සුරදියෙල් මුදලාලිගේ වයස අවුරුදු පනස් පහක් විතර ඇති. එයාගෙ බිරිඳ මීට අවුරුදු පහළවකට විතර ඉස්සරවෙලා නැතිවෙලා තියෙන්නේ. ඒත් දරුවන් තුන් දෙනෙකුගෙ බර ඉතිරි කරල. ඒත් ඉතිං මුදලාලිට ඒක එච්චර බරක් නොවුනේ, ඒ බර බිරිඳගේ මව් පියන් භාර ගත් නිසා. ඒ ළමයිත් ටිකක් ලොකු මහත් වෙලා හිටපු නිසා කරදරයක් උනේ නැහැ. ලොකු පුතාට අවුරුදු දහයක්. මද්දුමයට අටක් . බාලයාට හයක්. තුන්දෙනාම ඉස්කෝලේ යනවා. බිරිඳගේ අභාවයෙන් පස්සේ මුදලාලිට ගෙදර ඉන්න හිටින්ට හිතුනේ නැහැ. බලන බලන හැම අතම පෙනුනේ බිරියගේ මතක සටහන්. ඔහු තැන් වල යන්න පටන් ගත්තේ ඒ නිසා. එහෙම ගිහින් තමයි අන්තිමට මේ පළාතට ආවේ. එයා මුලදි මෙහෙ හේනක් කොටාගෙන එළවලු මුං කවුපි වගේ දේවල් වගා කළත්, පස්සේ ඒක අතහැරල ගොවියන්ගෙන් ඒව අරගෙන කැකිරාවට හරි මරදන්කඩවලට හරි ගෙනිහින් විකුණන්න පටන් ගත්තා. ටික කාලෙකට පස්සේ ලොකු ට්‍රැක්ටරයක් ගත්තේ ගෙවන්න. ඒකෙන් ගොවියන්ගේ හේන් කුඹුරු හාල දීල, ගානක් හොයා ගත්තා. ඉඳල හිටල දරුවන් බලන්න ගමේ ගියත්, එහේ නවතින්න එයාගෙ හිතක් තිබුනේ නැහැ. දැන් ගම වෙනස් වෙලා. ඔහු එහෙ

1/11

ගිහින් දවස් දෙකකට වඩා හිටියේ නැහැ. දරුවන්ට කීයක් හරි දීල, පොත් පත් හා වෙනත් අඩුපාඩු සම්පූර්ණ කරල ආපහු ආවා. දරුවන්ටත් දැන් ඒක ගානක් නැහැ. ඒ අයගෙ ඉස්කෝලෙ ගමනත් අහවර වෙලා. දැන් ලොකු පුතාට නම් අවුරුදු විසි පහක් විතර ඇති. බිසෝවතීලා මෙහෙ පදිංචියට එකකොටත් සරදියෙල් මුදලාලි මෙහෙ හිටියා. එයාට ස්ථීර පදිංචියක් නැති උනත් තනියම උයා පිහාගෙන පොඩි ගෙයක ජීවත් උනා. බිසෝවතී දැක්ක මුල් දවසෙම මුදලාලිගේ හිතේ මොකක්දෝ එකක් එයා කෙරෙහි පහළ උනා. ඒ නිසා එහාට යන්න එන්න පටන් ගත්තා. පස්සෙ පස්සේ එහෙන් දවල්ටයි රෑටයි කෑම අරන් කෑවා . ඒවට ගෙව්වා. උදේට ඔය කොහෙන් හරි කඩේකින් මොනව හරි කෑවා. සමහර දවස්වල හවසට එනකොට මාලුවැලක්, එළවලුවක්, එහෙම බිසෝල ගෙදරට ගෙනත් දුන්නා. ඒවට කවදාවත් සල්ලි ගත්තේ නැහැ. සුරදියෙල් මුදලාලි බිසෝල ගෙදරින් කෑවත්, කවදාවත් ගේ ඇතුළට යන්නේ නැහැ. ඉස්තෝප්පු කෑල්ලේ ඉඳලයි කතා බහ කරන්නෙත්. බිසෝල ගෙදර ඉස්සරහට යාලත්තක් බාල තිබුණා.

2/11

බිසෝල ගෙදර හැම වැඩක්ම කෙරුනේ බිසෝවතී අතින්. ඇගේ සැමියා නිතර සිටියේ අසනීප ගතියෙන්. ඒ කියන්නේ හතිය. ඒක මහ ලොකු අසනීපයක් නොවුනත්, ටිකක් මහන්සි උනොත් හතිය වැඩිවෙනවා. ඒ නිසා ලොකු වැඩක් නම් කළේ නැහැ. වත්තේ පිටියේ වැඩට ගියත් පැයක් වැඩකරල පැය භාගයක් වාඩිවෙලා ඉන්නවා. ඒත් ඉතිං කවදාවත් හේනට නොගිහින් ඉන්නේ නැහැ. බිසෝ මොනව කීවත් ගණන් ගන්නෙත් නැහැ. කේන්ති ගන්නෙත් නැහැ. තරහ ගිය වෙලාවට ඇස් දෙක ලොකු කරල, “බිසෝ” කියල හයියෙන් කතා කළාම ඇය නිහඬ වෙනවා. බිසෝලගේ දරුවොත් දැන් ලොකු මහත් වෙලා. සමහරු බැඳල ගිහින්. පොඩිම එකාටත් අවුරුදු දහ අටක් විතර ඇති. කුසුමාවතීට අවුරුදු විසිදෙකක් විතර ඇති. එයා නුවර ඉඳන් ඇවිත් ඉන්නේ දරුවෙකුත් එක්ක. දරුවගේ තාත්තා කවුද කියල එයාගේ අම්මා තාත්තවත් දන්නේ නැහැ. කියන්නෙත් නැහැ. ඒක දන්නේ කුසුමාවතී විතරයි. අබේසිංහ නිතර අසනීප ගතියෙන් හිටියත් බිසෝවතීගේ ආදරේ නම් අඩුවක් උනේ නැහැ. ඒ උනත් මුදලාලි දකිනකොට නම් බිසෝවතීගේ හිතට අමුතුම සන්තෝෂයක් ඇතුල් උනා. ඒ ඇයිද කියල ඇයට කියන්ට තේරෙන්නෙ නැහැ. වැඩක් පලක් කරල කමිසය නැතිව ඉන්නකොට මුදලාලිගේ අත් ගොබ දකින

3/11

බිසෝවතීගේ හිත සතුටින් පිරිල යනවා. අබේසිංහත් එක්ක විටක් කාල මුදලාලි ඇඟිළි දෙක අතරින් කෙළ පාරක් මිදුලේ ඈතටම විද්දා. “කෙළ ගහන්නා වගේ නෙවෙයි, මිදුල සුද්ධකරන්නත් වෙයි ඕං” ඇය හිනා වෙලා කීවා. “අනේ ඕක ඔච්චර මහ දෙයක්ය, ඕක මං වෙනුවෙන් බිසෝ අක්කම කරල දාන්න ඇහැක්නේ.” මුදලාලිත් බිසෝට කියන්නේ ඇසක් ඉඟි මරමින්. ඒ වගේ වෙලාවට බිසෝ ගෙට ඇහක් යවල බලන්නේ තමන්ගේ දරුවන් ඒවා අහගෙන ඉන්නවාද කියල. “අම්මේ මම ඇළට යනවා නාගෙන එන්න. දවසක් බිසෝයි මුදලාලියි මිදුලේ කතා කර කර ඉන්නකොට කුසුමාවතී කීවා. ඇගේ එක් අතක පොඩි එකා එල්ලී සිටියා. අනෙක් අතේ රෙදි පොට්ටනියක් තිබුනා. කුසුමාවතී ඈත නොපෙනී යනතෙක්ම මුදලාලි ඇය දෙස බලාගෙන හිටියා. බිසෝ ගෙහි උලුවස්සට හේත්තුවෙලා මුදලාලි දිහාත් කුසුමාවතී දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.

4/11

‘හරියට අපේ උදුලා වගේමයි.’ මුදලාලිට තමන්ගේ මිය ගිය බිරිඳ සිහියට ආවා. ඇයත් තමන්ගේ කුඩා පුතා සමඟ නෑමට යනවිට පිටුපසින් දිස් වන්නේ මේ විදිහටමයි. “මුදලාලි”.. බිසෝ සිහින් හඬින් කතා කළා. ඈත යන කුසුමාවතීගෙන් දෑස ඉවතට ගත් මුදලාලි ලජ්ජාවෙන් වගේ බිසෝ දිහා බැලුවා. “ඇයි මුදලාලි?”.. “මට උදුලාවතී මතක් උනා බිසෝ අක්කේ. ඒ දවස්වල අපි කොච්චර සන්තෝසෙන් හිටියද?” “ඉතිං දැන් උනත් මුදලාලිට බැරිය කසාදයක් කරගෙන සන්තෝසෙන් ඉන්න. මොකද ඉතිං ගෑනියකට කන්න දෙන්න බැරුවයෑ?.” “ඒකත් ඇත්ත තමයි. මෙච්චර කාලයක් මං ඒ ගැන හිතුවේ නැහැ. ඒත් දැන් මට ලොකු තනිකමක් දැනෙනවා, බිසෝ අක්කේ.” ඔහු කීවේ ඈත ආකහේ දිහා බලාගෙන. බිසෝවතී එහෙම කීවේ හිතල නෙවෙයි. කටට ආ පලියට. එයා ආය බය උනා, මුදලාලි කසාදයක් බැඳගෙන ආපහු කොහෙ හරි

5/11

යයිද කියලත්. එයා කසාද බැන්දොත් ආයෙත් මේ පැත්තේ නොඒවි. ඇය දුකින් හිතුවා. ‘මේ නහින දෙහින කාලෙ මොන කසාදද’ බිසෝවතී තමන්ටම කියා ගත්තා. තාමත් මුදලාලි ඈත අහස දිහා බලාගෙන. “ඉතිං මුදලාලි මොනවද ඔය හැටි කල්පනා කරන්නේ?” ඇය මුවගට මදහසක් නංවගෙන ඇසුවා. “ඒක නෙවෙයි බිසෝ අක්කේ, කුසුමාවතී හැමදාම ඔහොම තියා ගන්නද කල්පනාව?” “මොනව කරන්නද මුදලාලි? හිතුවක්කාරකම් කරගෙන, දැන් මෙහාට වෙලා ඉන්නවා. රට්ටුන්ගේ කයි කතන්දරවලත් කෙළවරක් නැහැ. දරුවොනේ. මරල දාන්ටය. මම බැලුව කීප දෙනෙකුටම කතා කරල, බන්දල දෙන්නවත්. කෝ කැමැත්තක් නැහැනේ...” ඇය කුසුමාවතීගේ හිතුවක්කාරකම්වලට දොස් කියන්න පටන් ගත්තාය. “දැන් ඕවට දොස් කියල වැඩක් නැහැ. දෙමාපියෝ දැන ගන්න ඕන දරුවො හරියට හදා ගන්න.” මුදලාලි කීවා.

6/11

“බඩතුරේ ගහල රැකගන්නය මුදලාලි?” ඇය කතා කළේ හැඟුම් බරව. “දැන් කුසුමාවතීට වයස කීයද බිසෝ අක්කේ.?” “මට හිතෙන්නේ අවුරුදු විසිදෙකකට වැඩි නැහැ.” “මට පනස් හතරයි.” මුදලාලි අමුතු මාදිළියේ හිනාවක් මවාගෙන කීවා. “මටත් හිතෙනවා දැන් කසාදයක් බැඳ ගත්තොත් හොඳයි කියල. බිසෝ අක්කේ. ඒත් මටත් කුසුමෙට වගේ තමයි. දැන් කවුද මාත් එක්ක දීග කන්න එන්නේ.?” ඔහු කීවා. ‘කුසුමාවතී කසාද බැඳගන්න ඇත්නම් කොච්චර එකක්ද. එයාගේ ඇති වැරද්දක් නැහැ. හිතුවක්කාරෙට ළමයෙක් හදාගත්ත කියල කොහොමද එයා මුලු සමාජෙන්ම කොන් කරල දාන්නේ? එයත් අනාථවෙලා තියෙන්නේ කවුරු හරි පිරිමියෙක්ගෙන්නේ.’ මුදලාලි තමාටම කියා ගත්තා. “අදනම් මුදලාලි හරියට කල්පනා කරනවා.” බිසෝවතී කීවා.

7/11

ලජ්ජාබර සිනාවක් මුදලාලි පෑවා. ‘අදනම් ඔක්කොම හොර අහුඋනා’ වගේ අදහසක් ඒ සිනාවේ තිබුණා. “නෑ බිසෝ අක්කේ...” “නැත්තේ නැහැ. අද මොකක්දෝ හොරයක් මුදලාලිගේ තියෙනවා.” “නැහැ බිසෝ අක්කේ, මම මේ කල්පනා කළේ කුසුමාවතී ගැන.. කුසුමාවතීත් මම වගේම අසරණ වෙලා. මමත් කුසුමාවතී වගේම අසරණ වෙලා. මගේ වයස වැඩිකම නිසා මිසක්..” “අපෝ ඕකත් මොන වයසක්ද මුදලාලි.? ඔයිට වඩා වයසක මිනිස්සු කසාද බඳින්නේ.” බිසෝවතීට ඉබේ කියවුනා. “නෑ.. නෑ.. ඒත් ඒව ඉස්සර වගේ නෙවෙයිනේ. නේද මුදලාලි.?” ඇය තම වරද නිවැරැදි කරගන්න උත්සාහ කළා. “ඒක නෙවෙයි බිසෝ අක්කේ. මමත් සෑහෙන දවසක ඉඳල කුසුමාවතී ගැන සැලකිල්ලෙන් හිටියේ. අබේසිංහ අයියගෙනුත් අහල බලන්න. මට දරුවෝ හිටියට දැන් ඒ දරුවන්ගෙන් නිදහස් වෙලා. මගේ දෑතේ හයිය තාම තියෙනවා. දවසකට රුපියල් හත් අට

9/11

සීයක ආදායමක් තියෙනවා. බිසෝඅක්ක කැමැති නම් ... අනේ මන් දන්නෙ නැහැ...බිසෝ අක්ක කල්පනා කරල බලන්නකෝ ...” ඔහු ළඟ තිබිච්ච තට්ටුවෙන් පුවක් ගෙඩියක් අරන් සුද්ද කරන්න පටන් ගත්තා. ‘කුසුමාවතීට අවුරුදු විසිදෙකයි. මේ මිනිහට අවුරුදු පනස් හතරයි. අවුරුදු තිහකටත් වඩා වැඩිමල්. හරියට තාත්තයි දුවයි වගේ. එහෙව් එකේ මඟුල් කතා කරන්නේ.’ ‘කෙල්ල ඔන්න ඔහේ හිටපුදෙන්. අවජාතක දරුවෙක් වැදුව කියල මොන දේකටද මේ වගේ නාකියෙකුට මගේ කෙල්ල දෙන්නේ.’ බිසෝවතී සිතුවා. ‘ඒත් පිරිමියෙක්ගේ වයස අවුරුදු පනස් පහක් උනාට මොකද ඇඟපතේ හයිය හත්තිය තියෙනවනම්. ගෑනියෙකුට කන්න අඳින්න දෙන්න පුලුවන්නම්. ගෑනියෙක්ගේ අනෙකුත් ඕනෑ එපාකම් සම්පූර්ණ කරන්න පුලුවන්නම්.’ බිසෝවතී අනෙක් අතට හිතුවා. “මම ගිහින් එන්නම් බිසෝ අක්කේ.” සුරදියෙල් මුදලාලි අතේ තිබුණු විට කටේ ඔබා ගනිමින්, ඇඟිල්ලේ තිබුනු හුණු ටික ඉස්සරහ දතේ ඇතුල් පැත්තේ ගාන ගමන් කීවා..

10/11

ඒ එක්කම ඇයට ඇස ගැටුනේ අබේසිංහ එක්ක ගත්තු මඟුල් පොටෝ එක. ඇගේ හිත තැති ගත්තා. ‘මම හිතපුවා මෙයාට දැනුනද මන්දා.’ ඇය සෙමින් කුස්සිය පැත්තට ගියා. බඩ ඉරිඟු කරල් කීපයක් එකට බැඳගෙන, උදැල්ලත් කරේ තියාගෙන, සුම්බරයත් බැඳගෙන, ගෙදරට එන තම සැමියා ඇය කුස්සියේ කවුළුවෙන් දැක්කා. ‘එයා මහන්සිවෙලා එන්නේ. අසනීප කාරයා. ඉක්මනට වතුර ටිකක් රත්කරල, තේ එකක් වත් කරල දෙන්න ඕන.’ ඇය ගිපේ දරටික සුරුවම් කරල පිම්බා. මෙතෙක් වෙලා අගුරු වසාගෙන තිබුනු අලු සීසීකඩ විසිරිලා ගියා. ලිප දැල්වෙන්න පටන් ගත්තා. ගින්දර දැකල පියඹල ආපු සමනලයෙක් අමාරුවෙන් බේරාගත්තු බිසෝවතී ඌ ජනේලයෙන් එළියට දැම්මා.

11/11

- ආනන්ද මාරසිංහ -