කපුටු සාස්තරේ. “අදනම් කවුරු හරි නෑදෑයෙක් ගෙදර එනවා.” අප්පච්චී ඉස්තෝප්පුවේ පුටුවේ ඉඳන් හිනාවෙලා කීවා. “ඒ කොහොමද කියන්නෙ අප්පච්චී?” මම ඇහුවා. “පුතාට පේනවා නේද අර කපුටෙක් කැරව් කරනවා. අර කොස් අත්ත උඩ.” “ඔව් ඒකා කෑ ගහන්නේ අමුතු විදිහට. ඔලුව පාත් කරල. උගුර යටින්.” “ඔව් පුතේ. ඔහොම කෑ ගහන එකට කියන්නේ ‘කැරැව් කරනවා’ කියල. ගේ දිහා බලාගෙන ගේ ඉස්සරහ කිරි ගහක හරි පැඟිරි ගහක හරි ඉදල, ඔය විදිහට කෑ ගැහුවොත් ගෙදරට නෑයෙක් එනවා කියල අපේ අත්තම්මා කියල දීල තියෙනවා.” “හොඳයි අක්කෙ ඔයා කියන්නේ කවුද අද අපේ ගෙදර එන නෑදෑයා.?” කුමාර අක්කගෙන් ඇහුවා. “මමනම් කියන්නේ මාතලේ නැන්දම්මා.” අක්කා කීවා.
1/2
“මමනම් කියන්නේ කැකිරාවේ ලොකු අම්මා.” කුමාර කීවා. “මේ.. මේ.. ඔය කයිවාරුව ඇති. අද කවුරු හරි එනව නම් ගේ අතු පතු ගාල තියන්න එපාය. ඔයගොල්ලත් එන්න මට උදව් කරන්න ගේ අස්පස් කරන්න.” අම්මා කීවා. කුමාරයි අක්කයි දෙන්නම අම්මට ගේ අස්පස් කරල පිළිවෙලට තියන්න උදව් කළා. “දැන් ඉතිං කපුටු සාස්තරේ හරිගියත්, වැරදුනත්, ගෙදර සුද්ධ පවිත්ර උනානේ” තාත්තා හිනාවෙලා කීවා.
2/2