කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර කෑ හැටි. මහනුවර රාජධානියෙහි රජ කළ රාජාධි රාජසිංහ රජ්ජුරුවන් තමන්ගේ සැට වෙනි උපන් දිනයේදී, සැට නමකට දානයක් දීමට කල්පනා කළා. ඒ අනුව මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේම මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන, ස්වාමින් වහන්සේලා හැට නමකට ආරාධනා කළා. ඒ අතර කුංකුණාවේ සුමංගල නමින් හාමුදුරු නමකුත් හිටියා. උන් වහන්සේ ටිකක් මුඛරියි. මුක්කම් ස්වරූපයකුත් තිබුණා. යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වලටත්, වස්කවි වලටත්, ප්‍රසිද්ධයි. කිසිවෙකුට බියක් දැක්වූයේ නැහැ. කිව යුත්ත කීවා. දානේ දවසේ භික්ෂු පිරිස අවසානයටම හිටියේ කුංකුණාවේ හාමුදුරුවෝ. දානය සදහා රජතුමා බිත්තර හැටක් තම්බලා, තමන් අතින්ම, ඒවා එකින් එක හාමුදුරු හැට නමට, බෙදා දීමට සූදානමින් හිටියා. දානය බෙදා එකිනෙකා ව්‍යඤ්ජන බෙදාගෙන බෙදාගෙන ගියා. රජතුමාත් තමන් සකස් කරගත් බිත්තර ව්‍යඤ්ජනය අරන් දානේ වළදන හාමුදුරුවරුන්ට බෙදීමට ගියා. පළමුවෙන් වැඩ සිටි මහා නායක හාමුදුරුවරුන්ට බෙදන්ට ගියා. උන් වහන්සේලා අතින් පාත්‍රය වසමින් ප්‍රතික්ෂේප කළා. දෙවැනි, තුන් වැනි, හාමුදුරුවරුන්ටත් බෙදුවා. ඒ අයත් ප්‍රතික්ෂේප කළා. මේ විදිහට මුලින් සිටි හාමුදුරුවරු 59 දෙනාම බිත්තර ප්‍රතික්ෂේප කළා. හැට වෙනියට හිටියේ කුංකුණාවේ හාමුදුරුවෝ. උන් වහන්සේට බිත්තරයක් බෙදුවා. උන් වහන්සේ ඒක පිළිගත්තා. රජතුමාට සන්තෝසයි. තවත් එකක් බෙදුවා. ඒකත් පිළිගත්තා.

1/2

තවත් එකක් බෙදුවා. ඒකත් පිළිගත්තා. අනෙක් සියලුම ස්වාමින් වහන්සේලා නොපිළිගත් බිත්තර කුංකුණාවේ හාමුදුරුවන් පිළිගැනීම ගැන රජතුමාට හරි සතුටුයි. බිත්තර පනස් නවයක්ම හාමුදුරුවෝ පිළිගත්තා. රජතුමා හැටවෙනි බිත්තරයත් හාමුදුරුවන්ට පූජා කළා. ඒත් හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළා. “ඇයි ස්වාමින් වහන්ස, මේ බිත්තරයත් පිළිගන්න.” “නැහැ මහරජතුමනි, මේ මා වෙනුවෙන් සකස් කළ බිත්තරය. මේ අනෙක් සියලුම බිත්තර මා වෙනුවෙන් සකස් කළ ඒවා නොවෙයි. මේ අනෙක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සකස් කළ ඒවා. බුදුරජාණන් වහන්සේ දේශණා කළේ ‘ත්‍රිකෝටි පාරිශුද්ධි මංශය’ වැළඳුවාට කමක් නැහැ කියලයි.” “ඒ කුමක්ද ස්වාමින් වහන්ස.” “තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු, තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ, තමන් වෙනුවෙන් මැරූ බවට සැකයක් නැති, මස් මාංශ වැළදුවාට කමක් නැති බවයි ඉන් කියවෙන්නේ.” රජතුමා කට කොණකට මඳහසක් නගාගෙන එතැනින් පිටත් උනා. ( උදව්ව.- ඩී. පී. වික්‍රමසිංහගේ මගදිගට ජනකතා පොතෙනි )

2/2

- ආනන්ද මාරසිංහ -