සැරියුත් හාමුදුරුවෝ තමන්ගේ මහ ගෙදර දොරට හෙමින් තට්ටු කළා. “කවුද?” වෙවුලන හඩින් ඇතුලෙන් ඇහුවා. “අම්මේ දොර අරින්න. මම. ඇය දොර හැරියා. “මගේ පුතා මාව බලන්න ආව එහෙනං. කොච්චර දෙයක්ද. මම ඒත් පුතා ගැන කල්පනා කළා. ගොඩක් කාලෙකින් දැක්කෙත් නැහැනේ.” ඇය පුතාගේ අත්දෙකින්ම අල්ලගෙන කීවා. “ඔව් අම්මේ. එන්න ඕනෑකම තිබුණත් පරාර්ථචරියාව කියන්නේ විවේකයක් නැතිම දෙයක්. අනිත් එක අලුත් මතවාදයන් ඉස්සරහට ගෙනියන එක.” “ඔන්න ඕක අතහැරල ගෙදරට ඇවිත් ඉන්න පුතා.”
1/7
“නැහැ අම්මේ එහෙම හිතන්න එපා. අපේ වැඩ කටයුතු නිසා බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා. මෙලොව විතරක් නොවෙයි, පරලොවත්. පොඩි මිනිසුන්ට විතරක් නොවේ, රාජරාජ මහාමාත්ය වරුන්ටත්. ඒ විතරක් නොවේ, දෙවියන් බඹුන් පවා අපේ සේවය ලබා ගන්නවා. විමුක්ති මාර්ගය සලසා ගන්නවා.” “මොන බොරුද පුතා. ඔය ඔක්කොම තමන්ගේ වැඩ කරගන්නකන් විතරයි, සේරම ඇගෑලුම් කම්. පුතා මෙහාට වෙලා ඉන්න. මට තාම රසට උයන්න පිහන්න පුලුවන්. කන්න බොන්න දෙන්න පුලුවන්.” “ඒක හොඳයි අම්මේ. මේ සැරේ මම ආවේ දවස් කීපයක් ඉන්න බලාගෙන. මම මුලු ලෝකයටම යහපත පෙන්නලා දුන්නත් අම්මට උදව්වක් උපකාරයක් කරන්න බැරි උනානේ.” “අනේ මට උදව් උපකාර ඕන නැහැ. මෙහාට වෙලා ඉන්නකෝ විවේකයෙන්. ඉන්න මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්.” අසූ වියත් පසු කර ඇති මව තමා දැකීමෙන් කෙතරම් සතුටට පත්වී ඇත්දැයි සැරියුත් හිමියන් පුදුමයට පත් විය. හැමෝටම සත්යය අවබෝධ කරවීමට බණ කීවත්, අම්මට නිවන් මාර්ගය පෙන්නන්න නොහැකි වීම ගැන උන් වහන්සේ
2/7
කණගාටු උනා. ‘මම පිරිනිවන් පෑමට පෙර කොහොම හරි අම්මට නිවන් මාර්ගය පෙන්නනවා.’ තමන් ආවේ මවට සත්යය අවබෝධ කරවීමෙන් පසු පිරිනිවන් පෑමට බව උන් වහන්සේ අම්මට කීවේ නැහැ. ඒත් බුදු හාමුදුරුවනුත් අසූ මහා ශ්රාවයනුත් එය දැනගෙන හිටියා. දෙව්බඹුනුත් දැනගෙන හිටියා. අම්මා රසවත් පානයක් හදාගෙන ආවේ අතුරු පසකුත් එක්ක. සැරියුත් හාමුදුරුවො කැමැත්තෙන් ඒවා වැළඳුවා. කවදත් අම්මා රසට කෑම බීම හදනවා. “රසයිද පුතා. පුතා ඕවට කැමැති නිසා හැදුවේ.” “ඔව් අම්මේ රසයි. ඒත් ඒ රසය තාවකාලිකයිනේ.” “ඒ කිව්වේ.” “අම්මගේ කෑම බීම එදත් රසයි. අදත් රසයි. ඒත් අම්මේ ඒ රස සාපේක්ෂකයිනේ. ඒක දිවට දැනෙන රසයක්. ඒකෙන් ගතට
3/7
රසයක් දැනෙන්නේ නැහැ. සවනට රසයක් දැනෙන්නේ නැහැ. එහෙත් අම්මේ මේ පසිඳුරන්ටම රසය ගෙන දෙන දෙයක් තියෙනවා. ඒ දහම් රසය. එය සවනට මිහිරියි. ඒ ඇසීමෙන් ගතට සැහැල්ලුවක් දැනෙනවා. සිතට සැනසීමක් දැනෙනවා.” “ඉතිං පුතා දැනුත් අපි සැපෙන් සනීපෙන් ඉන්නවානේ.” “ඔව් අම්මේ ඔව්. අපි එහෙම හිතාගෙන ඉන්නවා. දැන් අම්මට ඇවිදගන්න අමාරුයි. ඉස්සරට වඩා ඇඟ වලංගු නැහැ. රැළි වැටිලා. ඇස් පේනවා අඩුයි. කන් ඇහෙනවා අඩුයි.” “ඒක තමා ස්වභාවය පුතා. අපි දැන් වයසයිනේ.” “ඇත්ත අම්මා. ඒක තමා අනිත්යය. උපදිනවා පවතිනවා නැතිවෙනවා. අපි මේක වතාවක් දෙකක් නොවේ, සිය දහස් වාරයක් ඉපදි ඉපදී විඳවන වේදනාවක්. අපි කවුද කැමැති ලෙඩ වෙනවාට. වියපත් වෙනවාට. ප්රියයන්ගෙන් වෙන් වෙනවාට. ඒත් ඒ දේ වෙනවා. ඒක දුකක් සන්තාපයක්.” “ඔව් ඒක ඇත්ත.” “කවුද ආවා වගේ පුතා. මම බලන්නම්.” ඇය එළියට ගොස් බැලුවාය.
4/7
“සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඉන්නවාද?.” “ඔව්. එන්න.” ඇය හිමියන් වෙත අමුත්තා කැඳවාගෙන ගියාය. දෙදෙනා අතර සුලු වෙලාවක සාකච්ඡාවකින් පසු ඔහු පිටත්ව ගියේය. තව මොහොතකින් තවත් අයෙක් ආයේය. ඔහුද පිටත්ව ගියේය. තව කෙනෙක් ආයේය. සිය පුත්රයාට විවේකයක් නැත. “පුතේ මම දොර වහනවා. පුතාට නිදහසේ ඉන්න මේ අය ඉඩ දේන්නේ නැහැ.” ඇය නුරුස්නා හඬින් කීවාය. “එපා අම්මේ එහෙම කරන්න. ඒ අය රාජ රාජ මහාමාත්යවරු. දෙවියන් හා බ්රහ්මයන් පවා ඒ අය අතර ඉන්නවා.” “මොනවා.? මොකටද ඒ අය එන්නේ?” “ඔව් අම්මේ, ඒ අයගේ ගැටළු විසඳා ගැනීමටයි එන්නේ.” “මොන විදිහේ ගැටළුද ඔය. ඒ අයගේ ගැටළු විසඳල දෙන්න තරම් සංඝ සංවිධානයේ ප්රමුඛයෙක්ද පුතා?” සැරියුත් හිමියෝ දෙවැනි පැනයට පිළිතුරක් නොදුන්හ.
5/7
“මෙහෙමයි අම්මේ, මේ සංසාරයේ නැවත නැවත ඉපදීම දුකක්. අපි සැප කියල හිතන කිසි දෙයක සැපයක් නැහැ. ඇත්තේ තාවකාලික සැපයක් හා තෘප්තියක්. එ අයට ඕනෑ සදාකාලික සුවයක් ලබා ගන්නා මාර්ගය දැන ගන්න.ඉගෙන ගන්න. එය දැන ගැනීමටයි ඔවුන් පැමිණෙන්නේ.” “ඒ මොකක්ද පුතා.?” “මෙහෙමනේ අම්මේ. අපි හැමවෙලාවෙම මමය, මාගේය, කියන ඇල්ම ඇති කර ගන්නවානේ. මගේ සිරුර. මගේ ගෙදර. මගේ දරුවෝ. මගේ වත්ත පිටිය. මගේ දෙපල. මේ විදිහට අපි මමත්වයක් ඇති කර ගන්නවා.” “කරදර උනත් ඒව ඉතිං අපේනේ පුතා.” “ඔව් අම්මේ. අපේ පියතුමා සතුව තිබුනු කිසිදෙයක් එතුමා රැගෙන ගියාද? අඩුම වශයෙන් වස්ත්රයක්වත්?. එහෙත් මේවා ඒක රාශී කරන්න එතුමා කෙතරම් වෙහෙස මහන්සි උනාද?. අම්ම උනත් මේවා රකින්න, ආරක්ෂා කරන්න, කොපමණ මහන්සි උනාද? වෙනවද.? ඒත් සැනසීමක් නිවීමක් තියෙනවාද?. නැහැ. අම්මේ අපට ඉතිරි වන්නේ අතෘප්තිය විතරයි.” “මේ ආලම්භනය නිසා තමයි, නැවත නැවත සසර උපදින්නේ. ඒ ඉපදීම නිසා තමයි, මෙතරම් කරදර වලට මුහුණ දෙන්නේ. ඒක
6/7
නැති කර ගැනීමට නම් තෘෂ්ණාව නැති කරන්න ඕන. මමත්වය නැති කරන්න ඕන. අත් හැරීම පුරුදු වෙන්න ඕන.” “පුතා කියන එක හරි වෙන්න ඇති. නැත්තං මෙච්චර විශාල පිරිසක් පුතා හම්බ වෙන්න එන්නේ නැහැනේ.” “ඔව් අම්මේ. ඒ කාරණා ඔක්කොම අම්මට කියල දෙන්නම්. ඒ එන අයත් එක්ක මම කරන කතා වලටත් අම්මා සවන් දෙන්න.” “කමක් නැද්ද පුතා. ඒවා ඔය අය අතර සිදු වෙන කතා බහනේ?. “අපේ කතා අතර රහසක් නැහැ අම්මේ. ඒ ධර්මය කාටත් විවෘතයි. ඒක ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු දෙයක්.” පසුදා පහන්වනතුරු සිය ගණනක් විවිධ තරාතිරමේ අය සැරියුත් හිමියන් හමුවීමට ආවා. අම්මාත් ඒ අයගේ කතාවලට සවන්දුන්නා. තම පුතා මෙතෙක් කරන ලද්දේ කුමක් දැයි ඇයට වැටහුනා. “මම පුතාට සවන් දෙන්න තිබුනේ මීට බොහෝ කාලයකට පෙරයි.” ඇය තමන්ටම කියා ගත්තා.
7/7