මොළේ පෑදීම. පූච්චි හරි ලස්සනයි. ඒ හින්දම හරි ආඩම්බරයි. පවුලේ අනිත් අයත් එක්ක ඉන්න වැඩි කැමැත්තක් නැහැ. තනියම තමයි එහෙ මෙහෙ යන්න කැමැති. එයාටම එකතු වෙච්චි යාලුවෝ දෙතුන් දෙනෙකුත් හිටියා. ඒ අයත් ඒ වගේම ටිකක් හැඩකාරයි. අහංකාරයි. වැඩිහිටියන්ගේ අවවාද ගණන් ගන්නේ නැහැ. කට්ටිය එකට ඉන්නකොට අනතුරකදී කවුරු හරි පණිවිඩේ දෙනවා. එතකොට හැමෝටම එතැනින් ඉගිලිලා බේරෙන්න පුලුවන්. ඒ නිසා තමයි, වැඩිහිටියො කියල දීල තියෙන්නේ, හැම වෙලාවෙම එක රංචුවට ඉන්න කියල. ආ... මට කියන්න අමතක උනානේ. පූච්චි කියන්නේ ලස්සන සමනලියක්. එයාට පාට පාට අත්තටු තිබුණා. හරියට පින්තාරු කරපු ලස්සන පින්තූරයක් වගේ. පූච්චි ඉගිලෙනකොට කුරුල්ලෝ, කටුස්සෝ, වගේ අය එයා අල්ලගන්න හැංගිලා හිටියා. සමහර දවස්වල අනූ නවයෙන් තමයි බේරෙන්නේ. එයා ගෙදර ඇවිත් අම්මට ඒව කියනවා.

1/4

“අනේ මගේ පුතේ, උඹේ අහංකාරකම් නැතිව මේ අනෙක් අයත් එක්ක එකට ඉන්න බලාපං.” “ඊයිය අම්මේ. ඒ අයත් එක්ක පාරෙ යන්න පුලුවන්ද?. හැමදාම එකම පාට ඇදුම්. කලුපාටයි, කහපාටයි, ගුරුපාටයි. මොනවද අම්මේ ඒව ඇඳුම්ද?”. “එහෙම කියන්න එපා පුතේ. පාට මොනව උනත්, හැඩ හුරුකම් මොනව උනත්, ඇඳුම මොකක් උනත්, ඒ උඹේ පරම්පරාවේ අය. ඒ අයගෙන් උඹට කරදරයක් වෙන්නේ නැහැ. කවදා හරි පිහිටට ඉන්නේ ඒ අය.” “අනේ අම්මේ මං මළත් ඒ අයගේ හිතවත්කම් නම් මට එපා.” “උඹලට ඕක තමයි වෙලා තියෙන නස්පැත්තිය. හැමදාම ඔය ලස්සන තියෙන්නේ නැහැ. ඔය අහංකාරකම් නැති කර ගනිල්ලා. සමගියෙන් ඉන්න බලපල්ලා” අම්මා කීවා. ඉතිං දවසක් පූච්චිත්, එයාගෙ යාලුවෝ දෙතුන් දෙනාත්, අනෙක් අය වගේම උදේම මල් පැණි බොන්න ගියා. හැබැයි, අනෙක් අයගෙන් ඈත් වෙලා එයාල වෙනමම තමයි ගමන.

2/4

“පූච්චි.. පූච්චි.. අයින් වෙන්න.. අයින් වෙන්න..” සමනල අයිය කෙනෙක් ඈත ඉඳන් එකපාරටම කෑ ගැහුවා. පූච්චි හිටපු තැනින් අයින් උනා. ඒත් එයාගෙ ලස්සන ඇඳුමෙන් ටිකක් ඉරිල ගියා. ඈතට ඉගිලෙන ගමන් පූච්චි හැරිල බැලුවා. කටුස්සෙක් එයාගෙ ඇඳුමෙන් කෑල්ලක් ඉරාගෙන. තාම ඒ කෑල්ල එයාගෙ කටේ. එයා ඇස් දෙක ඔරවගෙන බලාගෙන ඉන්නවා. පූච්චි සමනල්ලු ළඟට ගියා. එයාගෙ ඇඟ තාම බයෙන් ගැහෙනවා. “අනේ මට සමාවෙන්න. ඔයගොල්ලෝ කෑගහල කිව්වේ නැත්තං කටුසු හාමි මාව අල්ල ගන්නවා. ඔයාලට බොහොම ස්තුතියි මාව බේර ගත්තට. ඔයාල කැමැති නම් මාත් ඔයගොල්ලෝ එක්ක ඉන්න එන්නද?.” “අපි කවදාවත් අකැමැති උනේ නෑනේ පූච්චී. ඔයාමනේ අපිත් එක්ක ආවේ නැත්තේ.” “ඔව් පූච්චි. ඔයාත් අපිත් එක්කම ඉන්න. අපිට හැමතැනම හතුරෝ. එකට ඉන්නතාක් කල්, අපිට අනතුරු අවම කර ගත්ත පුලුවන්. එන්න අපිත් එක්ක.”

3/4

පූච්චි හිනාවෙලා ගිහින් ඒ අයට එකතු උනා. සමනල්ලු ඔක්කොම පුච්චි වටකරගෙන ලස්සන සමනල නැටුමක් නැටුවා. එදා ඉදල කවදාවත් පූච්චි තනිවම මල්පැණි බොන්න ගියේ නැහැ.

4/4

- ආනන්ද මාරසිංහ -