවා, ගැහැනුද, පිරිමිද, පැවිද්දාද , ගිහියාද, රජතුමාද, සිටුවරයාද කියල භේදයක් නැතිව අපි කරන ලද කර්‍මයන් අපට පටිසන් දෙනවා කියන එක. (අපාය තියෙන්නේ උඩද පහළද අහන්නේ නැතුව, අකටයුතුවලින් මිදෙන්න උත්සාහ ගන්න. මිනිස්සු පවෙන් වැලක්වීම පිණිසයි මෙවැනි කතා බිහිවෙලා තියෙන්නේ.)

2/2

- ආනන්ද මාරසිංහ -