ගඟට කැපූ ඉනි. කැලෑබද ගමෙකි එහි පිහිටි පොඩි නිවසෙකි ඒ ගෙදර යුවලෙකි උනට සිටියේ එකම දරුවෙකි. ඕනෑම වැඩකට මරණෙට මගුල් ගෙදරට කයියට අත්තමට මුලින් යන්නේ උහුය හැමවිට. ඒත් මේ දෙන්නගෙ පුතානම් නැහැ ඒ වගෙ ඔහු කුම්භ කරණගෙ පරපුරෙන් මෙහි ආ ‍කෙනෙක් වගෙ උදේ බත් කනවා ඊට පසු නිදියනවා දවල්ටත් කනවා ඊට පස්සෙත් වකුටු වෙනවා. හැමදාම මෙලෙසට කාලය ගෙවී යනවිට අපේ ගොවි රාළට දුකක් දැනුනා පුතුගෙ ගැන හෙට.

1/6

කැඳවා පුතු ළඟට නොඅඟවා සිය නොසතුට තම ගොවිතැන් වලට කීය හැකි ලෙස උදව් කෙරුමට. “අනේ පොඩි පුතෙ මගෙ ඉඳල කොහොමද මේ වගෙ බලාගෙන මම වගෙ දෑතෙ වැඩ ටික කළොත් නොව අගෙ.” තාත්තගෙ කීමට තමන් සිත අවනත කොට ගමරාළ යනකොට පුතත් සිතුවා යන්න හේනට. කුරුළු කිචි බිචියයි සමනල රෑන් නළියයි බමර ගුමු ගුමුවයි අපේ පැටියගෙ සතුට වඩවයි. හිඟුරුමල් පිපිලා මුලු පරිසරය වැහිලා මොර හිඹුටු පිරිලා කටට පැටියගෙ කෙළත් උනලා.

2/6

එදා හේනට ගොස් අපේ පුත්තර විය තොස් තාත්තගෙ උපදෙස් පරිදි වැඩටික කළා එකළස්. මෙසේ දින ගෙවුනා කම්මැලි ගතිය ඇරුණා ඇතැම් විට නොදැනා තාත්තගෙ වැඩ අවුල් කෙරුනා. රෑක එක දවසක් ඇවිදින් ඌරු කයියක් හේනෙ එක පැත්තක් හාරලා කර තිබුනි වනසක්. කඩ අඩුව හැදුමට ඉනි ටිකක් එක්කහු කොට අත් උදව් ගැනුමට පුතත් එක්කන් ගියා හේනට යන අතර හේනට දාහක් ගැටලු පුතයට විමසයි විටින් විට උත්තරත් නැත ඇතැම් ඒවට.

3/6

“ගස් යද්දි ඉහළට ඇයි වැල් යන්නෙ හරහට?” “ සීතලයි හවසට තාත්තේ ඇයි වෙන්නෙ එහෙමට?” “බල්ලන් බුරන්නේ ඇයි නරි හූ කියන්නේ”? “රෑ දවල් වන්නේ මොකද මකුළුවො දැල් වියන්නේ.”? පැනවලට අණ්ඩර කොහොමද දෙන්නෙ උත්තර ගඟක් විය අද්දර ඇසී දරුවා එහිත් විස්තර “ඇයි වතුර සීතල”? “දිය රැළි මොකද කළබල”? “මේ වතුර සීතල යන්නෙ කොහෙටද ඔහේ ගල ගල”? කොල්ලග‍ෙ පැනවලට යකු නැංගේය ගමයට “ගිහින් ගඟ පහළට යනව මහ උන්දැලගෙ ගෙදරට.”

4/6

“තාත්තේ ඇත්තද? අපි දැන් ඒකෙ නාමුද?” “ පස්සෙ එය බැරුවද දැනට අපි අපෙ වැඩේ කරමුද”? සුම්බරය බැදගෙන සරම කැහැපට ගහගෙන විටකුත් හපාගෙන දෙකංසෙන් දාඩිය පෙරාගෙන. ගමය ඉනි කැපුවා කපා තැන තැන තැබුවා සිය පුතා කැඳවා ඒව ගොඩකට ලන්න කීවා. උදේ සිට වැඩ කොට පළමුව ඇඳිරි වැටුමට යන්නෙමැයි ගෙදරට සෙවී ඉනි ටික බලා වට පිට. “ තාත්තේ එව්වා මම අපෙ ගෙදර යැව්වා.” “මොකෑ බොළ කිව්වා? ගමය පුදුමෙන් යළි ඇහැව්වා.”

5/6

“උදේ සිට වැඩ කොට හරි වෙහෙසනෙ තාත්තට එනිස ඉනි එක්කොට ගඟට දැම්මා ගෙදර යන්නට.” “ගගට ඉනි දැම්මා”? ගමය ඇස් උඩ දැම්මා. “ඔක්කෝම දැම්මා. ඒව අරගෙන ඇතී අම්මා” නැත කෝපෙ නිම්මා. හීන්දාඩිය ඔහුට දැම්මා දෑස ගිනි දම්මා තෝත් පල පුතු ගඟට දැම්මා. දනි පනි ගගා පුතු ගොඩට විත් ඇස් කර රතු පුරවා කඳුළු නෙතු කීය ගමයට මේ ලෙසින් ගතු. “ගඟ ගෙදර යනවා. තාත්තම මට කිව්වා” ඇස කඳුළු පුරවා ගමපුතා ඉකි ගසා ඇඬුවා. අප්පා උනේ මුගෙ - කරුමය නිසාමයි මගෙ හැදීමට ගත් මුගෙ - වෙහෙස ගඟකට කැපූ ඉනි වගෙ

6/6

- ආනන්ද මාරසිංහ -