එකඟතාව “කාරෙකේ වතුර පොඩ්ඩක් මදි වගේ. වතුර බෝතලයක් ගෙනත් දෙනවද” අප්පච්චි අම්මාගෙන් ඇසුවේය. අම්මා කතාවක් නැතුව වතුර බෝතලයක් පුරවා ගෙනවිත් දුන්නාය. අප්පච්චී බොනට්ටුව වසා විත් සාලයේ ටී.වී එක දමා ගත්තේය. “තේ එකක් බොමුද?” අප්පච්චී ඇසුවේය. අම්මා තේ ටිකක් වත්කරගෙන විත් අප්පච්චිට දුන්නාය. “ක්රීං.. ක්රීං ..ක්රීං ..ක්රීං..” ටෙලිපෝනය නද දෙන්නට විය. “අම්මා ටෙලිපෝන් එක වදිනවා.” චූටි දුව කීවාය. අම්මා ටෙලිපෝනයට උත්තර දුන්නාය. “ට්ලිං ට්ලිං.. ට්ලිං.ට්ලිං..” පියුං මහත්තයා ලියුම් ගෙනවිත් බෙල් එක නද දෙන්නට විය. “අම්මා ලියුං ඇවිල්ලා.” පොඩි පුතා අම්මට කීවේය.
1/4
“ ගිහිං ලියුං අරන් එන්ටකෝ පුතා.” අම්මා කීවාය. “අනේ මොකක්ද අම්මේ මං වැඩක්. අම්ම ගන්නකෝ.” පොඩි පුතා කීවේය. “අම්මේ වොෂින් මැෂින් එකට රෙදි ටික දානකොට මගේ රෙදි ටිකත් දානවද?” ලොකු අක්කා කාමරේ සිට ඇසුවාය. “ඇයි ඔයාට මොකද වෙලා තියෙන්නේ?” අම්මා විමසුවාය. “අනේ අම්මේ මම මේ ටියුට් එකක් හදනවා.” “අම්මා වතුර ටැංකිය උතුරනවා නේද. ඒක වහන්ටෝ.” ලොකුපුතා කාමරයේ සිට කීවේය. “ඇයි එළියට බැහැල ඒක වහන්ට බැරිද බෙරිහන් දෙන්නේ?” අම්මා ඇසුවාය. “අනේ අම්මේ මම මැච් එක බලනවා. අන්තිම ඕවර ටික.”
2/4
අම්මා සාලයට ආවාය. අප්පච්චි ටී.වී. එක බලමින් සිටියේය. “ඇයි යකඩෝ, හැම එකාටම වැඩ. මට විතරයි වැඩ නැත්තේ. මමත් ඉන්නේ වැඩක.” අම්මාද සාලයේ පුටුවක වාඩිවී පොතක් අතට ගත්තාය. අප්පච්චිට කාරණාව තේරුම් ගත හැකිවිය. ඔහු උස් හඬින් හැමෝටම ඇසෙන සේ කතා කළේය. “මම මේ කියන්නේ ඔක්කොටෝම. අම්මා උදේ ඉදලම ගෙදර වැඩ. ඔය ගොල්ලෝ තම තමන්ගේ වැඩ විතරක් නෙවෙයි, අනෙක් වැඩවලටත් උදව් කරන්න පුරුදු වෙන්න ඕන.” “ලියුම් ටික ගන්න අම්මට කතා කරන්න ඕන නැහැ. වතුර ටැංකිය වහන්න අම්මට කතා කරන්න ඕන නැහැ. ටෙලිපෝන් එක බලන්න අම්මට කතා කරන්න ඕන නැහැ. ඉස්සරවෙලාම ඇහිච්ච කෙනා ඒ වැඩේ කරන්න එපාය. අම්මත් මනුස්සයෙක්නේ. උයන්න පිහන්න, රෙදි හෝදන්න, බල්ලො බලලුන්ට කෑම දෙන්න, අතු පතු ගාන්න, බඩු මුට්ටු අස් පස් කරන්න, ගෙදර අඩු පාඩු බලන්න, කීයක් වැඩද.” අප්පච්චි අම්මගෙ පැත්ත අරන් කීවේය. “එතකොට අප්පච්චිට බැරිද තේ ටිකක් වක්කර ගන්න.” චූටි දුව පැත්තක සිට ඇසුවාය.
3/4
“පුලුවන්. පුලුවන්. මමත් අද ඉදල තේ ටික වක්කර ගන්නේ මමමයි. අම්මට කරදර කරන්නේ නැහැ. අප්පච්චි පුටුවෙන් නැගිට්ටේය. “ඕන නැහැ. ඕන නැහැ. ඔය ගොල්ලෝ ඒ වැඩ කරන්න ගියොත් එක දෙක කරලයි නවතින්නේ.” අම්මා හුන් තැනින් නැගිට්ටාය. අප්පච්චිත් අම්මා පස්සෙන් ගියේය. “ඇත්ත තමා නංගි, අම්මයි අප්පච්චියි කියන්නේ. අපිට කර ගන්න පුලුවන් වැඩ අපිම කරගමු. එතකොට අම්මට පහසුයිනේ.” “ඔව් අක්කේ අපි එහෙම කරමු.”
4/4