“මෑණියනි, අද මල් පූජා කරන්න යනකොට මාත් එනවා.” එක් තරුණ දියණියක් මවට කීවාය. “ආ ඒක කොච්චර හොඳද. එහෙනම් මුහුණ කට හෝදගෙන සුදුසු ඇඳුමක් ඇඳගන්න” “මෑණියනි තව මල් ටිකකුත් කඩන්නද?” “මල් නම් ප්‍රමාණවත් වේවි. ඔබත් කැමැති නම් මේ මල් බඳුනටම තවත් ටිකක් නෙලල දාගන්න . නැත්තම් වෙන බඳුනකට නෙලා ගන්න.” දියණිය තවත් බඳුනක් සොයාගෙන විවිධ පැහැයෙන් යුත් මල් කඩා එය පුරවා ගත්තාය. ඒ මීට වසර දෙදහසකට පමණ පෙර අනුරාධපුර අභයගිරි දාගැබ වන්දනාවට සැරසුනු මවකගේ හා දියණියකගේ දෙබසෙකි. ඔවුන් සිටියේ අභයගිරි දාගැබ පෙනෙන මානයේ දුරකය. එම නිසා නිතර එහි යාම මෑණියන්ගේ සිරිත විය. අහස සිඹින රුවන්වැලි මහා සෑය මෙන්ම, අභයගිරි දාගැබද බොහෝ දෙනාගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කළේය. තමන්ගේ ප්‍රාර්ථනාවන් එහිදී ඉෂ්ට වන බවට බොහෝ දෙනාතර විශ්වාසයක්ද පැතිර පැවතින. ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්නාක් වැනි හැඟීමක් ඔවුන් අතර තිබුණි. බුදුරජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා රුවන් වැලි දාගැබෙහි නිධන් කර තිබීමත්, අභයගිරි දාගැබේද එවැනිම සර්වඥ ධාතු ප්‍රමාණයක් රන් අශ්ව පිළිරුවක බහා තැන්පත් කර තැබීමත් එයට හේතු විය. බුදු දහම කෙරෙහි අප්‍රමාණ භක්තියකින් කටයුතු කළ වළගම්බා මහ රජාණන් එහි පුද පූජා සඳහා යන සැදැහ වතුන්ගේ පහසුව සදහා අවශ්‍ය පහසුකම් සලසා තිබුණි. මව හා දියණිය එහි යනවිට හිරු අස්තංගත වෙමින් තිබුණි. එහෙත් දාගැබ් මලුව තවමත් සිසිල් වී නොතිබුනි. අවට සිසිල සදහා සිටුවා තිබුණු කොසඹ ගසක් යට දෙපල මොහොතක් නතර උනහ. කොසඹ ගස යට සිටම දෝත් මුදුන් දී දාගැබ් වහන්සේට නමස්කාර කළ මව එසේ කරන ලෙස දියණියටද කීවාය. “මෙතැනදිත් වඳින්ට ඕනද මෑණියණි. අපි දැන් මල් පූජා කරනවානේ. එතෙන්දිම වඳිමු.” “දැන් හැදෙන ළමයින්ගේ හැටි. අනේ මන්දා. ජීවමාන බුදු හාමුදුරුවන්ට වන්දනා කරනවා වගේ තමයි දාගැබට වන්දනා කරනවා කියන්නේ. උන් වහන්සේගේ ශාරීරික ධාතු තමයි, මෙතැන තැන්පත් කරල තියෙන්නේ.” “ඒක ඇත්ත මෑණියනි. ඒත් අපි මෙතැන ඉඳන්ම වැඳගෙන යන්න ඕනය. අපි අර මල් ආසනය ළඟට ගිහින් මල් ටික තියල ගාථා කියල වන්දනා කරමු. දැන් මේ එතෙන්ට යන්නනේ ලෑස්තිය.” “මේ ශුද්ධ භූමියේ පව් පිරෙන වචන කියන්න එපා දුවේ. අපි මල් ටික පූජා කරමු.” දෙදෙනාම මලසුන වෙත ගියහ. එහි පරවුණු මල් රැසෙකි. දැඩි අව් රස්මිය නිසා එය ඉක්මන් වන්නට ඇත. මෑණියන් හා දියණිය දෙදෙනාම ගෙනා මල් බඳුන් පසෙක තබා පරවුණු මල් ඉවත් කළහ. මලසුන, ඒ අසල තිබුණු වල්විදුනාවකින් පිස දැමූහ. දැන් මලසුන් ගෙය පිරිසිදුය. “දුවේ, අපි මේක වතුර ටිකකින් හොදලාම මල් පූජා කරමු. මම වතුර කළේකුත් අරගෙන එන්නම්.” කියා කලගෙඩියත් ගෙන මලුව ආසන්නයේ තිබුනු ළිඳට ගියාය. ‘මෑණියන්ට නම් පිස්සු. මේ පවිත්‍ර කරපු මලසුනෙහි මල් නොපුදා, තව ජලයෙනුත් සේදීමට වෙහෙසෙන හැටි’ තමන්ටම කියු තරුණිය තමන්ගෙනා මල් පැසෙන් මල් එකින් එක ගෙන අලංකාර ලෙස රවුමට තැබුවාය. එය ඇගේ සිත ප්‍රසන්න කිරීමට සමත් විය.
1/9
“මේ මල් පූජා කිරීමේ ආනිසංශයෙන් උපනුපන් ආත්ම ජාතිවල ආරෝහ පරිනාහ දේහ සම්පත් ඇතුව, දුටු දුටුවන් මුසපත් වන ආකාරයේ රූප සම්පත්තියෙන් යුක්ත වේවා. ලිය කින්නරාවන්ගේ මෙන් මිහිරි කටහඬ ලැබේවා” යි ප්‍රාර්ථනා කළාය. මෑණියන් වතුර කළය ගෙනඑන විට දියණිය මල් පූජා කර ප්‍රාර්ථනාවක්ද කර අවසන්ය. ඇගේ එම කටයුත්ත දැකීමෙන් මව කෝපයට පත් වූවාය. “ඇයි බොල චණ්ඩාල කෙල්ල, මේ මල් බදුන සෝදා පිරිසිදු කරන තුරු සිටීමට තිට නොහැකිවූවාද?. අපිරිසිදු මල් අසුන මත මල් තබා පූජා කිරීමට තරම් තිට තිබූ හදිසිය කුමක්ද?” දැරිය මව දෙස නුරුස්නා බැල්මක් හෙලුවාය. “මා කී දේ තිට නොතේරුනේද. මින් මතුවට මෙවැනි චණ්ඩාල කටයුතු නොකරව.” මව නැවතද කීවාය. “මා කෙසේද චණ්ඩාල වන්නේ. එසේ චණ්ඩාල වන්නේ නම්,කියන ඔබ චණ්ඩාල නොවන්නේ කෙසේද?. මක් නිසාද ඔබ මගේ මෑණියන් වන හෙයිනි.” “මා කියන්නේ උත්පත්ති චන්ඩාල කමක් නොවේ. කළ පහත් ක්‍රියාව නිසා තී චණ්ඩාල කටයුත්තක් කළ බවයි.” මව නැවතත් කීවාය. “මා කියන්නේත් එයමයි. මලසුන පරමල් ඉවත් කර එය පිස දැමීමෙන් පසු, තවදුරටත් සේදීමේ අවශ්‍යතාවයක් නොතිබූ නිසයි, මා එහි මල් පූජා කළේ. එසේ මල් පූජා කිරීම චණ්ඩාල කමක් නම්, යහපත් කටයුත්තක් කළ මට චණ්ඩාලවාදයෙන් කතා කරන ඔබ චණ්ඩාලියක් නොවන්නේ කෙසේද”යි නොමනාපයෙන් යළිත් ප්‍රශ්න කළාය. දෙදෙනා අතර සිදුවූ මේ කතා බහ එදිනම අවසන් විය. ඔවුනොවුන් කරන කුශලා කුශල කර්මයන් එසේ සිතින් ඉවත් කරලීමට හැකි වුවත්, එයින් ලැබෙන ආනිශංස හා විපාකයන්, ඉවතලීමට අපට හැකියාවක් නොමැත. ඒවා අප පසු පස්සේ සංසාරය පුරාවටම ගමන් කරයි. යහපත් කාර්යයක් නම් සෙවනැල්ල මෙන්ද, අයහපත් කාර්යයක් නම් කරත්ත රෝදයක් මෙන්ද, පසු පස්සෙන් ගමන් කරයි. ඒ දියණිය මෑණියන්ට චණ්ඩාලවාදයෙන් කතා කිරීම නිසා කර ගත්තේ අකුශලයකි. එසේ වුවත් ප්‍රසන්න සිතින් යුක්තව මල් පූජා කිරීමෙන් කරගත්තේ කුශලයකි. මල් පූජා කිරීමෙන් පසු ඇය ප්‍රාර්ථනාවක්ද කළාය. එම ප්‍රාර්ථනාව කළේද ප්‍රසන්න සිතකිනි. ඒ පුණ්‍ය මහිමය බල ගැන්වීමෙන් ඇය උත්තරමධුරා නම් නුවර චණ්ඩාල නායකයෙකුගේ නිවසෙහි ප්‍රසූතිය ලැබුවාය. ඇය දුටුවන් මන පිනන රූපයෙන් යුක්ත වූවාය. ඇගේ ඡවි වර්ණය කෙතරම් දීප්තිමත්ද යතහොත් එයින් කාන්තියක් නිකුත් වන්නාක් මෙන් විය. ඇයගේ උත්පත්ති දායාදයක් ලෙස ළය පෙදෙසෙහි ස්වර්ණ තිළකයක් පිහිටියේය. ඒ නිසාම ඇයට නම් තබන විට ස්වර්ණතිලකා යැයි නම් තැබීය. මුලින් සදහන් කළ පරිදි මල් පූජා කිරීමේදී කළ ප්‍රාර්ථනාව පරිදි එසේ රූමත්ව උපන්නත්, ප්‍රාර්ථනා කොකළත් මවට චණ්ඩාල වාදයෙන් කතා කිරීමේ හේතුවෙන්, චණ්ඩාල කුලයෙක උපන්නාය. එහිදී වුවත් ඇය උපන්නේ චණ්ඩාල නායකයෙකුගේ නිවසේය. එයද ඇය කළ පින්කමේම යහ ප්‍රතිඵලයකි. දිනෙන් දින ඇය වර්ධනය වන විට ඇගේ රූප ශෝභාවද තව තවත් වර්ධනය විය.ඇගේ රූ වරුණ මුලු උත්තර මධුරා නුවරම පැතුරුනේ වාත වේගයෙනි. ඇය වැඩිවිය පත්ව නොබෝ කලකින්ම බොහෝ උගත්, ධනවත් , කුලවත් පිරිස් ඇයව ආවාහ කර ගැනිමට පැමිණියහ. එසේ වුවත් ඇය පහත් චණ්ඩාල කුලයෙහි ඉපදී ඇති බව දැන, අකැමැත්තෙන් නමුත් එය ප්‍රතික්ෂේප කොට මහත් දුකින් පිටත්ව ගියහ.
2/9
මේ අතර උත්තර මධුරා පුරයෙහිම විසූ තවත් චණ්ඩාල නායකයෙක්ගේ පුත්‍රයෙක් ඇය පිළිබදව සියලු තොරතුරු අසා දැනගෙන, නොයෙක් පඬුරු පාක්කුඩම්, මල් බුලත් ආදිය රැගෙන ගොස් ඇගේ මව් පියන්ට පිළිගන්වා ඇයගේ අත පැතීය. දෙමාපියෝ එයට එකඟව ස්වර්ණතිලකාවට ඔහු ගැන කීවෝය. “දියණියනි, මොහු ජාති කුල ගෝත්‍රයෙන් අප හා සමානය. ඔහුද ජනප්‍රධානියකුගේ පුත්‍රයෙකි. ඔහු හා විවාහ වුවහොත් සතුටින් සිටිය හැකිය.” “පියතුමනි, නොදැණුවත්කම හා අපගේ කැමැත්තෙන් තොරව මෙම චණ්ඩාල කුලයෙහි උපන්නෙමි. එහෙත් විවාහය යනු දෙවන උපතෙකි. එය සිද්ධවන්නේ දැණුම් තේරුම් ඇති වයසකදීය. එය එසේ වද්දී කුමක් හෙයින් චණ්ඩාල කුලයෙක කෙනෙකු හා විවාහ වන්නේද? අනෙක මෙරට පමණක් නොව, මෙලොව ඕනෑම රජ කෙනෙක්, සිටු වරයෙක්, විවාහ කරගත හැකි තරම් රූපශ්‍රියක් මා සතුය. එම නිසා කුල ගෝත්‍රයෙන්, ධනයෙන් බලයෙන් උසස් කෙනෙකු මිස, කිසි දිනෙක චණ්ඩාලයෙකු සමග විවාහ නොවෙමි.”යි නොයෙක් ආකාරයෙන් දොස් කියා එම යෝජනාව ප්‍රතික්ෂේප කළාය. ලජ්ජාවටත් , කෝපයටත් පත් තරුණයා ඇගෙන් පළි ගැනීමට සිතුවේය. එසේ සිතා මේ පිළිබඳව රජතුමාට පැමිණිළි කරමියි සිතා රජතුමා හමුවීමට ගියේය. දේවයන් වහන්ස, අපගේ උත්තර මධුරා පුරයෙහි ස්වර්‍ණ තිලකා නම් තරුණියක් සිටී. ඇය රූපයෙන් රන් රුවක් හා සමානය. ඇගේ දෑස ලා හිරු මෙන් බබළන්නේය. එහි බැල්ම ලත් කෙනෙකුට ඇය අත් හැරිය නොහැක්කේය. ඇගේ කේශකලාපය අක් බමරුය. දිගුය. නිල්වන් ය. දෙතොල් බිඹුඵල වැන්න. නැහැය වාත්තු කළාක් වැන්න. කපෝලස්ථල පුන්සඳ සේ පැහැපත්ය. පිරිපුන්ය. දෙසවන් ලම්භකය. ගෙල පෙදෙස මයුරයෙකුගේ වැන්න. දෙපියයුරු රන් කුඹුය. ඇගේ රූපශ්‍රීය වර්‍ණනා විෂයාතික්‍රාන්තය. මමද ඇය හා සමාන කුල ජාතියෙන් යුක්ත වෙමි. ඇය හා සරණ වීමේ අපේක්ෂාවෙන් එහි ගියෙමි. දැලෙහි බැඳුණු මත්ස්‍යයෙකු මෙන් ඇයගේ නේත්‍ර නිරීක්ෂණයෙන් මම ඇය හා බැඳුනෙමි. එහෙත් ඇය මා ප්‍රතික්ෂේප කරයි. එයට ප්‍රධානම හේතුව ලෙස කියන්නේ මා ඇය හා සම කුල වීමයි. ඇය පතන්නේ උසස් බමුණු මහසල් කුලයෙක කෙනෙකි. වංශවතෙකි. කැණහිල් ධේනුවක් කේශර සිංහ රාජයෙක් පතන්නාක් මෙන්, කැවිඩියක ස්වර්ණ හංසයෙක් පතන්නාක් මෙන්, ඇය අපව ප්‍රතික්ෂේප කරයි . දේවයන් වහන්ස මේ සම්බන්ධයෙන් මැදිහත් වනු මැනව. රජතුමා මද සිනාවක් නගා ගත්තේය. මෙය නම් අපූරු පැමිණිල්ලකි. මොහු පවසන ආකාරයට ඇය ඉතා රූමත්ය. ඇය රූප මදයෙන් කටයුතු කරන බව පෙනේ. සමාන කුලිකයන් ඇය නොපතන්නී නම්, බලහත් කාරයෙන් විවාහ කර දීමට නොහැකිය. එය ඇයගේ කැමැත්තය. සමාන වූම ගැටලුවකින්ම විසඳිය යුතු දෙයකි.”යි සිතා ස්වර්‍ණ තිලකාවන්ගේ පියාණන් කැඳවීය. ස්වර්‍ණතිලකාවන්ගේ පියා රජතුමා ඉදිරියට පැමිණියේය. මහත් භය පක්ෂපාතීව රජු ඉදිරියේ වැඳ වැටුනේය. “පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස.” “හොඳයි, යහපතක් වේවා. මා තොප කැදවූයේ විශේෂ කාරණයක් දැන ගැනීමටය.” “කුමක්දැයි වදාරනු මැනවි දේවයන් වහන්ස.” “තොපට රූමත් දියණියක් සිටීද?” “එසේය, දේවයන් වහන්ස.” “ඇය සමාන කුලිකයන් නොපතා උසස් වංශවත් තරුණයෙකු විවාහයට පතනවා කියන්නේ සත්‍යයක්ද.?” “එසේය දේවයන් වහන්ස. ඒ ඇයගේ කැමැත්තයි. එය වෙනස් කිරීමට මෙතෙක් අප අපොහොසත් වීමු.” “එය එසේ වේවා. ඒ ඇයගේ කැමැත්ත. අපට එය වෙනස් කිරීමට අයිතියක් නොමැත.”
3/9
“එසේය දේවයන් වහන්ස.” “එසේ වුවත් දරුවන් දෙමාපියන්ගේ බස ඉවතලිය යුතු නොවේ. සාධාරණ හේතුවක් ඇත්නම් දරුවෙකුට වුවත්, දෙමාපියන්ගේ අදහස් ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත. එහෙත් මෙහි ඇති යුක්ති යුක්ත භාවය නොපැහැදිළිය.” “දේවයන් වහන්ස, කුඩා කල සිටම ඇය පතන්නේ තමන්ට වඩා කුලයෙන් ඉහළ කෙනෙකි. ඇය එයට හේතු ලෙස දක්වන්නේ තමන් රූපයෙන් අන් හැමටම වඩා ඉහළින් සිටින බවයි. මඩෙහි උපදින මැණිකක් රජවරුන්ගේ කිරුළ මත පැළඳිය හැකිනම්, තමා වන් රූමත් කතකට කුලවතෙකු හා විවාහ විය නොහැක්කේ මන්දැයි ඇය ප්‍රශ්න කරනවා.” “ඇගේ තර්‍කය නිවැරදි නැත්තේ නැහ. ඇය එසේ සිතන්නේ නම්, ඒ ආකාරයෙන්ම සිතන අයෙකු පිළිබඳව මා තොපට එක් තොරතුරක් දෙමි.” “එසේය දෙවයන් වහන්ස, ගැත්තා එයට සවන් දෙමි. වදාරනු මැනවි.” “පඤ්චමධුරා නුවර උද්දාල නම් බ්‍රාහ්මණයෙක් වෙසෙයි. ඔහු ඉතා උසස් කුලවතෙකි. උභය කුල පාරිශුද්ධය. දැණුමෙන් ඉහළය. පන්සියයක් රජ කුමාරවරුන්ට ශිල්ප දානය කරයි. පඤ්චමධුරා රජුගේ ඇමැති මණ්ඩලයේද ඔහු සේවය කරයි.” “එසේ වුවත්, ඔහු කාන්තාවන් පිළිකුල් කරයි. විවාහයක් කර ගන්නා තබා දැක්මටවත් ප්‍රිය නොකරයි. ඔහු රාජ සේවයට පැමිණෙන්නේද ආවරණය කළ රථයෙකිනි. ඒ කාන්තාවන් දැක්මට ඇති අකැමැත්ත හේතුවෙනි. සමහර දිනවල හෙතෙම කාන්තාවක් සෘජුව මුණ ගැසුනොත් පිලිකුල් දෙයක් ඇස ගැටුනේයැයි කිරි දියෙන් දෑස සෝදා හරියි. තොපගේ දියණිය සමත්කම් දක්වන්නේ නම්, ඔහු පොළඹවාගෙන විවාහ වන්න යැයි දන්වව. එසේ වුවහොත් ඔවුන් දෙදෙනාට යහපත් අනාගතයක් ඇති වේයැයි සිතමි.” “ඔබ වහන්සේගේ මේ යෝජනාව මගේ දියණියට ඉදිරිපත් කරමි. ඇය කැමැති නම් වහාම ඔහු මුණ ගැසීමට යන්නෙමි.”යි රජතුමාට ගෞරව නමස්කාර කොට සැඩොල් නායකයා මාළිගයෙන් පිටව ගියේය. තම ගෙට ගිය බ්‍රාහ්මණයා ස්වර්‍ණතිලකාවට කතා කළේය. “පියාණෙනි, රජතුමා ඔබ වහන්සේ කැඳවූයේ කුමක් සඳහාද?” යි විමසමින් ඇය පියා වෙත පැමිණියාය. “දියණියනි, රජතුමා මා කැඳවූයේ ඔබ ගැන විමසීමටය.” “රජතුමා හා විවාහ වීමට මගේ අකැමැත්තක් නැත පියාණෙනි. එහෙත් ඔහු මා හා සම වයස්ක නොවේ. එහෙයින් මම ඔහු නොකැමැත්තෙමි.”ඇය පියාට කීවාය. “රජතුමා ඔබ ගැන විමසුවේ ඔබ ගැන එවන් අදහසකින් නොවේ. ඔබ ඔබේ කුලිකයන්ට අකැමැති බවත්, උසස් කුලවතෙකු විවාහයට සොයන බවත්, දැන ගැනීම හේතුවෙනි. රජතුමා තමන් හඳුනන රජකෙනෙකුගේ, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන, උද්දාල නම් බ්‍රාහ්මණයෙකු ඔබට සුදුසු බව ප්‍රකාශ කිරීමටයි මා කැඳවූයේ.” “පියාණෙනි ඔහු කෙබඳු කෙනෙක්ද?” “ඔහු තරුණ වයසේ සිටින, ඉතාමත් දක්ෂ, උගත්, රූමත්, ඇමති වරයෙකි. එසේ වුවත් විශේෂත්වය වන්නේ ඔහු විවාහයකට අකැමැති වීමය. විවාහයකට අකැමැති පමණක් නොව, කාන්තාවන් දැකීම පවා පිළිකුල් කරයි . පුතික්ෂේප කරයි.” “එය කෙසේ වන්නද පියාණෙනි? ඔහුගේ නිවසේ මව හෝ සහෝදරියන්වත් නොමැත්තේද?” “එසේ විය හැකියි. එසේ නොමැතිනම් මෙවැනි විරෝධතාවයක් ඇතිවන්නේ කෙසේද? එය රැක ගන්නේ කෙසේද.?”
4/9
“පියාණෙනි, එය එසේමනම් මට ගැලපෙනම ස්වාමියා ඔහුයි. මම ඔහු හා විවාහ වෙමි. ඔහු වෙනත් කාන්තාවකගේ ස්පර්‍ශයක්වත් ලබා නොමැති බව එයින්ම පෙනේ. ඔහුගේ ප්‍රථම ප්‍රේමයම මට හිමි කර ගත හැකිය. බ්‍රාහ්මණ වංශිකයෙක් වන ඔහු ධන ධාන්‍යයෙන්ද වෘත්තියෙන්ද උසස් බව පෙනේ. ඒ නිසා පියතුමනි, ඔබට නැවතත් කියමි. ඔහු නොදැක්කත් මම ඔහුට කැමැත්තෙමි. මම ඔහු විවාහ කර ගන්නෙමි.” “එහෙත් දියණියනි, ඔහු කාන්තාවන් දැකීම පවා පිළිකුල් කරයි. ප්‍රතික්ෂේප කරයි.” “එය එසේ වේවා පියාණෙනි. මම කාන්තාවක්මි. කාන්තාවක් සතුව දෙසැටක් මායම් ඇති බව ඔබ වහන්සේ නොදන්නනේද? ඔහු වසඟ කර ගැනීමට නොහැකිනම් මගේ ගැහැනු කමෙන් ඇති ඵලය කුමක්ද?. මා ලැබූ රූපශ්‍රීයෙන් ඇති ඵලය කුමක්ද?. පියාණෙනි, හෙට උදෑසනම උද්දාල බ්‍රාහ්මණයා මුණ ගැසීමට යාමට සූදානම් කරන්න.” පසුදා හිමිදිරි පාන්දරම පියා සහ ස්වර්‍ණතිලකා පඤ්චමධුරා පුරය බලා පිටත්ව ගියහ. චණ්ඩාලයන්ගේ පරම හැකියාවක් වීණාවාදනය කෙරෙහි තිබුණේය. එහෙයින් ඇගේ පියා අදාල සංගීත උපකරණ සියල්ල සකසා ගත්තේය. ස්වර්‍ණතිලකා ශරීරය ආවරණය වනසේ මහාර්‍ග වස්ත්‍රයක් හැඳ පෙරව සිටියාය. තමන්ගේ ගමනාන්තය පඤ්ච මධුරාව වුවත් අතරමගදී තමන්ගේ හැකියාව පෙන්වා යම් මුදලක් උපයා ගැනීමටද ඔවුහු නොපැකිලුනහ. එහෙත් ඒ ශිල්ප දැක්වූයේ ධන කුවේරයන්ගේ නිවෙස් වල මිස සතරමං සන්ධිවල නොවේ. එසේ යන අතරතුර එක් රජමාළිගාවකදී, චණ්ඩාල නායකයා වීණාවාදනයෙන් තම ශිල්ප දැක්වීමට ඉටා ගත්තේය. ඒ අනුව තමන්ගේ දියණිය පිටුපස තබාගෙන වීණාවාදනය කළේය. එයින් රජතුමා කෙතරම් කුල්මත් වීද යත්, ඔහුට සියල්ල අමතක කිරීමට තරම් එය රසවත් විය. සිය පියා පිටුපස සිටි ස්වර්‍ණතිලකා අවසරයක් බලා රජුගේ නෙතට නෙත ගැටීමට සැලස්වූවාය. එම කටාක්ෂ නිරීක්ෂණයෙන් රජු කෙතරම් කැළඹුනේද යත්, එය විදුළිය කෙටීමක් සේ ඔහුට දැනින. ඔහු නැවත ඇය දෙස බැලීය. ඇයද සෘජුව රජුගේ දෑස දෙස බැලීය. ඔහුට දැන් සංගීතය නෑසේ. ඇය මද සිනාවක් පෑවාය. ඒ දසන් රජු මුසපත් කළේය. රජතුමාගේ අවධානය තමන් වෙත රැඳුන බව දැනගත් ස්වර්‍ණතිලකා මඳක් සළුපට ඉවත් කර දසරුව පෙනෙන්නට සැලස්වූවාය. “හා.... මෙබඳු රූපයක්..” රජුට ඉබේ කියවින. දෑස් දැල්වින. වීණා හඬ දැන් රජුට නෑසේ. වීණා හඬ පමණක් නොව අවට සිටින මැති ඇමැති කිසිවෙකුද රජුට නොපෙනේ. ඔහුට පෙනෙනුයේ ස්වර්ණ තිලකා පමණි. ඔහු ඇය දෙස විශ්මයෙන් දෑස දල්වා ඇසිපිය නොහෙලා බලා සිටියේය. කාන්තාවෝ ලද අවස්ථාවෙන් උපරිම පල නෙලති. ස්වර්ණ තිලකා උත්පත්තියෙන්ම කාමයෙන් සෙස්සන් මෝහණය කරන්නීය. ඒ සසර පැතුමක් ඉටු වීමකි. ඇය රජතුමා තමන් වෙත තවත් ආශක්ත කරගැනීමට සිතා, තමන්ගේ ළය පෙදෙස මඳක් නිරාවරණය වන සේ සලුපට ගිලිහීමට සැලසුවාය. ඇගේ ළයමඬල ආසන්නයේ බබලන ‘ස්වර්ණ තිලකය’ ඔහු දුටුවේය. රජුගේ රෝම හර්ෂයෙන් උස්ව නැගින. සියලුම ඉඳුරන් අවසඟ වන්නාසේ දැනින. සිරුර පුරා විදුලියක් වැදුනාක් මෙන් හිරියක් පැතිර ගියේය. රජුගේ කට දැල්වින. ඇස දැල්වින. සිත සමාධිගත විය. ඒ වෙන අරමුණක නොව ස්වර්ණ තිලකාවන් කෙරෙහිය. රජුගේ දැහැන බිදුනේ සංගීත නාදය නැවතී සුලු වේලාවක් ගතවීමෙනුත් අනතුරුවය. සියල්ලෝම රජු දෙස බලා සිටී. ඔහුට සිහින් ලජ්ජාවක් වැනි හැඟීමක් ඇති විය. “මැය සස්වාමිකද, අස්වාමිකද?” රජු සිහිය එළවා ගත් පළමු මොහොතේම ඇසුවේය. “අස්වාමිකයි දේවයන් වහන්ස. එහෙත් අපි චණ්ඩාල ගෝත්‍රිකයෝ වෙමු.” ස්වර්ණ තිලකාගේ පියා යටහත් පහත්ව කීවාය. “අහෝ...” රජුගේ සුසුමේ හඬ රාජ සභාව පුරාම දෝංකාර දෙන්නට විය. රජු සිහසුනේ හිස තබාගෙන කල්පනා කළේය. මැය මගේ අග බිසව කර ගැනීමට හෝ අන්තඃ පුරයට එකතු කර ගැනීමට හෝ ඇයගේ කුලය බාදා කරයි. මා කෙතරම් අවාසනාවන්තයෙක්ද? මැය වන් කාන්තාවකගේ පහස නොලබන මගේ රජකමෙන්වත් , ජීවිතයෙන්වත් ඇති ඵලය කුමක්ද?.
5/9
රජතුමා තමන්ගේ කඩුව දෙස බැලීය. ස්පර්ශ කළේය. ‘නැහැ මා එවැනි තීරණයක් ගත යුතු නොවේ. එය මගේ රජකමට කැළලෙකි.’ රජු සිතුවේය. නැහැ, මිනිස්සු ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මිය යති. ප්‍රේමය නිසා මිය යති. කුළින් පැන, වස විෂ අනුභව කොට, ගෙල වැලලා, ගිනි වැද, මිය යති. ඇල්ම නිසාද, කාමය නිසාද, තෘෂ්ණාව නිසාද මිය යති. කාමයා නිසා සිදුවන පළමු මරණය මගේ නොවේ. රාජ සභාවේ සැමෝම සිදුවන්නට යන්නේ කුමක්දැයි බලා සිටියා මිස රජුගේ සිත සැනසවීමට ඉදිරිපත් නොවීය. රජ කෙනෙකු ඉදිරියේ නිර්‍භයව අදහස් ප්‍රකාශ කරන්නෝ කවරහුද?. එසේ නිර්‍භය වන්නේ නම් ඒ රජ බිසව පමණි. එහෙත් ඇයද මෙහිදී ඉදිරිපත් වේයැයි සිතිය නොහැකිය. මන්දයත්, රජතුමා දැවෙන්නේ කාම ගින්නෙනි. ඇය නොලැබීමේ ශෝක ගින්නෙනි. ඇයගේ රූපය කෙරෙහි පවත්නා රතිය හෙවත් ඇල්ම නිසාය. තෘෂ්ණාව නිසාය. එවන් කෙනෙකු ගේ සිත සනසවා ඇයට ඔහු ලබාදීමට කවරනම් භාර්‍යාවක් මනාප වන්නීද?. පරිත්‍යාගශීලී වන්නීද? ක්ෂණයකින් කොපුවෙන් කඩුව ඇදගත් රජතුමා ගෙල කපා ගත්තේය. මුලු රාජ සභාවේම, “අයියෝ..” යන හඬ නැගිනි. අනතුරුව ගල් ගැසුනාක් මෙන් හැමෝම මොහොතක් එදෙස බලා සිටියහ. තියුණු අසිපත් පහරින් වෙන්වූ කවන්ධය සිහසුන අසල වැටී දඟලා නිසල විය. මහ වෙදනාට එහි විත් කළ යුතු යමක් ඉතිරිවී නොතිබිණි. මෙම රජු පමණක් නොව, පඤ්ච මධුරා පුරයට යන අතරමගදී, රජ මාළිගා පහකදී, රජවරු පස්දෙනෙක්ම මෙලෙස ඇය නිසා සියතින් ගෙල සිඳගෙන මරු මුවට පත්වූහ. “මේ සිදුවීම් හරි ශෝචනීයයි දියණියනි.” පියතුමා කීවේ ඒ මරණ ගැන සිහිපත් කරවමිනි. “අපි කුමක් කරන්නද පියාණෙනි. ඔවුන්ට මා අවශ්‍යය. එහෙත් ඔවුන් කැමැත්ත දක්වන්නේ මගේ සිරුරට මිස මට නොවේ. මට ආදරය දන්වන්නේ නම් මගේ කුලය ඔවුනට ගැටලුවක් නොවිය යුතුය. බාධාවක් නොවිය යුතුය. මිය ගිය එකදු රජකෙනෙක් පිරිමියෙක් ලෙස එම නිසා මම නොපිළිගනිමි. ස්ථීර තීරණයකට එළඹිය නොහැකි ඔවුහු, තෝරාගත්තේද පරාජිතයෙකු පිළිසරණ ලෙස තෝරා ගන්නා මරණයයි. එඩිතරව එයට මුහුණ නොදුන්හ. කාන්තාවන් රුචි කරන්නේ එඩිතර පිරිමින්ට මිස ස්ථිර තීරණයක් ගත නොහැකි පුද්ගලයන්ට නොවේ. “මම ඔබ හා එකඟ වෙමි දියණියනි. දැන් අපි පඤ්ච මධුරා පුරයට ආසන්න වී සිටිමු. තව හෝරා කීපයකින් අපගේ රජතුමා පැවසූ උද්දාල බ්‍රාහ්මණයා සේවය කරන රජ මාළිගාවට සමීප විය හැකිය.” “ඔව් පියාණෙනි, අපි එහිදී බලමු නියම පිරිමියෙක් හමුවේවිද කියා.” ස්වර්‍ණතිලකා අධිෂ්ඨාන ශීලීව කීවාය. දෙහෝරාවකට පමණ පසුව ස්වර්‍ණතිලකා හා පියා රජ මැදුරට සම්ප්‍රාප්ත වූහ. තමන් පැමිණියේ කුමන දේශයේ සිටදැයි යන්න පළමුවෙන් ඔවුහු දන්වා සිටියහ. එසේම තමන් වීණා වාදනයෙහි පාරප්‍රාප්ත බවත් රජතුමා කැමැත්තේනම් වීණා වාදනය කළ හැකි බවත් කීහ. “මෙතරම් දුර ගෙවා තොප පැමිණියේ හැකියාවන් ඇති නිසා බව විශ්වාස කරමි. තොපගේ දක්ෂතාවයන් එළි දැක්වීමට අවසර දෙමි.” රාජ සභාවේ මැති ඇමති වරුන් හා නිළධාරීන් රැසක් සිටියත්, ඔවුන් කවුරුන්දැයි ස්වර්‍ණතිලකා නොදත්තාය. එහෙයින් අසල සිටියෙකුගෙන් උද්දාල බ්‍රාහ්මණයා කවරෙක්දැයි අසා දැන ගත්තාය. ඇගේ පියාණන් වීණා වාදනය කරන අතර ඇය ඔහුගේ පිටු පසට වී සුපරික්ෂාවෙන් සිටියේ අවස්ථාව එළඹි විටෙක බ්‍රාහ්මණයා දැලේ දාගැනීමටය. සවන් පිනන වීණා වාදනයෙන් මන්මත්ව සැවොම ඒ දෙස බලා සිටියහ. තම පියාගේ පිටු පසින් සිටි ස්වර්තණලකා වැඩි අවධානයකින් සිටියේ උද්දාල කුමන මොහොතක හෝ තමා දෙස බලනු ඇතැයි යන සිතු විල්ලෙනි. ඇගේ දෑස යොමුවී තිබුනේ ඔහු දෙසටමය. ඇගේ අපේක්ෂාව ඉටු විනි. ඔහු ඇය දෙස බැලුවේය.
6/9
ඇය කටාක්ෂ නිරීක්ෂණයෙන් ඔහුගේ දෑස බැද ගත්තීය. බමුණා ඒ නෙත් කැල්මෙන් කුල්මත් විය. එය ඒ තරම්ම කටාක්ෂය.දෙදෙනාගේ දෑස් එකිනෙක මොහොතක් ගැටී බද්ධවී තිබුනි. ඇය තමන්ගේ දසන් පෙනෙන සේ මද සිනාවක් නැගුවාය. මෙතෙක් කල් කාන්තාවන් දෙසවත් නොබැලූ උද්දාල බමුණා ඒ මන්දහාසයෙන් සම්පූර්ණයෙන්ම පරාජය විය. ඔහු මුවගට මඳ සිනාවක් පෑයේ සිතා මතා නොවේ. කාන්තාවක් සතුව මෙතරම් මනෝරම්‍ය සිනාවක් ඇතැයි ඔහු දැන ගත්තේ අදය. ඇගේ නෙත් කොනින් හෙලන බැල්ම, මුතුවන් දත් දෙපලින් විහිදෙන කාන්තිය, ඔහුගේ සිත් තුළ ඇති කළේ කිව නොහැකි ආකාරයේ හැඟීම් මාලාවකි. ඒ කෙරෙහි තමන් ආශක්ත වූයේ කුමක් නිසාදැයි ඔහුටම සිතා ගත නොහැකි විය. ඔහු විටින් විට ඇය දෙස බැලුවාය. ඇය ඔහුට ඒ හැම වෙලාවකම සිනාවකින් සංග්‍රහ කළාය. එසේ බලන මොහොතක ඇය අහම්බෙන් මෙන් ඇගේ සලුපට මදක් ලිහිල් කර ඔහුට තම සිරුරේ කොටසක් දැකීමට සැලස් වූවාය. රන්වන් කාන්තියෙන් දිදුලන එම සිරුර නැවත දැකීමේ රුචියක් ඔහුට පහළවිය. ඔහුගේ හැඟීම් තේරුම් ගත් ඇය කාටත් හොරා නැවත තමන්ගේ දසරුව ඔහුට ප්‍රදර්ශනය වීමට සැලස් වූවාය. දැන් ඔහු තමන්ට දැපනේ වැටී ඇති බව ඇයට පසක් වී හමාරය. එසේ වුවත් තමන්ගේ රූපය නමැති පාසයෙහි තවදුටත් ඔහු බඳවා ගත යුතුමය. තම සිරුරේ කාන්දම ඔහුට පෙන්වන තුරු ඇයට ඉවසුමක් නැත. කල් යල් බලා ඇය තම ‘ස්වර්ණ තිලකය’ ඔහුට පෙනෙන සේ සිරුරේ අදාළ කොටස නිරාවරණය කළාය. උද්දාලට සිහිය එළවා ගත නොහැකිවිය. මෙතරම් කාන්තියක්. අහෝ මැය දිව්‍යාප්සරාවක්ද?. මෙතරම් කාලයක් මා මෙවන් සුන්දරත්වයක් නොදුටුයේ කුමක් නිසාද?. අහෝ මැය මට ලබාගත නොහැකි වේද? මා ප්‍රතික්ෂේප කරාවිද? ඇය නොමැති වුවහොත් මට සිදුවන්නේ උන්මත්තකයෙක් වීමටය. කිහිරඟුරු වලකට පැන දිවිනසා ගැනීමටය. ඔහුගේ සිහිය විකල් විය. කවරෙකුගේ හෝ උපකාරය ලබාගත යුතුය. ඇය හා සංවාදයක යෙදිය යුතුය. මෙතැන සිටීම දුෂ්කරය. යැයි තමාටම කියා ගත් ඔහු තමන්ට අසනීප බව හඟවා රජතුමාගෙන් අවසර ගෙන එතැනින් පිටත්ව තම මන්දිරය කරා ගියේය. උද්දාල බ්‍රාහ්මණයා තමන්ගේ පාසයෙහි බැදුණු බව ස්වර්‍ණතිලකාවට පසක්වී හමාරය. තමන්ගේ ගමන් වෙහෙස අපතේ නොගිය බව ඇයට තේරුනි. ඇගේ මුවගට මඳ සිනාවක් නැගින. ‘හරි ගැහැණියකට අසුඋනොත් කුමන පිරිමියාද දමනය නොවන්නේ. මෙතෙක් කල් ඔහු ආයාසයෙන් දවටා ගෙන සිටි බොරුවේ සළුපිළි උනා දැමීමට හැකිවීම ගැන ’ ඇය සතුටට පත් වූවාය. නිවසට ගිය උද්දාල බ්‍රාහ්මණයා ඇඳිවතවත් මාරු නොකොට තම හිතාදරයන්, හා යහළුවන් කැඳවීය. “යහලුවන්, හිතවතුන්, අවශ්‍ය වන්නේ සැපේදී නොව දුකේදිය. මා දැන් මහත් දුකකට පත්වී සිටින්නෙමි. ගිනිගොඩකට වැටී සිටින්නෙමි. මේ දුක්ඛයෙන් මා මුඳවා ගැනීමට ඔබ උදව් කරන්නේ නැද්ද?” ඔහු ආයාචනාත්මකව ඔවුන් දෙස බැලුවේය. “සන්සුන් වන්න මිත්‍රය. සන්සුන් වන්න. ඔබ කුමන කරදරයකට වැටී ඇද්දැයි අපි නොදනිමු. ඔබ වෙනුවෙන් අපේ ජීවිතය පුදා හෝ පිහිට වෙමු. උපකාර කරමු. කරුණාකර ඔබේ දුක්ඛය අපට පවසන්න.” “හිතවතුනි. මම අද රාජමාළිගාවේදී ස්වර්ණතිලකා නම් තරුණියක් දුටුවෙමි. ඇගේ අධරයෝ බිඹුඵල වන්ය. නේත්‍රයෝ මුවන්ගේ ඇස් හා සමානය. දෙබැම දේදුනු සරිය. නැහැය රනින් කළාක් මෙනි. වත සඳ මඩල මෙනි. කේශ කලාපය අක්බඹරුය. දෙසවන් ස්වර්ණාලංකාරයෙන් අලංකෘතය. රන් රුවක් සේ සිරුර කාන්තිය විහිදවයි. ඇගේ ළ පැත්තෙහි දිලිසෙන තිලකයෙකි. ඇය මෙතෙක් මා රැකි කාන්තා විරෝධය සුණු විසුණු කළාය. ඒ සඳහා ඇය භාවිතා කළේ ඇගේ නෙත් නමැති ශරයන්ය. මද සිනා නමැති ගිනි සරය. “කළ්‍යාණ මිත්‍රයාණෙනි, ඔබ මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ආකාරයට බලාපොරොත්තු තබා නොගන්න. ඇය චණ්ඩාල කෙල්ලකි. උසස් කුළැත්තන් විසින් සේවනය නොකළ යුතු ස්ත්‍රියකි. ඒ අදහස අත් හරින්න. ඇය හා සහවාසයක් සිදුවුවහොත් ඔබගේ සියලු කීර්‍තිය ධනය, බලය, පිරිහී යනු ඇත. ඒ නිසා සිහියෙන් යුක්තව කටයුතු කරන්න.
7/9
“එසේ නොකියන්න මිත්‍රවරුනි,. මිණි කැටයක් මඩෙහි තිබුණත් එහි අගයෙහි අඩුවක් නොවන්නාක් මෙන්, මේ ස්වර්‍ණ තිලකාවගේ කුල ගෝත්‍රය කුමක් වුවත් ඇයගේ පඤ්ච කළ්‍යාණයෙහි කිසිදු අඩුවක් නොමැත්තේය. එම නිසා ඇය මා සරණ කර ගත යුත්තේමය. ඇය සස්වාමිකද අස්වාමිකද යන්න සොයාබලා අස්වාමික නම් මවෙත ලබා දීමට කටයුතු කිරීම ඔබගේ වගකීම වන්නේය.”යි බැගෑපත්ව කීයේය. යහලු මිත්‍රයෝ උද්දාල බ්‍රාහ්මණ පඬිතුමා වෙත කරුණාවෙන් ස්වර්ණ තිලකා කැඳවා ගෙනවුත් පාවා දුන්හ. එතැන් පටන් උද්දාල බමුණා රාජ සේවයට හෝ වෙනත් කටයුත්තකටවත් මන්දිරයෙන් එළියට නොබසින්නේය. ස්වර්ණ තිලකාවන් සමග නිවසේම වසන්නේය. උද්දාල බමුණාගෙන් අධ්‍යාපනය ලද රාජ කුමාරවරුන්ට මාස හතරක් තිස්සේ ගුරුවරයා හමුවීමට නොහැකි විය. ඔහු ඉගැන්වීමේ කටයුතුවලට නොපැමිණෙන හෙයිනි. ශිෂ්‍යයන්ගේ අක්ෂර, ලිඛිත, මිණිත, ආදී සියලුම කටයුතු ඒ නිසා මග නතරවිනි. පන්සියයක් පමණ රාජකීය හා ප්‍රභූ කුමාරවරු එක්ව, තම ගුරුවරයා එසේ නොපැමිණීමේ හේතුව සොයා බැලූහ. ඔවුනට එහිදී දැන ගැනීමට ලැබුනේ විවාපත්වූ ස්වර්ණතිලකාවගෙන් සුලු වෙලාවක්වත් ඉවත්වී සිටීමට ඇති නොකැමැත්ත නිසා එසේ සිදුවන බවය. එවන් හසල දැණුමක් ඇති ගුරුවරයෙකුගෙන් ඉගෙණීමට ලැබීම වාසනාවක් සේ සැලකූ ශිෂ්‍යයෝ යම් හෙයකින් එම සේවය නොලැබ ගියහොත් ඒකාන්තයෙන්ම තමන්ගේ මුලු අනාගතයම අඳුරුවන බවද අවබෝධ කර ගත්හ. “අපි මෙයට කරන්නේ කුමක්ද?” ඔවුහු එක්ව සාකච්ඡා කළහ. “කාන්තාවක් නිසා අපගේ මුලු අනාගතයම අඳුරේ හෙලිය යුතු නොවේ.” එකෙක් කීය. “කාන්තාවක් නම් සොයා ගත හැකිය. එහෙත් අපේ ගුරුතුමා වැනි බහුශ්‍රැත පඬිවරයෙක් සොයා ගත නොහැකියි.” . තවකෙක් කීය. “මේ කාන්තාව විනාශ කර හෝ අපේ ගුරුතුමාගේ සේවය අපි ලබා ගත යුතුයි.” “අපි ඇයව මරා හංගමු.” “එසේ කිරීම රාජාපරාධයක් වේවි.” “මෙය ස්වභාවික හදිසි අනතුරක් ලෙස පෙනෙන ලෙස ඇය මරා දමමු.” ශිෂ්‍යයෝ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට එසේ තැත් කළහ. කිසිවෙකු ගුරුතුමා හමුවී කරුණු කාරණා සාකච්ඡාකර විසඳුමකට ඒමට යෝජනා නොකළහ. (රාජකීය පවුල්වල ප්‍රශ්න නිරාකරණය කරන්නේ එසේ විය හැකිය.) කෙසේ වෙතත් සාකච්ඡාවේ අවන් එකගතාවය වූයේ ඇතෙකුට රා පොවා ඔහු කුලප්පු කර එමගින් ඇයව මරා දැමීමටයි. ඒ සඳහා අත්ලස් දී සුදුසු ඇතෙක් හා ඇත්තලයෙකු තොරාගත්හ. “ගුරුතුමනි, බොහෝ කාලයක් ඔබ වහන්සේ නුදුටිමු. ඔබතුමා බැහැදැකීමට අප ආවෙමු.”යි රාජාංගන මිදුලට එක් රැස්වූ රාජකුමාරවරු උද්දාල බමුණාට පණිවිඩයක් යැවූහ. සිය ශිෂ්‍යන් හමුවීමට උද්දාල බ්‍රාහ්මණයා රාජාංගනයට ආයේය. ශිෂ්‍යයෝ ඔහුට ආචාර කළහ. “ගුරුතුමනි, ඔබ තුමාගේ නොදැකීම මෙන්ම අධ්‍යාපන කටයුතු මගහැරී යාමද අපට මහත් සිත් වේදනා දන වන්නකි.” “මම එය පිළිගනිමි සිසු දරුවනි. මගේ විවාහය නිසා එය අතපසු විය. “ගුරුතුමනි ඔබ වහන්සේගේ ප්‍රියම්බිකාවද දැකගැනීමට අපද කැමැත්තෙමු.”
8/9
මඳ සිනාවක් පෑ උද්දාල බමුණු තෙමේ සේවකයෙක් යවා ස්වර්ණතිලකාව රාජාංගනයට කැඳවාගෙන එන ලෙස කීවේය. ඔහු ගොස් ඇය කැඳවාගෙන එන අතරේ, ඇතරුවා විසින් රා පොවා මත් කළ ඇතා ඔවුන් ඉදිරියට මුදා හලේ අකුස්සෙන් ඔහුට ඇණ කෝප ගැන්වීමෙන් ද පසුවය. මහත් සේ කුඤ්ච නාදය පවත්වමින් ඇය ඉදිරියට ගිය හස්තියා ඇය දැක ඇගේ රූපශ්‍රියෙන් මත් විය. ඔහු ඇය ඔසොවා තම පිට මත තබා රාජාංගනයට රැගෙන ආයේය. තම උත්සාහය අසාර්ථක වූ කුමාරවරු ඊ ළඟ දිනයේදී වෙනත් උත්සාහයක් දැරූහ. එනම් හොර රහසේ ගුරුතුමාගේ මන්දිරයට දාමරිකයන් යවා, ඇය මරා දැමීමයි. එය සාර්ථක විය. තිරිසන් සතුන් පවා දමනය කළ ඇගේ රූ සපුවට මංකොල්ල කරුවෝ දමනය නොවූහ. ඔවුන් හිස නැමුයේ අල්ලසටය. මුදලටය. සිය ප්‍රියම්බිකාවගේ මරණය දුටු උද්දාල බ්‍රාහ්මණ තෙමේ හැඬුවේය. වැලපුනේය. විලාප දුන්නේය. මහපොළවේ පෙරලුනේය. පස් කෑවේය. හිස කෙස් කඩා ගත්තේය. මෙවන් විපතක් කළවුන්ට යහපතක් නොවේවායි සාප කළේය. හෙණ ඉල්ලීය. තමන්ගේ ජීවිතය නැති වූවාක් මෙන් ඔහුට හැඟින. ස්වර්ණතිලකාවන් නැති ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද? මේ ලෝකයම සිස් බවක් ඔහුට දැනින. පාලු බවක් දැනින. තනිකමක් දැනින. මුලු මන්දිරය පුරාම ඇගේ ප්‍රති බිම්බයන් දිසෙන්නට විය. ඔහු බිම වාඩිවී හිසට අත ගසාගෙන කල්පනා කළේය. තීරණයකට එළඹුනේය. මන්දිර භූමියේම දරසෑයක් ඉදි කරන ලද්දේ ඒ තීරණයට අනුවය. ඉන් පසු එයට ගිනි දල්වා මහා ගිනි ජාලාවක් වූ කල්හී එම දර සෑයට පැන මළේය. අහෝ කාමයා කෙතරම් බලවත්ද. කෙතරම් මිනිසුන් අසරණ කරන්නේද. බිළිදුන් කරන්නේද? (සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතා වස්තුව අනුසාරයෙනි. අනුසාරයෙනි.
9/9