සීගිරි අසිරිය ජාතියක පෞඪත්වය ලෝකයාට පෙන්වන අපූරු කැඩපතක් වන්නේ එරට ඓතිහාසික පුරාවිද්‍යාත්මක ආගමික හා සංස්කෘතික වශයෙන් ශේෂවී තිබෙන ස්පර්ශක හා අස්පර්ශක උරුමයන්ය. අපේ රට ලොව අන් කිසිදු රටකට දෙවැනි නොවන ආකාරයෙන් එවැනි උරුමයන්ට හිමිකම් කියන දේශයකි. සීගිරිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ගෞරවාදරයට පත් වන්නේ එහි වටිනාකම යුනෙස්කෝව අවබෝධකරගෙන ඇති හෙයිනි. පස්වැනි සිය වසේදි කාශ්‍යප රජතුමා විසින් සීගිරිය ගොඩ නගන ලද බව අවිවාදයෙන් පිළිගනිමු. ඒ හා වෙනත් කාරණා සම්බන්ධ කිරීමට ඇතැම්හු දරණ උත්සාහයන් එතරම් ප්‍රබල ශාක්ෂි මත ඉදිරිපත් නොවෙන්නකි. සීගිරිය සම්ප්‍රදායික මතවාදයන්ගේම එල්බ නොගත් පාලකයෙකුගේ සිතේ ඇඳුණු මනෝ රාජිකයක්, මල් ඵල ගැන්වූ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. දැනට ශේෂවී ඇති නටබුන් දෙස බැලීමෙන් සීගිරිය ලොව අටවැනි පුදුමය ලෙසට අර්ථ කථනය කරන්නේ නම්, නිමවූ ආකාරයෙන්ම පැවතියේ නම් සීගිරිය ලොව අංක එකේ පුදුමය බවට පත්වෙනු නො අනුමානය.

1/30

මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ, දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙහි, සීගිරිය පිහිටා ඇත. සමතැනිතලා භූමියෙහි, අඩි 600 ක් තරම් උස හුදෙකලා ගල් පර්වතයකි සීගිරිය. එහෙත් එහි මතුපිට අක්කර හතරක පමණ තැනිතලා භූමියක් තිබේ. සමස්ත සීගිරිය හෙක්ටෙයාර 16 ක් හෙවත් අක්කර හතලිහක පමණ භූමි ප්‍රදේශයක් වසාගෙන තිබේ. අනාගතයේදී යම් යම් කැණීම් කෙරෙන විට මේ ප්‍රමාණය වෙනස් විය හැකිය. ඒ නිසාම හෙක්ටෙයාර 160 භූමි භාගයක් සීගිරිය සඳහා වෙන් කර තිබේ. ලංකාවට බුදු දහම පැමිණි සමයේ සිටම භික්ෂූන් වහන්සේලා තම වාසස්ථාන ලෙස සීගිරිය භාවිතා කරන්නට ඇත. එහෙත් කාශ්‍යප රජු තම මාළිගය සඳහා එය වෙන් කර ගැනීමෙන් පසුව උන්වහන්සේලා වෙනත් සුදුසු ස්ථානයන් කරා යොමු කරවන්නට ඇත. නැවත රාජධානිය බිඳ වැටීමෙන් පසු අරණ්‍යවාසී, යෝගාවචර භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානය තම විමුක්ති කටයුතු සඳහා භාවිතා කරන්නට ඇත. එහි සමහර ගල්ලෙන් තුළ හා අවට ආගමික නටබුන් ඇත්තේ එහෙයිනි. රාජධානිය නැවත අනුරාධපුරයට ගෙන යාම නිසා මේ ප්‍රදේශයන් ජන ශූන්‍ය විය. වනගත විය. නැවත ඒවා කළ එළි බසින්නේ ඉංග්‍රීසින් මෙරට අල්ලා ගැනීමෙන් පසුවය

2/30

සීගිරිය රාජධානියක් වීම. ක්‍රි. ව. 477- 495 කාලය තුළ රජ කළ කාශ්‍යප, සීගිරිය තම රාජධානිය වශයෙන් ගොඩ නගා ගත්තේය. සීගිරි නාමය සැකසුණු ආකාරය චූලවංශයේ මෙසේ සඳහන් වේ. “පාකාරෙන පරික්ඛිප්ප සීහාකාරෙන කාරයී තස්ස නිස්සෙනි ගෙහානි තෙන තං නාමතෝ අහූ.” මෙහි සඳහන් ආකාරයට සිංහයෙක් බඳුකොට හිනිගෙවල් නිමා කළ නිසා ‘සීගිරි’ නම ලැබී ඇත. මෙය ඓතිහාසික මූලාශ්‍රයන් ඔස්සේ කරන නිගමනයකි. එහෙත් සීගිරිය පිළිබඳ ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති බව සමහර ජනප්‍රවාදයන්ගෙන් කියවේ. රාවණා ඉතිහාසය පිළිබඳ රුචි කරන්නන් සීගිරියත්, රාවණා රාජ්‍ය කාලයත් සම්බන්ධ කරති. ඔවුන්ගේ මතයට අනුව ලංකා පුරය හෙවත් ශ්‍රී වාස්තු පුරය පිහිටියේ මාතලේය. රාවණාගේ සොයුරා කුවේරයාය. ඔහු සිටියේ සීගිරියේය. ‘කාශ්‍යප රජු කුවේරයා මෙන් සීගිරියේ සිටියේය’ යන අදහස ආවේ ඒ අනුවය.

3/30

රාවණා යනු යක්ෂ ගෝත්‍රිකයෙකි. කුවේණිය යනුද යක්ෂ ගෝත්‍රිකයෙකි. විජය කුමරු පළමුව විවාහ කර ගත්තේ කුවේණියයි. ඇගේ පියා බම්බා රජුය. ඔහු ජීවත් වූයේ ගලේවෙල ප්‍රදේශයේය. ගලේවෙල ‘බම්බාව රජ මහ විහාරය’ට එම නම තබා ඇත්තේ බම්බා රජු සිහිපත් වීම සඳහාය. මෙම කරුණු ජනප්‍රවාද අනුව ගොඩ නැගී ඇති දේවල්ය. ඒවා ඒ ආකාරයෙන්ම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙක් ඉක්මන් නොවිය යුතුය. කාලයා විසින් නිසි විසඳුමකට එළඹෙනු ඇත. තවත් කෙනෙකුගේ මතය වන්නේ සීගිරිය යනු අපේ මුතුන් මිත්තන් විශ්වය සමග ගනු දෙනු කළ ස්ථානය බවයි. සීගිරිය සම තැනිතලා භූමියක පිහිටි උස් ස්ථානයක් බව මුලින් සඳහන් කළෙමු. පැරැන්නෝ ගනු දෙනු කළේ, තරු රටාවන් සමගය. විශ්වය පැහැදිළිව පෙනෙන සීගිරිය ඒ සඳහා යොදා ගත්තේයැයි සිතන සිතුවිල්ලද එක වර බැහැර කළ හැකි නොවේ. අනුරාධපුර රන්මසු උයනත්, රුවන්වැලි සෑයත් අභය ගිරිය හා ජේතවනය යන ත්‍රිකෝණයත් එවැනි විශ්වය සමග සබඳතා පැවැත්වූ ස්ථාන ලෙස ඔවුහු සිතති. සීගිරියේ ඉතිහාස කතාව පහන් සංවේග දනවන්නකි. අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජතුමා මහජනතාවට අසීමිතව ආදරය කළ, ජනතාව තේරුම් ගත් පාලකයෙකි. ඔවුන්ගේ

4/30

අවශ්‍යතාවයන් තේරුම් ගත් එතුමා වර්‍ග අක්කර 6380 විශාල කලාවැව නිර්‍මාණය කළේය. එහි සිට අනුරාධපුර තිසා වැව දක්වා සැතපුම් 54 ක් දිග යෝධ ඇලද නිර්‍මාණය කරන ලද්දේය. ධාතුසේන රජුට දරුවන් දෙදෙනෙක් විය. එක් අයෙක් මුගලන් වූ අතර අනෙකා කාශ්‍යප විය. බිසෝවරුන් දෙදෙනෙකුගේ කුසෙන් ඉපදුණු මේ දෙදෙනාගෙන් වැඩිමලා වූයේ කාශ්‍යප කුමරුය. රාජ උරුමය වැඩිපුර තිබුනේ මුගලන්ටය. නමුත් කාශ්‍යප කුමරු රජු මරා රාජ්‍යය පැහැර ගත්තේය. මුගලන් කුමරු ඉන්දියාවට පළා ගියේය. කාශ්‍යප කුමරු අනුරාධපුරය අතහැර සීගිරිය තම රාජධානිය ලෙස සකස් කර ගත්තේය. මුගලන් කුමරු ඉන්දියාවට පළා ගියේය. කාශ්‍යප කුමරුට වඩා වැඩි පිරිසක් මුගලන් කුමරුට පක්ෂපාතී වුවත්, දැන් කළ යුතු දෙයක් නොවීය. කාශ්‍යප සිය බලය තහවුරු කරගෙන හමාරය. කෙසේ නමුත් මහා සංඝරත්නය හා රට වැසියා ආදරය කළ ධාතුසේන රජු ඝාතනය කිරීම මහජනතාවගේ පිළිකුළට හේතු විය. මහාසංඝරත්නයේ සමහරු ‘පිතෘ ඝාතක’ කාශ්‍යපගේ දානයන් පවා ප්‍රතික්ෂේප කළහ. ඒ අප්‍රසාදය බොහෝ කාලයක් පැවතුනි. 13 වැනි සියවසේ රචනා කළ පූජාවලියේ, ඒ තොරතුරු සදහන් වන්නේ මෙසේය.

5/30

“ඔහු නොසමාන දරු සීගිරි කසුබු රජ පියරජහු මරා සීගිරි ගල කරවා, එහි වැස, අටළොස් අවුරුද්දක් අධර්මයෙන් රාජ්‍යය කොට, කපක් කල් දුක් ගන්නා අවිචි මහ නරකයෙහි හිණ.” කාශ්‍යප මියගොස් වසර 700 කට පසුව රචනා වූ බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේ එන එම සඳහනින් ගම්‍යවන්නේ, බලවත් කම් හමුවේ ඔහු කරන ලද අපරාධයන් අමතක කර දැමීමට වැසියා සූදානම් නොවූ බවයි. පියාගේ මරණයෙන් පසු මුගලන් කුමරු අසරණ විය. බිය විය. ඔහු ඉන්දියාවට පළාගියේ එහෙයිනි. නිසිවේලාව එනතුරු ඔහු තම සහෝදරයාගෙන් පළිගැනීමට සූදානම් වෙමින් සිටියේය. කාශ්‍යප රජතුමා අනුරාධපුරයෙන් සිය අගනුවර සීගිරියට ගෙනාවේය. කලාකාමී හදවතක් තිබුණු කාශ්‍යප තම අභිනව රාජධානිය සිය සිතැඟියාවන් ඉටුවන සේ සකස් කර ගත්තේය. ආරක්ෂක බලකොටු සහිතව සකස්වූ එය, අහසෙහි සදන ලද ආකාශ මාළිගයක් සේ දිස්විය. ආලක මන්දාවේ කුවේරයා මෙන් සිටීමට සියලුම සැප සම්පත්වලින් ආඪ්‍ය මාළිගාවක් ඉදි කර ගත්තේය. සීගිරිය ආරක්ෂක බලකොටුවක් නොවේ. එය රජු සිටින ස්ථානය නිසා ආරක්ෂාවට දිය අගල්, කළල් අගල්, හා ආරක්ෂක ප්‍රාකාර ඇතිව සකස් කරන ලද එකක් වෙයි. එහෙත් එහි සෞන්දර්යාත්මක අගය අති විශාලය. ආරක්ෂක බලකොටුවක් නම්

6/30

ඇතුළත ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සැකසී තිබිය යුතුය. එහෙත් එවැනි සලකුණු දැනට විද්‍යමාන නොවේ. එසේම එවැනි සම්පත් වලින් තොරව ඇතුළට කොටුවී සිටීම ආරක්ෂක උපක්‍රමයක් නොවන බව රජතුමා නොදැන සිටියා විය නොහැකිය. මුගලන් කුමරු සටනට එනවිට සීගිරියේ නොසිට මුගලන් හමුවීම සඳහා ඉදිරියට යාමෙන්ද ඒ බව පැහැදිළි වේ. මුගලන් කුමරු වසර 18 ක් ඉන්දියාවේ සිට, තම ශක්තිය දේශීය වශයෙන් මෙන්ම, විදේශීය වශයෙන්ද තර කර ගත්තේය. නිසි සේ සංවිධානය වීමෙන් පසුව මුගලන් කුමරු සේනාව පිරිවරාගෙන සීගිරිය වෙත පැමිණියේය. මෙය සැලවීමෙන් පසු කාශ්‍යප රජතුමා එයට මුහුණ දීම සදහා චතුරංගිනී සේනාව පෙරටු කරගෙන මුගලන් ඉදිරියට ගියේය. සිය මළණුවන් වුවත් මුගලන් තමන්ගේ ප්‍රතිවාදියාය. කාශ්‍යප සිතුවේ එසේය. මුගලන් සිතුවේද ඔහු තමන්ගේ පියා මැරූ පිතෘඝාතකයා කියාය. ඔහුට නිසි දඬුවම් දිය යුතුය. තමන්ට උරුමවූ රජය ඔහු ගත්තේ බලහත්කාරයෙනි. ඒ නිසා ඔහුව පරාජයට පත් කළ යුතුය. මේ අභිමතාර්ථයෙන් දෙදෙනා මුහුණට මුහුණ හමුවන තෙක් ඉදිරියට ගියෝය. මඟුලැතු අරා ගිය කාශ්‍යප රජු, රණඝෝෂා නගමින් ඉදිරියට ගියේය. ඒ තම මළණුවන් පරාජයට පත් කර රජය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙනි.

7/30

කෙසේ නමුත් මඟුලැතු ඉදිරියේ තිබුණු මඩවලක් මගහැරීම සඳහා ආපසු හැරුණේය. රජු පසු පසින් ගිය සේනාව කල්පනා කළේ රජතුමා සටනින් පැරද පසු බැසීමේ සූදානමක් ඇති බවය. ඒ නිසා ඔවුහු රජු තනිකොට පළාගියහ. හුදෙකලාවූ රජු අසරණ විය. තමන් ඒකාන්තයෙන්ම සතුරන්ට අසුවන බවත්, ඔවුන්ගෙන් මැරුම් කන බවත් ඔහුට පසක් විය. සතුරන්ගේ අතට අසුවී අවමන් විඳ, මරණයට පත්වෙනවාට වඩා තමන්ගේ අතින්ම මිය යාම යෙහෙකැයි සිතූ කාශ්‍යප රජු ඇතු පිටදීම, සිය කඩුවෙන් ගෙල සිඳගෙන මරණයට පත්විය. ( මෙම පුවත එසේ සඳහන් වුවත්, යුද මාර්ගය පිළිබඳ පූර්ව පරීක්ෂාවක් කළේනම් ඒ මාර්ගයෙහි ඇති බාධක කලින් තේරුම් ගත හැකිව තිබුනි. එසේම රජු හැරුණේයැයි පළා යාමට තරම් සෙසු සේනානායකයන් අමනෝඥදැයි සිතිය යුතුව ඇත. එහෙත් රජු ගෙල සිඳ ගත්තේය යන්න ආත්මාභිමානය නිසා වී යැයි සිතීම සාධාරණය.) සීගිරිය මතුපිට හෙක්ටයාර දෙකකට ආසන්න බව මුලදීමත් කීමු. එම භූමි ප්‍රමාණය අගලක් නෑර නිර්මාණාත්මක ලෙස සංවර්ධනය කර ගෘහ නිර්මාණයන් කර ඇත්තේ නූතන නිමැවුම් කරුවන් පවා පුදුමයට පත් කරවමිනි. සීගිරි පර්වතය මතුපිට පමණක් නොව ඒ වටා සමස්ත සීගිරි පර්වතයත්, පහළින් ඇති භූමි ප්‍රදේශයත් නිර්මාණය කර ඇත්තේ

8/30

මනා සැලස්මකට අනුවය. රජුටත්, ඈපා මාපා වරුන්ටත්, සෙසු රාජ්‍ය නිළධාරීන්ටත්, සිය රාජකාරි කළහැකි වනසේ, මෙම සැලසුම් සකස්කර තිබේ. අපි ඒ පිළිබඳව පසුව කතා කරමු. කාශ්‍යප රජතුමාගේ අභාවයෙන් පසුව මුගලන් කුමරු රජ විය. එහෙත් ඔහු ‘පිතෘඝාතක’ සිය සොයුරා ඉදි කළ සීගිරියේ නැවතීම ප්‍රතික්ෂේප කළේය. අනුරාධ පුරයම තම රාජධානිය බවට පත් කර ගත්තේය. එහෙත් මහාවිහාරික හා ජේතවනික භික්ෂූන් වහන්සේලාට සීගිරියෙහි විහාරාරාම කරවා වාසය කිරීමට අවශ්‍ය පහසු කම් සලසා දුන්නේය. ආගමික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වූ සීගිරිය යළි වල් බිහිවූයේ කුමක් නිසාදැයි සිතා බැලීම වටී. සමහර විට අල්පේච්ඡ වනවාසී ජීවිතයකට හුරුවූ භික්ෂූන් වහන්සේලා සීගිරිය වැනි අධි සුඛෝපභෝගී මාළිගාවක් නොඉවසුවා වන්නටත් පුලුවන. කෙසේ නමුත් පොළොන්නරු යුගයෙන් පසුව දහඅටවන සියවස දක්වාම සීගිරිය වල් වැදී, කිසිවෙක්ගේ සාකච්ඡාවකට බඳුන් නොවී තිබුණි.

9/30

සීගිරිය යළි මතු වීම. කාලයේ වැලිතලාවෙන් වැසී තිබුණ සීගිරිය යළි හෙළි පෙහෙළි කර ගැනීමට පුරෝගාමී වූයේ ඉංග්‍රීසි ජාතික මේජර් ‍‍පෝබස් මහතාය. (1831) මේ සඳහා ඔහුට ප්‍රදේශවාසීන් කීප දෙනෙකුගේ සහායද ලැබුණු බව සඳහන් වේ. ඔහු විසින් නැවත සීගිරිය සොයා ගැනීමෙන් පසුව, ඒ. වයි. ඇඩම්ස්, ජේ බේලි, (1853) ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ්ස්, (1875) ටී. ඩබ්ලිව්. බ්ලෙක්ස්ලි, (1876). ඒ. මරේ (1899), එච්. සී පී. බෙල්, (1894), යන මහතුන්ද සීගිරිය ලොවට හඳන්වා දීමට වෙහෙස දැරූහ. “සීගිරියේ රජ්ජුරුවෝ” යන අපර නාමයෙන්ද හඳුන්වනු ලබන, අභාවප්‍රාප්ත, පුරාවිද්‍යා අධිකාරී, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, නූතන සීගිරිය පිළිබඳව කතා කරන විට කෙසේවත් අමතක කළ නොහැකිය. 1928 සිට අභාවප්‍රාප්ත වනතුරුම, එතුමා සීගිරිය සැලකුවේ තමන්ගේ ජීවිතය මෙනි. විවිධ දුෂ්කරතාවන් මධ්‍යයේ එතුමා දිවා රාත්‍රී දෙකේම සීගිරියෙහිම ගත කළේය. සීගිරියට සෙනරත් පරණවිතාන තරම් ආදරය කරන්නට ඇත්තේ කාශ්‍යප රජතුමා පමණෙකැයි කිවහොත් එය නිවැරදිය. සීගිරිය සම්බන්ධයෙන් එතුමා ලියූ ලිපිලේඛන, ඇමතූ උත්සව සභාවන්, දේශන හා සාකච්ඡා, අප්‍රමාණය. එහෙයින් එතුමා වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවාචාරය හිමිවිය යුතුය.

10/30

සීගිරිය අද ඇති තත්වයට ගෙන ඒම සඳහා කටයුතු කළ, ශිරාන් දැරණියගල, චාල්ස් ගොඩකුඹුරේ, රාජාද සිල්වා, සද්ධාමංගල කරුණාරත්න, සරත් වත්තල, සේනක බණ්ඩාරනායක, වැන්නන් හා පුරාවිද්‍යා දෙපාර්තමේනුතුවේ, ඉහළ නිළධාරියාගේ සිට පහළම කම්කරුවා දක්වා සියලු දෙනාත්, සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පටන් ගැනීමෙන් පසුව, පත්වූ සංස්කෘතික ඇමතිවරුන්, අධ්‍යක්ෂවරුන්, වැඩබිම් පරීක්ෂකවරුන්, මෙන්ම වැඩ බිම් සේවකයනුත් ජාතියේ උපහාරයෙන් පිදුම් ලැබිය යුත්තෝය. සීගිරියට නම ලැබුණු අයුරු. • කැටපත් පවුරට මුහුණපා ඇති බිත්තිය් මුලුමනින්ම සිංහයන්ගේ රූපවලින් අලංකාරමත්ව තිබීම. • සිංහයෙකුගේ මුවින් පර්වතය මස්තකයට ගොඩවීමට තිබීම. • සිංහයන් සහිත කුළුගෙවල් වලින් යුක්ත වී තිබීම. • සිව ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම. මෙම කරුණු පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු අයිතියකි. එහෙත් අදත් අපට විද්‍යමාන වන සත්‍යයක් තිබේ. එනම් කැටපත් පවුර පසු කරන විටම හමුවෙන රතුපස් සානුවෙන් ඉහළයට නගින ස්ථානයෙහි සිංහයෙකුගේ පාදයක සලකුණ තිබීමය. උත්කුටිකයෙන් සිටින විශාල සිංහයෙකුගේ විශාල ප්‍රතිමාවක් මෙහි තිබෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

11/30

සිගිරි අසිරිය. වසර 18 ක කාශ්‍යපයන්ගේ රාජ්‍ය සමයෙන් වසර හතක්ම සීගිරිය නිර්මාණයේ කටයුතු සදහා ගිය බව සඳහන්වේ. එය දින ගණනින් ගතහොත්, දින 2555 කි. සීගිරියේ අසිරිමත් බව විමසා බලන විට එවන් නිර්මාණයක් වසර විසිපහකින්වත් කළ හැකිදැයි සැක සිතේ. එහෙත් රජතුමාගේ කැපවීමේ හා සංවිධානාත්මක බවේ තරම මෙතරම් කෙටි කාලයකින් එය නිමා කිරීමෙන්ම පෙනීයයි. සීගිරිය රාජධානියකි. රාජධානියක් ආරක්ෂා කර ගැනීම සඳහා පවුරු පදනම් ඉදිකළ බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් මෙන්ම සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන්ද අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ බව සීගිරියේ තරම් පැහැදිළිව සජීවීව විදහා දැක්වෙන අන් තැනක් අපි ලංකාව තුළ නොදකිමු. සීගිරිය වටා ආරක්ෂක අගල් සහ බැමි කීපයක් තිබුණු බවට පැහැදිළි ශාක්ෂි හමුවී තිබේ. එසේම එහි උස් පහත් කළ හැකි දොරටු තිබුණු බවටද සාධක ඇත. ඇතුල්වීම සදහා දොරටු පහක් තිබී ඇති අතර ඉන් ප්‍රධානම දොරටුව තිබී ඇත්තේ බටහිර දෙසිනි. එය සෙසු දොරටුවලට වඩා සවි ශක්තියෙන් හා ආරක්ෂා කාරීව සකස් කොට තිබුණි.

12/30

ඔබ සීගිරියට ඇතුල්වන විට පළමුවෙන්ම හමු වන්නේ මඟුල් උයනයි. ජලක්‍රීඩා මණ්ඩප, පොකුණු, ජලමාර්ග වලින් යුතු ප්‍රධාන ඒකක පහකින් එය සමන්විතය. පොකුණුවල පතුළ කිරිගරුඩ පාසාණයෙන් (ඩොලමයිට් පාෂාණයෙන්) ඔප මට්ටම් කර තිබුණි. දැනට සීගිරියේ දකුණු පස කොටස කැණීම් කර සංරක්ෂණය කෙරෙමින් පවතී. එසේ කියන්නේ එහි කැණීම් කටයුතුවල අවසන් වීමක් තවම සිදුවී නැති හෙයිනි. ඒ තුළින් නව සොයා ගැනීම්, මෙන්ම තහවුරු කිරීම්ද ලැබෙමින් පවතී. සීගිරියේ උතුරු පාර්ශ්වයේ කැණීම් කිරීම ආරම්භ කර නැත. එය අනාගතයට භාරවී ඇත. මගුල් උයනින් පසුව හමුවන්නේ ජලමල් උයනයි. මෙහි කවාකාර ගල් පුවරු, සිදුරු සහිතව ඇති කර ඇති අතර ඒවා පොළව යටින් එන ජල මාර්ගවලට සවි කර තිබේ. නූතනයේ ජලනල එළන්නාක් මෙන් වූ මේවා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව, අදත් වර්‍ෂා කාලයෙහි සක්‍රීය වෙයි. එම සිදුරු තුළින් ජලය අහසට විදින්නේ වතුර මලක් මෙනි. අදට වඩා වර්‍ෂාපතනය බහුල වීම නිසාත්, සියලුම ජලමාර්ග සම්බන්ධ කර තිබීම නිසාත්, එදා චිත්තා කර්ෂණීයව ඒවා ක්‍රියාත්මක වන්නට ඇත. පීඩනය හා ගුරුත්වය යන සරල සංකල්පය තුළින් ඒවා සැකසෙන්නට ඇත. මෙයට ජලය සපයන්නට ඇත්තේ සීගිරිව වැවෙන් බවත් සීගිරිය වැවට ජලය ලැබෙන්නට ඇත්තේ සීගිරිය ඔය හරස් කිරීමෙන් බවත්

13/30

විශ්වාසයයි. (අද සීගිරිය වැව හා ඔයේ ප්‍රමාණය මත තීන්දු නොගන්න. ඒවා ඒ තරමටම හැකිළී තිබේ.) මඟුල් උයනේ තුන්වැනි කොටස වන්නේ ‘අටපට්ටම් පොකුණ’ හා ‘ශිලා උයන’ ප්‍රදේශයයි. අටපට්ටම් පොකුණ එක් පසෙකින් කුඩා පර්වතයකට සම්බන්ධවී ඇති අතර, එහි පියස්සක් තිබුණු බවට සලකුණු තිබේ. ශිලා උයන නිර්මාණය කර ඇත්තේ ඉවත් කිරීමට නොහැකි තරම්වූ විශාල ගල් භාවිතා කරමිනි. එම ගල් සීගිරි පර්වතයෙන්ම වසර දස දහස් ගණනකට පෙර, යම් යම් ස්වභාවික විපර්යාසයන්ට ලක්ව බිම පතිතවූ ඒවා විය හැකිය. සීගිරිය ඇතුළු නගරයේ බටහිර දෙස සිට විහිදෙන මාලකයන්හී කටාරම් සහිත ලෙන් 37 ක් ඇත. ඉන් සමහරක බ්‍රාහ්මී අක්ෂර සහිත, ශිලා ලේඛනයන් හමුවී තිබේ. සමහර ලෙන්හී සිතුවම් දක්නට හැකි අතර සමහර ලෙන් වටා කෙටි ආවරණ ගඩොල් බිත්ති සකසා ඇත. ආසන ගුහාව එවැන්නකි. එහි ගලින්ම කළ ආසනයක් වෙයි. නයි පෙණ ගුහාව. නයෙකුගේ පෙණයට සමාන ගල් පර්වතයක් ‘නයි පෙණ ගුහාව’ නමින් හැඳින්වේ. අඩි සියයක් තරම් උස්වූ මෙය ‘දැරණියගල ගුහාව’ අසල පිහිටා තිබේ. අඩි පනහක තරම් විශාල ගල් කුට්ටියක් ඒ අසලම බිම තිබේ. එය මෙහි නයි පෙණය සැකසීම සඳහා වඩුවන් විසින් කපා ඉවත් කරන ලද බවද පැවසේ. මෙය

14/30

ස්වභාවික නිර්මාණයක් වුවත්, කෘතිම නිර්‍මාණයක් වුවත්, එහි භික්ෂූන් වහන්සේලා විසූ බවනම් පැහැදිළිව කිව හැකිය. ඒ එහි දැක්වෙන ශිලා ලිපියකිනි. “පරුමක නගුලිය ලෙණෙ” ( පරුමක නගුලියගේ ලෙණයි.) එය ක්‍රි. පූර්ව දෙවැනි සියවසට අයත් ලිපියකි. මෙහි වියනෙහි සිතුවම් ඇඳ තිබේ. එතරම් උසක සිතුවම් අඳින ලද්දේ කෙසේදැයි සිතීම පවා උගහටය. නයි පෙණ ගුහාව පසු කර යනවිට, පැරණි කුඩා දාගැබක නටබුන් දැකිය හැකිය. ඒ ආසන්නයේම ඇති ‘වතුර බක්කි ගල’ හා රාජ සභාගල දුටුවන්ගේ ඇස් විස්මයෙන් ඔප් නංවාලයි. ‘රාජ සභාගල’ විශාල ගලකින් ඉවත්වූ කොටසකි. එය ස්වභාවිකවම කැඩී ඉවත්වූවේද, නැතිනම් මිනිසුන් විසින් කඩා ඉවත් කරන ලද්දේදැයි කීම අසීරුය. මීටර් 15× 10 තරම්වූ එය කපා බොරදම් දමා ඇත්තේ එයට නැගීමට පඩි කීපයක්ද සහිතවමය. ‘රාජසභාගල’ යන හැඳින්වීමෙන්ම පෙනෙන්නේ එය රාජකීයයන් යම් යම් සාකච්ඡා පැවැත්වීමට භාවිතා කර ඇති බවයි. ප්‍රධානියාට අසුන් ගැනීමට වෙනමත්, සහභාගිවන සෙසු අයට අසුන් ගැනීමට වෙනමත්, ගලෙහිම ආසන සකසා ඇත. ආසන්නයේ ඇති වතුර බක්කි ගලේ කපා ඇති සිදුරු තුළින් මෙහි ඉහළින් ආවරණයක් තිබු බව පෙනී යයි. වර්තමානයේ

15/30

බොහෝ දෙනා මෙම ස්ථානය තමන්ගේ ගමන් විඩාව නිවා ගැනීමටද භාවිතා කරති. බිතු සිතුවම්. ආරුක්කු ගලින් ඇතුල්වී වැඩි ආනතියකින් යුතු පඩි පෙළකින් ඉහළට නැගි විට හමු වන්නේ බිත්තියකින් ආවරණය වූ කොරිඩෝවක් සහිත ප්‍රදේශයකි. සීගිරියේ බඳ ප්‍රදේශයේ ඇති එය සීගිරියේ හදවත තරමටම වැදගත්ය. වටිනාකමෙන් යුතුය. ඒ නිසාම එය ආරක්ෂාකාරීව තබාගෙන තිබේ. එහි ඇතුල්වීමට ප්‍රවේශ පත්‍රයක් තිබිය යුතුය. මුරකාවල් සහිතය. එක් වරකට ඇතුල්විය හැක්කේ එක් අයෙකුටය. සීගිරි කැටපත් පවුර ආරම්භ වන්නේ එතැනිනි. ඉන් ඇතුල් වි සුළු දුරක් ඉදිරියට යන විට ඉහළට නැගිය හැකි ‘සර්පිලාකාර’ පඩි පෙළක් හමුවේ. අඩි හතලිහක් තරම් උසින් යුත් එහි කෙළවර හමු වන්නේ ආරක්ෂිත දැල්වලින් ආවරණය කරන ලද, අඩි පනහක් තරම් දිග පටු ගුහාවකි. එහි ගුහා බිත්තියෙහි අඳිනා ලද අලංකාර සිතුවම් රැසක් හමුවේ. “සීගිරි බිතු සිතුවම්” ලෙස සමස්ත ලෝකයේම සම්මානනයට පත්ව ඇත්තේ එම සිතුවම්ය. එකල මෙම ලෙණ සම්පූර්ණයෙන්ම සිතුවම් වලින් පිරී තිබුණත් අද එහි ශේෂව ඇත්තේ සිතුවම් 21 ක් පමණි.

16/30

මේ සිතුවම් සියල්ලම කාන්තා රූප වීමද විශේෂයකි. ඒ හැම දෙනාගේම ඇත්තේ උඩු කය පමණි. ඉන් සමහර කාන්තාවන්ගේ සිරුරු රන්වන් පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, අනෙක් කාන්තාවන්ගේ රූ නිල්වන් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. නිල්වන් කාන්තාව අතින් මල් බදුනක් දරාගෙන සිටින අතර අනෙක් තැනැත්තිය ඉන් මල් ගෙන විසුරුවන සෙයක් පෙනේ. සමහර සිතුවම් යුගල වශයෙන් ඇඳ ඇති අතර සමහර ඒවා ඒකලව ඇඳ ඇත. මේ සිතුවම් සම්බන්දයෙන් විද්වතුන් විවිධ අදහස් දක්වති. • කාශ්‍යප රජතුමාගේ දියණිවරුන් දෙදෙනා වන බෝ උපුල්වන් දෙදෙනා මල් පූජාවට පිදුරංගල විහාරයට යයි. ( එච්. සී. පී. බෙල්) • රාජකුමාරිකාවන් හා සේවිකාවන් නිරූපණය කරයි. ( ආනන්ද කුමාරස්වාමි.) • විජ්ජුල්ලතා හා මේඝ ලතාවන් නිරූපණය කරයි. රන්වන් පැහැයෙන් ඇත්තේ විජ්ජු ලතාවන්. නිල්වන් පැහැයෙන් ඇති කාන්තා රූපවලින් මේඝලතාවන් ( සෙනරත් පරණ විතාන.) • කාශ්‍යප රජතුමාගේ වියෝගයෙන් සන්තාපයට පත් බිසෝවරුය. ( නන්දදේව විජේසේකර) • දිය කෙළියට යන බිසෝවරුය. ( මාර්ටින් වික්‍රමසිංහ.) • අවලෝකිතේශ්වර බෝසතුන්ගේ වල්ලභ කාන්තාවෝය. ( රාජාද සිල්වා.) මොවුන්ගේ ඇඳුම සැහැල්ලුය. උඩුකය නිරුවත්ය. පුන් පියොවුරුය. නාභිය පෙනෙන සේ නෙරිය සහිත ඇඳුමක් ඇඳ තිබේ. හිස කෙස් ඉහළට කර බැඳ ඇත. ශීර්ෂාභරණ පැළඳ සිටී. ගෙළෙහි

17/30

පළඳනාවක් පැළඳ ඇති අතර වෘත්තාකාර කර්‍ණාභරණද පැළඳ සිටී. දෑතද පළදනාවන්ගෙන් අලංකාර වී තිබේ. දෑඟිළි සිහින්ය. දිගැටිය. දෙබැම සිහින්ය. දිගැටිය. වත පිරිපුන්ය. මන්දහාසයෙන් යුතුය. උඩුකය ආවරණය කැර ඇත්තේ තනපටකින් පමණි. මේවා අජන්තා සිතුවම්වලට නෑකම් කියන බව සමහරු පවසන අතර, එයට විරුද්ධ මත දරන්නෝද වෙති. අජන්තා චිත්‍ර තරම් ආධ්‍යාත්මිකතාවයෙන් හා ලාලිත්‍යයෙන් අඩු වුවත්, ඊට වඩා ප්‍රාණවත් භාවයෙන් යුක්තය. අද සිතුවම් 21 ක් තිබුණත්, එදා ඊට වඩා විශාල චිත්‍ර සංඛ්‍යාවක් තිබුණු බවට කැටපත් පවුරේ ගීතවලින්ම හෙළිදරව් වේ. “ පන්සිය අග්නන් සග යන්නන් කළෙ පසු” 49 ගීය.( පන්සියයක් කාන්තාවෝ දෙව්ලෝ යන්නවුන්ගේ ගමන පමා කළෝය.) “පන්සිය අග්නන් රිසි සෙයි බලය් ගිරිතෙලෙ නොග(නියි) සග් මෙනෙ මය් එකක් මෙ(නෙහි) කොට් මනාකොට්.” ( ගිරිතෙලේ වූ පන්සියයක් අඟනුන් රිසිසේ බලා එකියක පිළිබඳ මනාසේ මෙනෙහි කළ හෙයින් දෙව් ලොව පවා මා සිත් නොගනී. ) 249- 2 ගීය. මෙහි සඳහන් ආකාරයට පන්සියයක් පමණ කාන්තා රූප, මෙහි චිත්‍රණය කර තිබිණ. සමහර විට ඊටත් වඩා තිබෙන්නට ඇත.

18/30

ඉහත කී ගීය ලියා ඇත්තේ 9 වැනි සියවසේ අග භාගයේදී බවයි, සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ. එසේනම් ඒ වනවිටත් පන්සීයක් සිතුවම් මෙහි තිබුණු බවට විශ්වාස කළ හැකිය. වර්ෂාව, දැඩි සුළග, වවුලන් ලැගීම, බඹර වද බැදීම, බමරවද කැඩීමට පැමිණි දඩයක්කරුවන්ගෙන් සිදුවූ හානි, නිසා මේවා විනාශවන්නට ඇතැයි සිතිය හැකිය. ආගමික සිද්ධස්ථානයක් නොවීම, ගණ වාන්තරයෙන් වැසී තිබීම, ගැමියන්ගේ නොදැණුවත් වීම්, නිසා එසේ ස්වභාවික විනාශයකට ලක් වීම සමාවට කාරණයක් වුවත්, මෑත කාලයේදී කිසියම් නරුමයෙකු විසින්, තීන්ත ප්‍රහාරයක් එල්ල කර සිතුවම් විනාශ කිරීම කිසිසේත් සමාව දිය හැකි වරදක් නොවන්නේය. ඉන් සිතුවම් කීපයක් විනාශයට පත් වුවත් දේශීය හා විදේශීය, ශිල්පීන්ගේ සහාය ඇතුව ඒවා යළි ප්‍රකෘතිමත් කිරීම ජාතියේ භාග්‍යයෙකි. නැවත එවන් විනාශයකට ලක් නොවීමට වගබලා ගැනීම වගකිව යුත්තන්ගේ පමණක් නොව, සකල ලෝක වාසීන්ගේම යුතුකම වෙයි. කැටපත් පවුර. සීගිරි සිතුවම් නැරඹීමෙන් අමන්දානන්දයට පත් ඔබ, ආපසු හිනිපෙළ දිගේ පහළට පැමිණ, කොරිඩෝව දිගේ ඉදිරියට ගමන් කරන විට හමු වන්නේ කැටපත් පවුරයි. අඩි නවයක් උසැති එය

19

ඔබේ ප්‍රතිබිම්බය පෙනෙන තරමට ඔප දමා ඇත. ‘කැඩපත් පවුර’ හෙවත් ‘කැටපත් පවුර’ ලෙස එය නම් කරන්නේ ඒ නිසාය. ඔබ එය සුපරික්ෂාවෙන් බලන්න. කුඩා ඉරි කැබැළි වැනි සටහන් එහි දැකිය හැකිය. අපේ මුතුන් මිත්තන්ගේ සිතුවිළි කැටිවී ඇත්තේ ඒ ඉරි කැබැළි තුළය. ඔවුන්ගේ සාක්ෂරතාවය, විවේචන ශක්තිය, විචාරක බුද්ධිය, ස්ථානෝචිත ප්‍රඥාව, සංවරකම, පිළිඹිඹු කරන්නේ එතැනය. අසමාන වූ වෘත්තිකයන්ගේ, අසමාන සමාජ මට්ටම් ඇත්තවුන්ගේ, සමාන මානසික සිතුවිළි, මෝචනය කරන්නේ එතැනය. අපි ඒවා “සීගිරි කුරුටු ගී” නමින් හඳුන්වමු. ‘සීගිරි කුරුටු ගී’ නැවත අප අතට පත් කර ගැනීමට අමිල මෙහෙවරක් කරන ලද්දේ මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතා විසිනි. දසක ගණණාවක් තිස්සේ කරන ලද උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඒවා ග්‍රන්ථගත කිරීමට එතුමා සමත්විය. එපමණෙකින් නොනැවතුණු එතුමෝ, එය කියවා තේරුම් ගැනීමේ පහසුව සදහා ‘සීගිරි ගී විවරණයක්’ද කළෝය. නන්දසේන මුදියන්සේ මහතා විසින් සිංහල පාඨකයන්ගේ පහසුව සදහා ‘සීගිරි ගී’ නමින් එය මුද්‍රණය කරවන ලදී. ඊට අමතරව, තලල්ලේ ධම්මානන්ද හිමියෝද, වි.ජ. මු ලොකු බණ්ඩාර, කේ. ජයතිලක, ධර්ම ශ්‍රී කුරුප්පු, වැනි පඬිවරුද, ‘සීගිරි ගී’ සිංහල පාඨකයන් අතරට ගෙන යාමට වෙර දැරූහ.

20/30

මහාචාර්‍ය්‍ය සෙනරත් පරණ විතාන මහතා විසින් කියවන ලදුව, එහෙත් එතුමා විසින් අසම්පූර්ණ නිසා පසෙක තබන ලද, සියලු ගී ඛණ්ඩයන් හා පසුව සොයා ගත් කරුණුද ඇතුළත් කර බෙන් ප්‍රියන්ත මහතා විසින්ද, ග්‍රන්ථයක් සම්පාදනය කර ඇත. (විද්‍යාර්ථීන් මේ සියල්ල පරිශීලනය කිරීම මැනවි.) සමාජයේ විවිධ පුද්ගලයන් විසින් ලියන ලද ගී, සීගිරි කුරුටු ගී අතර වෙයි. පැවිද්දන්, රජකුමාරයන්, ගොවියන්, සංචාරකයන්, වන්දනා කරුවන්, ප්‍රේමවන්තයන්, ප්‍රේමවන්තියන්, භික්ෂුණීන්, ජීවිතය ගැන කළකිරුණවුන්, ආදී සිය ගණනක් නිර්මාණ කරුවෝ ඒ අතර වූහ. සීගිරි කවි බොහෝමයක වස්තු විෂය වූයේ සීගිරියමය. එහි ඇඳ ඇති කාන්තා රූප, අවට සෞන්දර්යය, තේමාව බවට පත් විය. නූතන මුහුණු පොත භාවිතා කරන්නාක් මෙන් තම හැඟීම් ප්‍රකාශ කිරීමට එහි පැමිණි රසවතුන්ට කැටපත් පවුර තෝතැන්නක් විය. ( එහෙත් එදා එසේ වුවත්, මෙදා සීගිරිය තරණය කරන්නන්, මෙහි ඉරි කෑල්ලක්වත් ඇඳීමට උත්සාහ නොකළ යුතුය. එසේ කරන්නවුන්ට නැවත නිවෙස් බලා යාමට සිදුනොවන අතර ඔවුනට ‘මහ උලු ගෙදර’ තැපීමටද සිදුවීම නියතය.) සීගිරි කැටපත් පවුරේ ගී කීපයක් මෙහිදී ඉදිරිපත් නොකළහොත් අඩුවක් යැයි සිතමි. “කොමුල් අමඩ් ලෙඩ් ලිනසී

21/30

“කොමුල් අමඩ් ලෙඩ් ලිනසී එබොන්ද මියුර් යහ බැසී එකපල් දල වන් දිගැසී මන ජල්වයි සිත් නොමුසී” ( 103 ගීය) ( ඇයගේ සිනාව කොමඩු ගෙඩියේ බීජ පන්තිය මෙනි. ඇයගේ ප්‍රිය වචන එම කොමඩු ගෙඩියේ මදය මෙනි. ඇගේ දිගු ඇස කොමඩු ගෙඩියේ පොත්ත මෙනි. ඕ තොමෝ මගේ සිත දල්වයි. ඇය කෙරෙන් මාසිත නොමුදවයි.) “වන්දිමි හිමි වලා තො ගොසින් ඇය නිවෙස්නට පිරිබුන් පගා මලයුත දිවොට තො හදහව කිය කියයි.” (.134 ගීය) (වලාකුළු නමැති හිමියෙනි, තොපට වඳිනෙමි. ඇයගේ නිවෙසට ගොස් පිරිහුණු දිරිය ඇති, මැලවී ගිය දිව හා තොල් ඇති, ඇයට තොප කෙරෙහි විශ්වාසය ඇති කරවන්න.) “නිල් කට්රොල් මලෙක ඇවුණූ වැට්කොල් මල් සෙයි. සැන්දැග සිහිවන්නෙය් මහනෙල් වනහයි රන්වන හුන්.” (334 ගීය)

22/30

(මහනෙල් වන් තැනැත්තිය සමඟ හුන් රන්වන් තැනැත්තිය, නිල් කටරොළු මලෙක ඇවුණූ වැටකොළු මලක් මෙන් සන්ධ්‍යාවේදී සිහිපත් වෙයි.) විචාරකයන්ගේ අදහස්වලට අනුව සීගිරි කුරුටු ගී, ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ සිට දහවෙනි සිය වස අග දක්වා විවිධ ප්‍රදේශවලින් පැමිණි අය අතින් ලියවී ඇත. කැටපත් පවුර නැරඹීමෙන් පසුව ඔබට ඉහළට නැගීමට පඩි පෙළක් හමුවේ. පඩි පෙළෙන් වම් අත පැත්තෙහි බෑවුම බලන්න. එහි ‘උගුල් ගලක්’ දැකිය හැකිය. ‘කුරුමාණම් ගල’ ලෙසද සමහරු හදුන්වති. ගල් මුක්කු ගසා එය පහළට වැටීම වලකා ඇත. එය බැලීමට ඉක්මන් නොවන්න. සීගිරිය මස්තකයට නැඟ, ආපසු පැමිණෙන විට ඔබට ඒ ආසන්නයටම ගොස් නැරඹිය හැකි බැවිනි. සිංහ පාදය හෙවත් රතු පස් සානුව. කැටපත් පවුර පසු කර පඩි පේලියෙන් ඉහළට නැගි විට ඔබට හමුවන්නේ තැනිතලා භූමි භාගයෙකි. සංචාරකයන්ගේ වෙහෙස නිවාලීමට ස්වභාව ධර්මයා විසින් ලබා දී ඇති දායාදයකි එය. රත් මනෝසිලාව’ හෙවත් ‘රතු පස් සානුව’ ලෙස හඳුන්වන්නේ එයයි. සීගිරි පර්වතයට නැගීම ආරම්භවන දොරටුව ඇත්තේ මෙහිය. විශාල සිංහයෙකුගේ මුවින් ඇතුල්විය හැකිවන සේ එය ඉදිවී තිබුණු බව සමහරු පවසති. එහෙත් අද ශේෂවී ඇත්තේ සිංහයාගේ පාදයේ

23/30

යට කොටස පමණි. විශාල සිංහ මුඛයකින් ඇතුල්විය යුතුව තිබුණු හෙයින් ‘සීගිරිය’ ලෙස හැඳින්වූ බව සමහරු පවසති. (මෙහි ඇත්තේ සිංහ පාදයක් නොව ගුරුලෙකුගේ පාදයක් බව පවසන සමහර අයගේ මතයන් ඔබ විවේකීව සිටින විට විමසා බලන්න) මෙම සිංහ නිර්මාණය 9 වන සිය වස වන විටත් තිබුණු බව කැටපත් පවුරේ තිබෙන සටහන් තුළින්ද පෙනේ. “සිහ හිමියන් බැලීමි” ( සිංහ ස්වාමියා බැලුවෙමි.45 ගීය) “සී රජු යසස පිරි අසිරි බැලුමෝ.” (සිංහ රාජයාගේ ආශ්චර්යය බැලුවෙමු.. 205 ගීය) “බලමනා තාක් ඇවිද් බැලුමෝ සී සිහිගිරි.” (බැලුව මනා වූ සීගිරියේ සිංහ රාජයා බැලුවෙමු. 476 ගීය.) මෙතැන් සිට ඉහළට ඇත්තේ දුර්ගම ස්ථානයකි. එක් අතෙකින් අසම්පූර්ණ පිය ගැට පෙළය. පටු මාර්ගයය. අනෙක් අතින් දැඩි සුළගය. ඊටත් වඩා භයානක වන්නේ තැනින් තැන බැඳ ඇති විශාල බමර වදය. ඉවසීම, සංවරකම, එඩිතරකම, පරෙස්සම, ඇතියෙකුට කරදරයක් නොවී ඉහළට නැගිය හැකිය. අනෙක් අතට හැම දෙනාටම ඉවසීම පුරුදු පුහුණු කරන ස්ථානයක් ලෙස එය හැඳින්වුවත් වරදක් නොමැති තරම්ය. දුබල ගත සිත ඇත්තවුන් ඉහළට නොනැග රතුපස් සානුවෙහිම රැදී සිටීම වඩා උචිතය.

24/30

මෙම ස්ථානයෙහි රජතුමාගේ පහසුව සදහා සීගිරි මස්තකයට නැගීමට ‘කර්කටක යන්ත්‍රය’ නැමැති උපකරණයක් පැවැති බව සමහරු පවසති. ගලෙහි පඩි පේලි ලෙස කපා ඇත්තේ ඒ සලකුනු යැයි ඔවුහු කියති. සීගිරි පර්වත මස්තකය. ඔබ එම අති දුෂ්කර කඩයිම පසු කිරීමෙන් පසුව දැන් සිටින්නේ සීගිරි මස්තකයෙහිය. මෙතෙක් විඳි සියලුම වෙහෙස දැන් ඔබට නොදැනේ. ඔබට දැනෙන්නේ අහසේ පියාසර කරන පක්ෂියෙකුගේ මෙන් සැහැල්ලුවකි. හිතත් ගතත් එකලෙස සැහැල්ලුය. එසේ නැතැයි ඔබ පැවසුව හොත් කියන්නේ මුසාවකි. එය එතරම්ම චමත්කාර ජනකය. ගුවනින් යන කෙනෙකුට, වායු බැලුනයකින් යන අයෙකුට, පවා එවන් වින්දනයක් ලබාගත නොහේ. මන්ද ඒවා ගමන් කරන හෙයිනි. පර්වත මුදුන දකුණට බෑවුම් වූවකි. එම බෑවුම නැති කර ගැනීම සඳහා මාලක වශයෙන් මතුපිට සකස් කරගෙන තිබේ. ඒ සඳහා උප යෝගී කරගෙන ඇත්තේ ගඩොල් බැමිය. පර්වත මස්තකයෙහි මහා ප්‍රාසාදයක් තිබී තිබේ. නැගෙන හිර දිසාවට මුහුණ ලා එය සකසා ඇත්තේ පහළ ජනාවාසයන් පෙනෙන ආකාරයටය. නැගෙනහිර මාළිගා සංකීර්ණය හා දකුණු මාළිගා සංකීර්ණය ලෙස අද එය නම් කර තිබේ.

25/30

සීගිරි ගල මතු පිටට වැටෙන ජලය එක් රැස් කර ගැනීම සදහා පොකුණු තුනක් සකස් කර ඇත. ඉන් ප්‍රධාන තම පොකුණ මීටර් 27× 22 කි. එය නාන තටාකයක් ලෙස පිළි ගැනේ. දිය පොකුණට ඉහළින් වාඩිවීම සදහා ගලෙහ්ම කණින ලද ආසනයකි. එය වටා ඉතා අලංකාර ලෙස බොරදම් කපා ඔප මට්ටම් කර ඇත. මෙම පොකුණේ ජලය කිසිදිනෙක නොසිදේ. මේ සම්බන්ධයෙන් ජනප්‍රවාදයක එන්නේ සීගිරි පර්වතයේ යට සිට එයට ජලය ගෙන එන ලද බවයි. එයට නල පද්ධතියක් තිබුණු බවද ඔවුහු කියති. එහෙත් එවැන්නක් පිළිගැනීමට සාධක නැත. පර්වතයේ උතුරු කොණෙහි හා ගිනිකොණ දෙසට වන්නට මීට වඩා කුඩා පොකුණු දෙකක් වෙයි. මේවා පානීය ජලය ලබා ගැනීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මතුපිට මාළිගාවේ කාමර බොහෝමයක් දිගැටි හැඩයෙන් නිමවා තිබෙන්නට ඇති බව ශේෂවී ඇති පාදම් තුළින් පෙනේ. බිමට ඩොලමයිට් ගල් අල්ලා අලංකාර කර තිබේ. මාලිගාවේ බිත්ති ගඩොල්වලින් නිර්මාණය වී ඇති අතර, පියසි දැව භාවිතා කර උලු සෙවිළි කර තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. මෙහි කරන ලද කැණීම්වලදී යකඩ ඇණ හමුවීම එයට හේතුවයි.

26/30

සීගිරිය මතුපිට ඇති ‘ගල් ආසනය’ වටා ආවරණ පියස්සක් තිබුණු බවට සාධක හමුවේ. රජතුමා සමහර විට මෙම ස්ථානයේ සිට රජය සම්බන්ධ වැදගත් තීන්දු තීරණ ගන්නට ඇත. ඒ ඉදිරිපිට ඇති දිගු ශාලාවන් නෘත්‍ය ශාලා හෝ රජුගේත් රාජකීයයන්ගේත් භාවිතය සඳහාම වෙන්වී තිබෙන්නට ඇත. රජතුමා මෙහි සිට ඒවා නරඹන්නට ඇත. පර්‍වතය මතු පිටින් බටහිරට ගමන් කරන විට පර්‍වතයේ බඳ ප්‍රදේශයට බැසීමට කුඩා යකඩ හිනි පෙළක් තිබේ. ඒ තුළින් ගියහොත් ගලෙහිම කණින ලද කුටි කීපයක් දැකිය හැකිය මේවා ආරක්ෂක භටයන් භාවිතා කළ මුර කුටි වන්නට ඇත. එහි සිට බලන විට ගව් ගණනක් ඈත නිරීක්ෂණය කළ හැකිවේ. (මෙවන් ස්ථානයන්ට බැසීමට උත්සාහ දැරීම ඉතාමත්ම අවදානම් සහිතය. ඒ නිසාම වර්තමානයේ ඒ මාර්ගය ආවරණ කර තිබේ.) සීගිරිය මතු පිට සිට හාත්පස නිරීක්ෂණය කරන ඔබට, පුරාවිද්‍යාත්මක වශයෙන් හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන රාශියක්ම දැක බලා ගැනීමට හැකියාව ලැබේ. පිදුරංගල විහාරය ආසන්නයෙන්ම දැක ගත හැකි අතර, රිටිගල, මානෑව, එක් පසෙකිනුත්, එඩේරගල, දඹුල්ල, ඇරෑවුල, කළුදිය පොකුණ, වෑවල හා නකල්ස් කඳු, තව පසෙකිනුත්, මැණික් දෙණ, මානේරුව කඳු වැටි තවත් පසෙකිනුත් දැකිය හැකිය.

27/30

සීගිරිය අසිරිමත් නිර්‍මාණයක් බව මුලදීත් සඳහන් කළෙමු. නූතන වාස්තු විද්‍යාඥයෝ සීගිරියේ බටහිර දොරටුවේ සිට නැගෙනහිර දොරටුව දක්වා සරල රේඛාවක් ඇන්දාහ. සීගිරිය පර්වතය සමානව දෙකට බෙදිනි. ජල උයන, නාන තටාක, ශිලා උද්‍යානය, ආදි සියල්ලම සමානව බෙදිනි. මේ සියල්ල අහම්බෙන් සිදුවූවක් නොවේ. එදා තිබුණු ජ්‍යාමිතියයන්ට අනුව කළ බෙදීම්ය. අද අපි නවීන තාක්ෂණික මෙවලම් යොදා භාවිතා කරන මිණිත ක්‍රමයන් හා එදා භාවිතා කළ මිනිත ක්‍රමයන්හි සාම්‍යත්වය ඉන් මනාව පෙනී යයි. සීගිරි පර්වතය දෙස මදක් පහළට විත් නැවත හැරී බලන්න. එහි වටේටම කටාරම් කොටා තිබේ. ඉන් කියවෙන්නේ එහි ආරක්ෂා කළ යුතු යමක් තිබුනු බවයි. අනෙක ජල බිඳක් වුවද, යම් කිසි පාලනයකට නතු කර තිබුණු බවයි. සීගිරි පද්‍යයන්හි සඳහන්ව තිබූ පන්සියයක් බිතු සිතුවම් ද, වෙනත් මාළිගා උපකරණයන්ද ඒ අතර තිබුණා විය හැකිය. සීගිරි පර්වතය වටා ඇති සෑම ගල් පර්වතයකම ගල් පඩි මෙන් කොටා ඇති බව ඔබට දැකිය හැකිය. ඒ සියල්ලම ගොඩ නැගිලිවල පාදම්ය. එසේනම් කෙතරම් ගොඩනැගිළි සමූහයක් මෙහි තිබෙන්නට ඇද්ද.? කෙතරම් ශ්‍රී විභූතියක් තිබෙන්නට ඇද්ද? ඒ අපේ උරුමයයි. ඒවා සුරක්ෂිත කර ගැනීමට අපට අයිතියක් තිබේ. සීගිරිය අවට ඇති, තල්කොටේ, දිගම්පතහ, ඉලුක්වැව, රාම කැලේ, පිදුරංගල, වෑවල වැව, කිඹිස්ස, එඩේරගල, පලුටාව, ආදී ගම්මාන කාශ්‍යප රජතුමාගේ රාජසභාවේ ඉහළ නිළධාරීන් විසු ස්ථාන වන්නට ඇත.

28/30

මෑත කාලයේදී ඉතා ඉක්මනින් ජනතාව අතර ප්‍රචලිත වන මතවාදයක් වන්නේ රාවණා රජු සීගිරියට සම්බන්ධ කිරීමයි. එහිදි ඔවුන් දක්වන අදහස්වලට අනුව රාවණා රජුගේ මාළිගාව පිහිටා ඇත්තේ සීගිරි ගල අභ්‍යන්තරයේය. අප සිංහ පාදය යනුවෙන් හදුන්වන ස්ථානයේ සිට එහි ප්‍රවිෂ්ඨවීමට දොරටුවක් තිබුනු බවත්, එය දැනට වසා දමා ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති. මෙහි ඇත්තේ සිංහ පාදයක් නොව ගුරුලෙකුගේ පා සටහනක් බවත්, එය රාවණා රජතුමාගේ ගුරුළාගේ පා සලකුණ බවත් පවසති. මේ කරුණු එක වර බැහැර කිරීම හෝ නොකිරීම අපට කළ නොහැකිය. පුරාවිද්‍යාත්මක වශයෙන් ඒ කරුණු ඔප්පු කර ගත නොහැකි නිසා ප්‍රතික්ෂේප කළ යුතුයැයි අපට පැවසීමටද නොහැකිය. සමහර ජනප්‍රවාදයන්හී එන තොරතුරු පසු කාලයේදි ඓතිහාසික වශයෙන් කරන ලද කැනීම් වලින් ඔප්පු වී ඇති හෙයිනි. අනෙක් අතට වසර මිළියන ගණනක් වන ඉතිහාසයෙන් අප දන්නේ ඉතාමත් ස්වල්පයකි. ඒ නිසා අපි අවසාන නිගමනයකට ඒමට ඉන්මන් නොවිය යුතුය. මේ කරුණු දෙස බලන විට සීගිරිය යනු අසිරිමත් කලා නිධානයනි අපේ මුතුන්මිත්තන් මෙතෙක් විවිධ දුෂ්කරතා මධ්‍යයෙහිත් එය ආරක්ෂා කරගෙන ආවාක් මෙන්, අප විසින්ද එය ඉදිරි පරම්පරාව වෙත සුරක්ෂිත කර භාරදීම විය යුතුයැයි හඟිමි.

29/30

පරිශීලණය කළ පොත පත. * අනුරාධපුර යුගය- අමරදාස ලියනගමගේ. රණවීර ගුණවර්ධන * චූලවංශය- ගයිගර් සංස්කරණය. *සීගිරිය පරිසරය හා පුරාවිද්‍යාව- ආචාර්ය උපාලි වීරක්කොඩි * ඓතිහාසික මාතලේ. - මාතලේ දිසා සංස්කෘතික මණ්ඩලය. *සීගිරි ගී 1- 2. - නන්දසේන මුදියන්සේ. *සීගිරි පද්‍ය. තලල්ලේ ධම්මානන්ද හිමි. *සීගිරි ගී වියරණය.- මහාචාර්ය සෙනරත් පරණවිතාන. *පබ්බත විහාර- ජේ.ඒ. ඩී. සේනාරත්න ජයවීර. *අපේ සංස්කෘතික උරුමය.- මධ්‍යම සංස්කෘතික අරමුදල. *පූජාවලිය.- කිරිඇල්ලේ ඥාණවිමල හිමි සංස්කරණය. *ශ්‍රීලංකාවේ ඉතිහාසය.1 කොටස.- අධ්‍යාපන දෙපාර්තමේන්තුව. * සීගිරිය.- ආර්.එස්. ද සිල්වා. *සිංහල විශ්වකෝෂය.- 1 කොටස. * අසිරිමත් සීගිරිය. - සෙනරත් දිසානායක. * Anciant Inscription of ceylon. –s. paranawitana

30/30

- ආනන්ද මාරසිංහ -