නාග ලෝකෙන් ආපු ගැඩවිලා. වැස්ස වහිනකොට ලොකු අත්තට නිකම් ඉන්න බැහැ. ‘ගෙදර කෑමටවත් මොනව හරි හදා ගන්න ඕන’ කියල උදැල්ල අතට ගන්නවා. “ලොකු අත්තේ මේ ගැඩවිලෙක් මතු වෙලා.” ආයු ලොකු අත්තා කොටපු තැනකින් මතු උන ගැඩවිලෙක් පෙන්නල කීවා. “පුතා දන්නවාද ඔය ගැඩවිල්ලෝ එන්නේ කොහෙන්ද කියල.” “නැහැනේ.” “ඔය ගැඩවිල්ලෝ එන්නේ නාග ලෝකේ ඉඳල. එහෙන් එනකොට උන් තල් ගස්, පොල් ගස්, වගේ ලොකු නාගයෝ. නාග ලෝකේ තියෙන්නේ හැතක්ම ලක්ෂ ගානක් යට. ඉතින් උන් මේ මනුස්ස ලෝකෙට එනකොට ඇඟ හීන් වෙලා, හීන් වෙලා, දැන් ඔය තියෙන තරමටම හීනි වෙනවා.” “ඒත් ලොකු අත්තේ, එච්චර යට ඉඳන් කොහොමද පණුවො වගේ ඇදි ඇදී එන්නේ?. අපේ සර් නම් කීවේ එච්චර යට සත්තු නැහැ කියල.” “වෙන්ටැති අපිට ඒ අයගෙ කතා අහක දාන්න බැහැ. මම කීවේ අපේ අප්පච්චිලා අපට කියල දීපු කතාන්දරයක්.” “ඒත් ඒක බොරුනම් පිළිගන්න ඕන නැහැනේ ලොකු අත්තේ.” “ඔව් පිළිගන්න ඕන නැහැ. ඒ උනාට එහෙම කතාවක් තිබුණ කියල දැන ගත්තට හානියක් වෙන්නේ නැහැනේ.” ලොකු අත්තා කීවා. “ඒක හරි. පිළිගත්තත් නැතත්, කතාව ඇහුවට හානියක් නැහැනේ, නේද ලොකු අත්තේ.? ආයු කීවා.
1/1