කොයි ගම යන්නේ? ආනන්ද හාමුදුරුවෝ දොර අසලට ඇවිත් බුදුහාමුදුරුවෝ දිහා බැලුවා. ඒ මුහුණේ තිබුනේ දුක්මුසු පෙනුමක්. “ඇයි ආනන්ද දුක්මුසු මුහුණින්.?” බුදු හාමුදුරුවෝ ඇසුවා. “ස්වාමීනි මේ නගරයේ මිනිස්සු, නොකළ වරදකට අපට දොස් කියනවා. නගරයේ පිණ්ඩපාතේ යාමටවත් විදිහක් නැහැ. අපි වෙන නගරයකට යමු.” “ඒ නගරයේ අයත් දොස් කීවොත්?” “අපි වෙනත් නගරයකට යමු.” “ඒ නගරයේ අයත් දොස් කීවොත්?” “අපි වෙනත් නගරයකට යමු.”

1/3

“එය සාර්ථක වෙන්නේ නැහැ ආනන්ද. මේ ලෝකේ සැම දෙනාම එකම මතයකට ගැනීමට බුදුවරුන්ටවත් හැකියාවක් නැහැ. සමාජය මතවාදීව වෙනස්. කුලවාදීව වෙනස්. අපේක්ෂාවන් අනුව වෙනස්. ඒ නිසා ගැටුම් ඇති වෙනවා. එහෙම උනා කියල නගරය හැර දමා යාම එයට පිළිතුර නොවේ.” “එසේ නම් කුමක්ද කරන්නේ ස්වාමීනි.” “ ඔවුන් යහමගට ගැනීමට, නිවැරැදි කිරීමට, සත්‍යය අවබෝධ කරලීමට, සාකච්ඡා කරන්න. එසේ නොහැකි නම් ඔවුන් සමග තිබෙන සබඳතාවය අත් හරින්න. ගැටුම්වලට මූලික හේතුව වන්නේ ලෝභ දෝෂ මෝහ කියන අකුශල චේතනාවන්. ඒවා කෙනෙකුගේ වටහාගැනීමේ හැකියාව යටපත් කරනවා. ඒ වගේම තමයි අගති ගාමී වීම. චන්ද, දෝස, භය, මෝහ, යන මේවා තමයි ඒ අවබෝධය නැති කරන පටලයන් වන්නේ.” කෙනෙකුට ඒ පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබුණු වහාම හෝ කාලයා විසින්ම බොහෝ ගැටුම් විසඳාලනු ලබනවා. ඒ නිසා ඔය දොස් පරොස් කියන අයටම සත්‍යය හෙළිදරව් වී දින කීපයකින් සමථයකට පත් වේවි. එතෙක් පිඬු සිඟා පිටතට යාමෙන් වැලකී සිටින්න.”

2/3

ආනන්ද හිමියෝ එතැනින් පිටත්ව ගියේ මනාප හිතකින් නොවේ. ඒ වෙනත් නගරයකට නොයාම නිසා. දින කීපයකට පසු ආනන්ද හිමියෝ නැවත බුදු හිමිගේ කුටියේ දොරටුව ළගට ආවා. එදින උන් වහන්සේ ගේ මුහුණේ තිබුනේ ප්‍රසන්න බවක්. “ඇයි ආනන්ද.?” “ස්වාමීනි අපට දොස් කී පිරිස්, දැන් අපගේ ගුණ ප්‍රකාශ කරනවා. මෙය සංවිධානය කළ පිරිස් නගරයෙන් පලා ගිහින්. දැන් අපට යළිත් නගරයේ පිඬු සිඟා වැඩිය හැකියි. “ඔව් ආනන්ද, බොරුවට, අයුක්තියට, අසාධාරණයට, අධර්‍මයට, වැඩි කල් පැවැත්මක් නැහැ. සත්‍යය ජයගන්නවා” බුදු හිමියෝ දේශනා කළා.

3/3

- ආනන්ද මාරසිංහ -