“හඳමාමා”ගෙ නෑදෑකම. ශිෂ්‍යයන්ට තමන්ගේ ‘නෑදෑයන් හඳුනා ගැනීම’ පාඩම ටීච කියා දිදී හිටියා. දැන් පුතාලට ඉන්නවා අම්මලා. අපි අම්මලාගේ මල්ලිලාටයි අයියලාටයි “මාමා” කියල කියනවා. අම්මගෙ බාල සහෝදරයා ‘පොඩි මාමා’. වැඩි මහල් කෙනා ‘ලොකු මාමා’. “වෙන කාටද ‘මාමා’ කියන්නේ?.”ටීච ඇහුවා. “ටීච අපේ අම්ම ලොකු අත්තටත් ‘මාමා’ කියනවා.” ළමයි කීප දෙනෙක් කීවා. “ඔව්, අම්මගේ තාත්තට, අපේ තාත්තාත්, තාත්තගේ තාත්තට අපේ අම්මාත්, ‘මාමා’ කියනවා.” “බොහොම හොඳයි. වෙන මාමා කියන්නේ කාටද.” ටීච ඇහුවා. “ටීච, අපේ ළඟ ගෙවල්වල වැඩි හිටි අයටත් අපි ‘මාමා’ කියනවා.”
1/2
“ ඔව්. ඒ වැඩිහිටි කමට. වැඩිහිටියන්ට අපි නම කියන්නේ නැතිව ‘මාමා’ කියනවා. පාන් මාමා, පියුං මාමා, ලයිට් මාමා, වගේ කතා කරන්නෙත් ඒ හින්දයි. ඒ වගේම ‘හේන මාමා’ ‘රිදී මාමා’ කියන නමුත් පාවිච්චි කරනවා. ඒ වැඩිහිටි කමට මිසක් නෑදෑ කමට. නෙවේ. “ටීච.” තේජාන් අත ඉස්සුවා. “ඔව්, කියන්න තේජාන්.” “අපේ අම්මත් “හඳ මාමා”ට කියන්නේ “හඳමාමා” කියල. තාත්තත් එහෙමයි. නංගිත් කියන්නේ “හඳමාමා” කියල. අපේ අත්තම්මා කියන්නේත් “හඳ මාමා” කියල. ඇයි එතෙන්දි නෑදෑකම වෙනස් නොවෙන්නේ. “හඳමාමා කියන්නේ මනුස්සයෙක් නෙවෙයි. ඒත් හැමෝම එයාගෙ හොඳ ගති ගුණවලට කැමැතියි. ආදරෙයි. අනිත් එක පුංචි කාලෙ ඉඳලම එයාට ‘හදමාමා’ කියල කතා කරල පුරුද්දට වගේ හැම දෙනාම ‘හඳමාමා’ කියලම කතා කරනවා.” “ඔය ගොල්ලන්ගේ ගෙවල්වල වැඩි හිටියො මේකට උත්තරයක් දන්නවානම් අහගෙන ඇවිත් අපිටත් කියන්නකෝ.” ටීච කීවා.
2/2