“මවගෙ දැක්ම- පුතුගෙ රැක්ම.” “හෙලෝ ගුඩ් මෝනින්.” “හෙලෝ..ව් ගුඩ් මෝනින්.” සතියේ සෙනසුරාදා ඉරිද දවස්වල අපේ චූටි පුතා බොහෝ විට ගේට්ටුව ඉදිරිපසට ගොස් එහි ගමන් කරන විදේශිකයන්ට එසේ සුභ පතයි. ඔවුහුද සිනාසී හිස නමා සුභ පතයි. සමහර දිනවල ගෙමිදුලේ පිපී ඇති දාස්පෙතියා මලක් හෝ වතුසුද්ද මලක් හෝ කඩා ඔවුනට දෙයි. “තැන්ක් යූ වෙරි මච්. තැන්ක් යූ වෙරි මච්.” කියා ඔවුහු හිස නමා ඒ මල ඉතා කැමැත්තෙන් ලබා ගනිති. සිනාසෙති. නැහයට කර සුවඳ බලති. තමන් ළඟ තිබේනම්, පෑනක් පැන්සලක් හෝ ටොපියක් දෙති. දෙන ලද මල කැමැත්තෙන් රැගෙන යති. “බායි.” ඔහු ඔවුන්ට අත වනයි. ඔවුහුද දුර යනතෙක් අත වනමින් සිනාසෙමින් යති. සමහර දිනවල ඔවුහු පුතාගේ ඡායාරූපයක් ගනිති. සමහර විට ඔවුන් සමගම සෙල්ෆියක් ගසති.
1/3
“ඔය එක එක මිනිස්සුත් එක්ක පොටෝ ගහන්න යන්න එපා.” බිරිඳ දිනක් පුතාට කීවාය. “අනේ අම්මා ඒ මිනිස්සු කොහෙදෝ රටක ඉඳල ඇවිත් ඉන්නේ. ඒ මිනිස්සුන්ට හිනාවෙලා, ‘ගුඩ් මෝනින්’ කීවම තියෙන වැරැද්ද මොකක්ද?” “ඒකනම් ඇත්ත. අපේ රට සංචාරකයෝ යන එන රටක්. හිනාවෙලා ‘ගුඩ් මෝනින්’ කීවහම මොනව වෙනවද. පේනව නේද ඒ වගේ වෙලාවට ඒ මිනිසුන්ගේ මූනේ තියෙන සතුට.” මමද කීමි. “ඒ ගොල්ල ඒ රටට ගිහින් මගේ පොටෝ ඒ අයගේ දරුවන්ටත් පෙන්නනවා ඇති අම්මේ.” පුතාද කීවේය. “මේ අප්පටයි පුතාටයි දෙන්නටම පිස්සු. ඒ මිනිස්සු ළමයින්ට ඔච්චර ආදරේනම් ඒ අයගෙ ළමයිත් එක්කං එන්න එපාය. අනෙක මේ පොටෝ අරන් ගිහින් මොන මොන දේ කරනවාද කියල කවුද දන්නේ.” “අනේ නිකම් ඉන්න. බොරු හුඹස් බයක් ඇති කර ගන්නේ නැතුව. අපි ට්‍රිප් ගිහින් පොටෝ අරන් ඇවිත් මොනවද කරන්නේ?.”මම කීමි.
2/3
“ඒ ඉතිං අපේ පොටෝනේ. මේ අරන් යන්නේ අපේ පුතාගේ පොටෝ නේ.” “ඒත් ඉතිං ‘සිනාව තමයි ඉනාව’ කියනවානේ. මේ හිනාවෙන් රටට වැඩක් වෙනව නම් කොච්චර දෙයක්ද.” මම කීමි. “මේ ඒකෙන් කමක් නෑ. තනියම ඉන්නකොට එහෙම සුද්දොයි සුද්දියොත් එක්ක සිරික්කිය දාන්න යන්න එපා. පොටෝ ගහන්නවත් කරට අත දාන්නවත් යන්න එපා.”යි බිරිඳ කීවාය. ඒ අවසාන නියෝගයයි. ඇයට එකඟ වෙනවා හැර මට කරන්න දෙයක් නැත. “ඇහුනනේ පුතා, අපි පේන්ට හිටියොත් මිසක්, තනියම ඉන්න වෙලාවට සුද්දෝ පස්සේ දුවන්නේ නැහැ. පොටෝ ගහන්න යන්නේවත් නැහැ.” මමද සිනාසී කීවෙමි.
3/3