දන්හලේ පළහිලව්ව. සිටු මැදුරේ දාන ශාලාවේ, දැරියක් බේසමකට වතුර පුරව පුරවා හිටියා. ඒයා ඒකේ තමන්ගේ ඡායාව දැක්කා. එයා ඒකට හිනා උනා. ඒ ළඟම පුංචි හාමුදුරු කෙනෙකුත් හිටියා. උන් වහන්සේ හිතුවා, ඇය හිනා උනේ තමාට කියල. උන් වහන්සේත් ඇගේ මූණ දිහා බලල හිනා උනා. “ඇයි මගේ මූණ දිහා බලල හිනාවෙන්නේ. තට්ට හාමුදුරුවෝ.” ඇය නොමනාපයෙන් කීවා. “මම නෙවෙයි තට්ට. නුඹ තමයි තට්ට. නුඹේ අම්මත් තාත්තත් දෙන්නත් තට්ට.” කියල පුංචි හාමුදුරුවෝ කීවා. ඇය අඬාගෙන ගිහින් ඒක අත්තම්මට කීවා. අත්තම්මා එතෙන්ට ආවා.

1/3

“පුංචි හාමුදුරුවෝ තරහ ගන්ට එපා. මේ පුංචි ළමයෙක්නේ. අනෙක ඉතිං පුංචි හාමුදුරුවන්ගේ හිස මුඩු කරලත්නේ තියෙන්නේ.” “ඒ උනාට ඒක එහෙම කියන්න ඕන නැහැනේ.” ඒ වෙලාවෙම පුංචි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවොත් ආවා. “පොඩි නම මොකටද රණ්ඩුවට යන්නේ. තමන්ගේ හිස බූගාල නිසානේ, ඒ ළමයා එහෙම කියල තියෙන්නේ. ඒකට තරහ ගන්න දෙයක් නැහැ.” පුංචි හාමුදුරුවෝ නොමනාපයෙන් ලොකු හාමුදුරුවෝ දිහා බැලුවා. “ඔක්කොම මටම තමයි දොස් කියන්නේ.” පොඩි හාමුදුරුවෝ කීවා. එතකොට එතෙන්ට බුදුහාමුදුරුවෝත් වැඩියා. කාරණේ දැන ගත්තා.

2/3

“ඇත්ත. මගේ ශ්‍රාවකයන්ගේ හිසකෙස් බූගාල තමයි තියෙන්නේ. වළඳන්නේ පිණ්ඩපාතෙන් තමයි. සිවුරු අඳින්නේ කපල කෑලි මූට්ටු කරල තමයි. ඒත් ඒක අඩුවක් විදිහට හිතල කතා කරන එක වැරැදියි. සමහර අය අවඥා සහගතවම, ජාතිය, කුලය, ආගම, රැකියාව,ශාරීරික ආබාධ, හා තවත් නොයෙක් ස්වභාවික හේතූන් ඉස්මතු කරමින් එවැනි වදන් කියනවා. එය යහපත් දෙයක් නොවේ.” බුදුහාමුදුරුවෝ එහෙම කීවම පොඩි හාමුදරුවන්ට සතුටුයි. බුදු හාමුදුරුවෝ තවත් කරුණු පැහැදිළි කරල බණ කීවා. පුංචි හාමුදුරුවෝ ධර්‍මය අවබෝධ කර ගත්තා. පැමිණි සිටි බොහෝ පිරිසත් ධර්‍මය අවබෝධ කර ගත්තා. පුංචි හාමුදුරුවෝවත්, කුඩා දැරියවත්, තේරුමක් නොදැනයි එදා ඒ විදිහට දොස් කියා ගත්තේ. ඒත් අද සමහරු අන් අයට රිදවීමටම එවැනි වදන් භාවිතා කරනවා. ඒක සුදුසු නැහැ.

3/3

- ආනන්ද මාරසිංහ -