“හොඳ දරුවෝ.” ඊයේ සෙනසුරාදා. අපි පන්සල් ගියේ බෝධිපූජාවටත් එක්ක. බෝධිය වටේ තාප්පය ලස්සනට හුණු පිරියම් කරල, ලයිට් දාල තිබුණා. වටේට පහන් පත්තු කරල. මල්වල සුවඳයි, හඳුන්කූරුවල සුවඳයි, එකතු වෙලා. මිදුලේ සුදු වැලි අතුරලා. “අප්පච්චි අර බලන්නකෝ, අර අයියයි අක්කයි.” “ඇයි පුතා?” “ඒ ගොල්ලෝ බෝධිබැම්මට කකුලක් තියාගෙන මොනවදෝ බර කතාවක. තීන්ත ගාපු බිත්තියේ මඩත් ගෑවෙනවා.” “ඔව් පුතේ ඒක හොඳ වැඩක් නෙවේ. බිත්තියේ මඩ ගෑවෙනවා වගේම, ඒකෙන් ඒ අයගේ හිතෙත් මඩ ගෑවෙනවා. කිළිටි වෙනවා. පන්සලක, ඉස්කෝලෙක ඉස්පිරිතාලෙක, පුස්තකාලෙක, වගේ පොදු තැන්වල හැසිරෙන විදිහක් තියෙනවා. පුංචි කාලෙ ඉදලම ඒව පුරුදු වෙන්න ඕන.” “මම ගිහින් කියන්ටද අප්පච්චි?”

1/2

“එපා පුතා. මම කියන්නම්. ඒත් සමහරු කියන දේවල් අහන්නේ නැහැ. බලමු ඒ අයට කියල.” අප්පච්චි ඒ අය ළගට ගියා. කරුණු පැහැදිළි කරල දුන්න. එතකොටයි ඒ අයට කරපු වැරැද්දේ බරපතලකම තේරුනේ. “අනේ අංකල් අපිට සමාවෙන්න. අපි අතින් ලොකු වැරැද්දක් උනේ.” දෙදෙනාම කීවා. “ඔයාල හොඳ ළමයි. වැඩිහිටියෙක් කියන දේවල් පිළිගත්තේ ඒකයි.” “අංකලුත් හොඳ වැඩිහිටියෙක්. අපි අතින් නොදැන කෙරිච්චි වැරැද්ද ගැන කරුණු කාරණා පහදල දුන්නේ ඒකයි. අංකල්ට ගොඩක් ස්තුතියි.” කියල දෙන්නම බෝධියට වැඳල සමාව ඉල්ල ගත්තා. අප්පච්චිටත් දන ගහල වැඳල අපිටත් හිනාවෙලා, එතැනින් ගියා. “ළමයින්ට හොඳ ගුණ ධර්ම පුරුදු කරන්න ඕන පුංචි කාලෙමයි. ඒ ළමයින්ට ඒ උපදේසයන් ලැබිල නැහැ. ඒකයි ඒ වැරැද්ද කළේ. හැබැයි ඒ ළමයි නරක නැහැ. ඒකයි වැරැද්ද නිවැරැදි කර ගත්තේ. ඔය ළමයිත් කවුරු හරි වැඩිහිටියෙක්, හරි වැරැද්දක් පෙන්නුවොත් ඒක අහක දාන්ට එපා.”අප්පච්චි කීවා. “ඔව් අප්පච්චි.” මමයි අක්කයි එකවරම කීවා.

2/2

- ආනන්ද මාරසිංහ -