. “ඕං ඩෝලෙ ඒස්වා හඃ” මනුදිගේ දඟ වැඩ හන්දා එයාගෙ අම්මා එයාට බැනල කුස්සියෙන් එළවලා දැම්මා. මනුදිට ගොඩක් දුක හිතුනා. එයා එයාගේ ‘ඩෝලත්’ අරගෙන ඉස්තෝප්පුවේ බිම වාඩි උනා. “අපේ අම්මා හරි නරකයි ඩෝලෙ. ලූණු ගෙඩියක් ගත්තා කියල ඔච්චර කෑ ගහන්න ඕනය නේද?” මනුදි ඩෝලෙගෙ කොණ්ඩෙ පීරල බඳින ගමන් ඇහුවා. “අප්පච්චි හිටියනම් මට ඕන දෙයක් ගන්න කියනවා. අද අප්පච්චි ගෙදර ආපුහම මම ඔක්කොම කියනවා.” මනුදි දුකින් කීවා. ‘ඩෝලෙ’ ඇස් දෙක කරකවලා මනුදි දිහා බැලුවා. මනුදි ඩෝලෙට හිනා උනා. ඩෝලෙත් හිනා උනා. මනුදි ඩෝලෙගේ අත් දෙක අල්ලලා හෙල්ලුවා. ඩෝලෙත් මුනුදි දිහා හිනාවෙලා බලල තනියම අත් දෙක හෙල්ලුවා. මනුදි ඩෝලෙගෙ අත් දෙකෙන් අල්ලලා, කකුල් දෙකෙන් හිමීට ඇවිද්දෙව්වා. ඩෝලෙත් හිමීට ඇවිද්දා. “අනේ ඔයා හරි කියුටි ඩෝලෙ.” බෝනික්කා ඇවිද්දවන ගමන් මනුදි කීවා. මනුදි අතින් අල්ලගෙන යනකොට ඩෝලෙ හිමිට අඩිය උස්සලා තිබ්බා. මනුදිට හරි සතුටුයි.
1/10
“ඩෝලෙ ඔයාට ඇවිදින්න පුලුවන්. මේ කකුල උස්සලා මේ කකුල තියන්න. වැටෙන්න ගියොත් අත් දෙක මෙහෙම දික් කරල බැලන්ස් එක ගන්න.” මනුදි ඩෝලෙට ඇවිදින්න කියල දුන්න. ඩෝලෙ ඉක්මනට ඇවිදින්න පුරුදු උනා. “මං ඔයාට කතා කරන්නත් පුරුදු කරන්නම්.” මනුදි කීවා. “අම්මා. අ..ම්..මා” “ඇයි මොකද?” අම්මා කුස්සියේ ඉඳලම ඇහුවා. “මං අම්මට නෙවේ කතා කළේ. මගේ ඩෝලෙට. මං එයාට කතා කරන්න පුරුදු කරනවා. මං අම්මත් එක්ක කතා කරන්නේ නැහැ මං තරහයි.” “ඒකට කමක් නැහැ. එහෙනම් ඩෝලෙත් එක්කම ඉන්න.” අම්මා හිනාවෙලා කීවා. “මෙහෙම තොල් දෙක එකට කරල, ‘ම්..ම්.. මා.’ කියන්න.” “ම්.. ම්... ම්..” ඩෝලේ තොල් හැදුවා. “හරි. හරි.” “ම්.මා.” “ම්.මා” “දැන් කට මෙහෙම ඇරලා අම්මා කියන්න.”
2/10
“අම්මා.. දැන් කියන්න.” “අ..ම්. මා.” ඩෝලෙ කිව්වා . “අම්මා.” “ අම්මා.” ඒ මනුදි. “අම්මා. අම්මා.” ඒ ඩෝලෙ. “හරි ෂෝක් අනේ. ඔයා ඉක්මනට කතා කරන්නත් පුරුදු උනා.” අපි දැන් නටන්න පුරුදුවෙමු. මැණ්ඩියට ඉඳළම පුරුදු වෙනවද? ඕන් නෑ. අපි නිකම් නටන්න පුරුදු වෙමු. පස්සේ මැණ්ඩියට ඉඳල පුරුදු වෙමු.” “නන් නානේ නා නන, නන්නානේ නා නන.” මනුදි ඩෝලෙගෙ අත් දෙකෙන් අල්ලගෙන නටන්න හුරු කළා. ඩෝලෙත් හිනාවෙලා මනුදිත් එක්කම නැටුවා. “දැන් ඔයාට හිනාවෙන්න පුලුවන්. කතා කරන්න පුලුවන්, ඇවිදින්න පුලුවන්. නටන්න පුලුවන්. අපි දෙන්න දැන් ‘අල්ලං සෙල්ලං’ කරමු..” “ මම දුවනවා. ඔයා මාව අල්ලන්න එන්න. ඔයා මාව ඇල්ලුවොත්, ඊට පස්සෙ මං ඔයාව අල්ලන්න එනවා. එතකොට ඔයා දුවන්න ඕන. හරිද. තේරුණාද?” “මේ ඒක නෙවේ, අපි මෙතැන සෙල්ලම් කළොත් අම්මා බනියි. අපි කාමරේට ගිහින් දොර වහගෙන ඇතුළේ සෙල්ලම් කරමු.” මනුදි කීවා. “අම්මා බනියිද දන්නේ නැහැ.” ඩෝලේ ඇහුවා.
3/10
“නැහැ. හිමීට සෙල්ලම් කරමු.” මනුදි කීවා. දෙන්නම කාමරේට ගිහින් දොර වහගත්තා. දොර වහන සද්දෙට අම්මා කෑ ගැහුවා. “ඔය දොරවල් හිමීට වහන්න ඕන. නැත්තම් කැඩෙනවා. වහගත්තට කමක් නැහැ. ඇතුලෙන් යතුර එහෙම දාන්න එපා. ඔයාට නින්ද යාවි.” මනුදි මොකුත් කියන්නේ නැතුව, ඩෝලෙත් එක්ක හිනා උනා. “අපි ඇතුළෙන් අගුල දා ගමු.” හෙමිට ඩෝලෙට කිව්වා. කාමරේ ඇතුලේ දෙන්නා සෙල්ලම් කළා. ටිකක් සෙල්ලම් කරනකොට ඒ අයට අමතක උනා, කතා කරගත්තු දේවල්. දෙන්න කාමරේ දඩි බිඩි ගාල දුවන්න පටන් ගත්තා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දෙන්න හිමීට කතා කලාට, දැන් දෙන්නම හයියෙන් හිනාවෙනවා. කතා කරනවා. අම්මට මේ සද්දේ ඇහුනා. ‘කවුද කාමරේ ඉන්නේ අම්මා හිතුවා. කවුරුවත් ආවෙත් නැහැ. මෙයා තනියම කතා කරනවා ඇති, මාව රවට්ටන්න.’ අම්මා දොර ළඟට ගිහින් අහගෙන හිටියා. “ඔයාට පුලුවන්ද ඇඳ උඩ ඉඳල පනින්න. මෙන්න මෙහෙම. මනුදි පැනල පෙන්නුවා. ඩෝලෙත් පැන්නා. ඉස්සෙල්ලාම ඩෝලෙ ලෙස්සලා වැටුනා. මනුදි හයියෙන් හිනා උනා. “මට රිදෙන්නේ නැහැ.” ඩෝලෙ කිව්වා. ආයෙත් දෙන්නම හයියෙන් හිනා උනා. අම්මා දොර ළඟ ඉඳල අහගෙන හිටියා. ‘තව කවුරු හරි කාමරේ ඉන්නවා. හීන් කටහඩක්. මට ඒ හඩ හුරු නැහැ.’ අම්මා තමාටම කියා ගත්තා.
4/10
“මනුදි .. චූටි දුව. කවුද වෙන කාමරේ ඉන්නේ. මේ දොර අරින්න.” අම්මා දොරට තට්ටු කරල කිව්වා. ඒත් මනුදි දොර ඇරියේ නැහැ. මනුදි කටට ඇගිල්ල තියල කෑ ගහන්න එපා කියල ඩෝලෙට කිව්වා. ඩෝලේ කරබාගෙන හිටියා. “හිතුවක්කාර වෙන්න එපා ළමයා. මේ දොර අරින්න දුව. මං දුවට ආදරෙයිනේ.” අම්මා එළියෙ ඉදල කීවා. ඒත් මනුදි දොර ඇරියේ නැහැ. සද්ද නැතුව හිටියා. “කියන දේ අහන්න දූ. මේ දොර අරින්න. නැත්තං ඔයාට ඇතුලේ නින්ද යාවි. දොරේ අගුල ඇරල සෙල්ලම් කරන්න.” අම්මා එහෙම කියල දොර ළඟින් ගියා. අම්ම එතැන ඉන්නකල් සද්ද නැතුව හිටපු මනුදියි, ඩෝලෙයි, දෙන්නා ආපහු කාමරේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. “අම්ම ගියා වගේ. අපි ආයෙත් සෙල්ලම් කරමු.” මනුදි කීවා. “ අපි මොකක්ද කරන සෙල්ලම. ‘හැංගි මුත්තං’ කරමු.” “හා. හැබැයි, මට කියල දෙන්න ඕන.” ඩෝලෙ කිව්වා. “මං හැගෙනවා. ඔයා මාව හොයන්න ඕන. හැබැයි කාමරෙන් එළියට යන්න බැහැ. “ඒ කොහොමද?” ඔයා ඇස් දෙක වහගෙන එකේ ඉඳල විසි පහට ගණන් කරනවා. ඒ වෙලාව ඇතුලෙ මම හැංගෙනවා. ඔයා ඊට පස්සේ මාව හොයන්න ඕන. මාව හොයා ගන්න ඉස්සරවෙලා මම මේ කණුව ඇල්ලුවොත් මං දිනුම්. ඔයා මාව හෙව්වොත් ඔයා දිණුම්. “හරි. එහෙනම් ඔයා හැංගෙන්න. මං අල්ලන්න එන්නම්.” ඩෝලෙ කිවිවා
5/10
මනුදි හති වැටෙනකම් සෙල්ලම් කළා. ඒත් ඩෝලෙට නම් මහන්සියක් නැ. මනුදි මොනවද කරන්නේ බලන්න අම්මා හෙමිහිට ජනේලෙ ළඟට ගියා. කාමරේට එබිල බැලුවා. කාමරේ කවුරුවත් නැහැ. මනුදිගේ හුරතල් ඩෝලේ ඇදේ හාන්සිවෙලා හිටියා. එයා ඩෝලෙත් එක්ක කතා කරනවා. කතා කරන්නේ මොනවද කියල හොරෙන් අහගෙන හිටියා. “අපි ආයෙත් සෙල්ලම් කරමු.” අර හීන් හඬ ආයෙත්. “මං වතුර ඩිංගක් බීල එන්නම්.” මනුදි බෝතලය අරන් වතුර බීවා. “ඔයාටත් වතුර ඕනද.?” “එපා. මට වතුර තිබහ නැහැ.” අර හීන් හඬ ආයෙම. අම්මා තව ටිකක් හැංගිලා බලාගෙන හිටියා. ‘කාමරේ කවුරු හරි ඉන්නවා.’ “අපි කිරි කිරි බෝලේ කරමු.” මනුදි බිමට පැන්නා. ඒත් එක්කම ඩෝලෙත් බිමට පැන්නා. අම්මා පුදුමෙන් බලාගෙන හිටියා. ‘මොනවා. මෙයාගෙ ඩෝලෙ නේද. ඒ කොහොමද එයා බිමට පැන්නේ.?’ “මෙහෙමයි කරන්නේ. අපි දෙන්නා, ‘කිරි කිරි බෝලේ, රැළි රැළි මාලේ’ කියල කැරකෙනවා. එක පාරක් කළාම ඔයාට අල්ල ගන්න පුලුවන්.” ‘චූටි දුවයි, ඩෝලෙයි, දෙන්නා කාමරේ මැද හිටගෙන ඉන්නවා. එකිනෙකා කතා කරනවා. කොහොමද ඩෝලෙ හිටගෙන ඉන්නේ? කොහෙමද හිනාවෙන්නේ කොහොමද කතා කරන්නේ?.’ “හරි.”
6/10
“කිරි කිරි බෝලේ රැළි රැළි මාලේ මේ ළමයා කොහෙන්දෝ රෝස කැළෙන් ඇහින්දෝ දඩිං බිඩිං ඩොං” “දෙන්නම කැරකි කැරකි සෙල්ලම් කරනවා. මේ මොන පුදුමයක්ද?” අම්මා තනිවම කිව්වා. “ දැං අපි වෙන සෙල්ලමක් කරමු. “ඒ කියන්නේ?” “මං ඔයාට කළගෙඩි සෙල්ලම් කියල දෙන්නම් ඒක නටමු.” “මෙන්න මෙහෙම කළේ ගන්නවා. ‘අහසට’ කියනකොට උඩට උස්සනවා. ‘පොළවට’ කියනකොට කළේ පොළවට පාත් කරනවා. කරනකොට පුරුදු වේවි.” ඩෝලේ මනුදි කරන දිහා බලාගෙන කළ ගෙඩි නැටුමත් නැටුවා. “අහසට පිඹිනා එරන් කළේයා පොළවට පිඹිනා භූමි කළේයා රන් මසු දහසක් වටින කළේයා නොපිඹින් නෑනෝ මගේ කළේයා.” වරදින තැන් මනුදි ඩෝලෙට කියල දුන්නා. අම්මා එතැනින් දුවල ගිහින් පෝන් එක අරන් ආවා. දෙන්නා සෙල්ලම් කරනකොට අම්මා ඒක වීඩියෝ කළා.
7/10
අප්පච්චිට යැව්වා. හෙමීට ආපහු දොර ළඟට ආවා. “චූටි දූ දොර අරින්න පැටියෝ. ඔයා තේ ටිකක් බොන්න. බිස්කට් එකක් කන්න එන්න.” මනුදි කරබාගෙන හිටියා. “දුව මාත් එක්ක තවම තරහද? මං මගේ රත්තරං එක්ක කරහ නෑනේ . අර ලූණු ගෙඩිය කපල කපල දාපු හින්දනේ මං ඔයාට බැන්නේ.” “අම්මිට ලූණු ගෙඩියද ලොකු? මං ද ලොකු.?” අම්මගෙ පපුව හෝස් ගාල දාල ගියා. “අනේ මගේ රත්තරං පැටියෝ. ඔයා ඒක අමතක කරන්න. මට මගේ චූටි පැටියා කොච්චර වටිනවාද? මං තරහ නෑනේ ඔයා ඕන තරං බඩු අරන් සෙල්ලම් කරන්න. රත්තරං දැන් එන්න තේ බොන්න. ඔය දොර අරින්නකෝ.” මනුදි ඩෝලෙව ඇදේ නිඳි කෙරෙව්වා. රෙදි කෑල්ලකුත් පෙරෙව්වා. දොර ඇරියා. අම්මා කාමරේට ආවා. වට පිට බැලුවා. බඩු මුට්ටු ටිකක් එහාට මෙහාට වෙලා තිබුණට වැඩි හානියක් වෙලා නෑ. “ඔයාගේ ඩෝලා කොයි?” “එයා දොයි.” මනුදි කීවා.
8/10
අම්මා ඩෝලාගේ ඇඟට අත තියල බැලුවා. වෙනද ඩෝලම තමයි. වෙනස් වෙලා නැහැ. එහෙනම් මං මොකක්ද දැක්කේ?. අම්මා ඩෝලව උස්සල බැලුව. වෙනද හිටපු ඩෝලම තමයි. කෙලින් කරල තිබ්බම එහෙමම කඩා වැටුණා. අම්මට හරි පුදුමයි. එයා ආපහු ගිහින් පෝන් එක ගත්තා. වීඩියෝ එක බැලුවා. ‘මේ දෙන්නා අගේට කිරි කිරි බෝලේ කරන්නේ. කළගෙඩි නැටුමත් කරන්නේ.’අම්මා ඩිංගක් කල්පනා කළා. “මනුදි එන්න පුතේ, මං ඔයාට බඩ්ඩක් පෙන්නන්න.” “මොකක්ද අම්මේ?” මනුදි කුස්සියට ගියා. අම්මගේ අතේ පෝන් එක. මොකක් හරි පෙන්නන්න වෙන්නැති. වෙනදටත් අම්ම ලස්සන දෙයක් දැක්කම මනුදිටත් පෙන්නනවා. මනුදි ගිහින් පෝන් එක බැලුවා. ‘හෑ... ඩෝලෙයි මායි සෙල්ලම් කරපුවා. අම්මා ඔක්කොම බලාගෙන ඉඳලා.’ මනුදි අම්මා දිහා බැලුවා. අම්මා ඔලුව පැත්තකට කරල චූටි හිනාවක් පෑවා. “මං ඔක්කොම දැක්කා. ගිහින් ඩෝලෙත් එක්කං එන්න.” මනුදි දුවල ගියා ඩෝලෙ ළඟට. ඩෝලෙ නිඳි. “ඩෝලෙ, ඩෝලෙ, නැගිටින්න. නැගිටින්න. අම්මා අපි දෙන්න ගැන දන්නවා. එන්න යං තේ බොන්න. බිස්කටුත් තියෙනවා. මංනම් චීස් කන්නෙ නැහැ. ඔයා ඕන නම් කන්න.” මනුදි ඩෝලෙට කතා කළා. ඒත් ඩෝලෙ නැගිට්ටේ නැහැ. මනුදි ඩෝලෙව වාඩි කෙරෙව්වා. ඒත් ඩෝලෙ නැගිට්ටේ නැහැ. එහෙමම කඩා වැටුණා. ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මනුදි කතා කළා.
9/10
“එන්න ඩෝලෙ අපි යං.” “දැං ඔයාගෙ අම්ම ඔයත් එක්ක යාලුයිනේ ඒ වෙලාවට ඔයා අම්මත් එක්ක ඉන්න ඕන. අම්මත් එක්ක සෙල්ලම් කරන්න ඕන. නැත්තම් අම්මට දුක හිතෙයි. මාත් එක්ක තරහ වෙන්න එපා. ඔන්න මං දොයි.” ඩෝලේ ආපහු ඇදේ නිදා ගත්තා. අම්මා දොර රෙද්ද අතරෙන් ඒ ඔක්කොම බලාගෙන හිටියා. “ඩෝලෙ කියන එක හරි, මගේ රත්තරං. ඔයා තනියම ඉන්නකොට ඩෝලෙ ඔයත් එක්ක සෙල්ලම් කරන්න ඒවි. අනෙක් වෙලාවට අම්මිලත් එක්ක සෙල්ලම් කරන්න. නැත්තම් අම්මිට සෙල්ලම් කරන්න කෙනෙක් නැති වෙනවනේ.” අම්මා කීවා. “අනේ, මගේ ඩෝලෙ මැරිලද එතකොට?. “නෑ නෑ මං මැරෙන්නේ නැහැ කවදාවත්. ඕන වෙලාවක “ඕං ඩෝලෙ ඒස්වාහඃ” කියල මතුරල මගේ ඔලුවට පිඹින්න එතකොට මං නැගිටල ඔයත් එක්ක සෙල්ලම් කරන්න එනවා.” “ඔයා බොරු වෙන්ටැති කියන්නේ.” “එහෙනම් ඔයා මතුරලා බලන්නකෝ.” “ඕං ඩෝලේ ඒස්වාහඃ.” මනුදි මතුරලා ඩෝලෙගේ ඔලුවට පිම්බා. ඩෝලෙ නැගිට්ටා. “හැබැයි මං කිව්වේ ඔයාට සෙල්ලම් කරන්න කවුරුවත් නැති වෙලාවට මට කතා කරන්න කියල. ඔයා දැං අම්මත් එක්ක ගිහින් තේ බීල සෙල්ලම් කරන්න.” ඩෝලේ ආපහු ඇදේ නිඳා ගත්තා.
10/10