අන්දරේගේ තර්ක බුද්ධිය. අන්දරේ කිසිවිටෙක පරාජය භාර ගත්තෙක් නොවීය. තම මතය සනාථ කිරීමට ක්ෂණිකව ඔහු උපක්‍රමයක් සොයා ගත්තේය. අදහසක් මවා ගත්තේය. එය කුඩා කල සිටම, සහජයෙන්ම ඔහුට ලද හැකියාවකි. කුඩා කාලයේදී ඉගෙණීමට ඔහු අකැමැති විය. එහෙත් දෙමාපියන් නිතරම ඔහුට එයට බල කළේය. දිනක් පියාත් නිවසේ සිටින විටෙක තමන්ට බත් අනා කවන ලෙස මවට කීවේය. අම්මා බත් කටක් ඇනුවාය. “ඔක්කොම එකට අනන්ට අම්මා.” අම්මා බත්පිඟානම එකට ඇනුවාය. “අම්මේ දැන් ආපහු බතුයි වෑංජනයි වෙන්කරල දෙන්න.” “එහෙම වෙන් කරන්න බැහැනේ පුතා.” අම්මා කීවාය. “මේ පුංචි මම කියන දෙයක්වත් කරල දෙන්න අම්මලාට බැරිනම් මම කොහොමද අම්මලා වගේ ලොකු අය කියන කියන දේවල් ඉගෙන ගන්නේ.” ඔහු විමසුවේය.

1/4

“හරි හරි.. උඹ ඉගෙන ගන්න ඕන නැහැ. උඹට ඕන දෙයක් කර ගනින්. මීට පස්සෙ මම උඹට කරදර කරන්නේ නැහැ.” එය අසා සිටි තාත්තා කීවේය. කෙසේ නමුත් පසු කාලයේදී අන්දරේ රජමාළිගාවේ තනතුරක් ලබා ගත්තේය. රජුට විශ්වාසවන්ත විය. දිනක් රජතුමා මාළිගාවේදී අන්දරේට මෙසේ කීවේය. “රජකෙනෙකුට කරන්ට බැරිදෙයක් නැහැ අන්දරේ. උඹත් ඊ ළඟ ආත්මෙවත් රජෙක් වෙන්ට ප්‍රාර්ථනා කරපන්.” “මුසා දොඩන්ට එපා රජතුමනි. ඔහොම හිතාගෙන හිටියට ඔබවහන්සේට ළමයෙක් කියන දෙයක්වත් කරන්න බැහැ.” “මොනව අන්දරේ. මට ළමයෙක් කියන දෙයක්වත් කරන්න බැහැ. මම නුඹේ හිස ගසා දමනවා, මා අවතක්සේරු කළාට.” “සමාවන්න දේවයන් වහන්ස, මම එය ඔප්පු කර පෙන්වන්නම්.” “වහාම ඒ බව ඔප්පු නොකළහොත් තොපගේ ජීවිතයට තිබෙන ආසාව අත්හල යුතුයි.”

2/4

“හොඳයි දේවයන් වහන්ස, මා ළදරුවෙකු යැයි සිතනු මැනවි. එසේ සිතා සේවකයෙකු ලවා මා නාවනු මැනවි.” රජතුමා ඒ කටයුතු සූදානම් කළේය. අන්දරේ අමුඩයක් ගසා නාන ළිඳ ළඟ වාඩි විය. රජතුමා හා රාජ පුරුෂයෝ ඔහු වටා ආයුධ සන්නද්ධව සිටියහ. එක් රාජ පුරුෂයෙකු අන්දරේ නෑවීය. වතුර කළ ගෙඩි දහයක් පමණ නෑවු පසු ඇගෙහි කොකුම් තවරන ලෙසට අන්දරේ කීවේය. රාජපුරුෂයෝ එසේ කළහ. නැවත නෑමට වාඩි විය. රජතුමාද පසෙකට වී බලා සිටියේය. වතුර කළගෙඩි කීපයක් නාවන විට කොකුම් දියවී ගියේය. නෑවීම නැවැත්වූ අන්දරේ රජු ඇමතීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට කළ නොහැකි දෙයක් නැතැයි පැවසුවා. හැකිනම් මගේ ඇගෙහි ගල්වා දියවුණු කොකුම් ටික නැවත ලබාදෙනු මැනවි.” “ඒක දියවෙලා ගියානේ අන්දරේ. ඒවා ආපහු ගන්න බැහැ.” “ඒක තමයි දේවයන් වහන්ස මම ඔබ වහන්සේට කීවේ, රජෙක් උනා කියල හැම දෙයක්ම එයාට කරන්ට බැහැ කියලා. පුංචි ළමයෙක් කියන දෙයක්වත් කරන්න බැරි අවස්ථා තියෙනවා කියල මම කීවේ ඒකයි.”

3/4

“හරි හරි අන්දරේ උඹ දිනුම්. උඹ තමයි දවසකටවත් මිනිහ.” රජතුමා පරාජය භාරගෙන සිනාසිසි මාළිගයට ගියේය. අවට සිටියවුන් අමතා අන්දරේ ආඩම්බරයෙන් මෙසේ කීවේය. කොකුමඟරා සඳුන් ඇඟ ගල්වා නෑම රජමැති බිසෝවරු කෙරුවා හැමදාම මුරසෙබලුන්ගෙ රැකවරණය පිට මේම නෑවද උඹල- කොහොමද මගෙ රජ නෑම

4/4

- ආනන්ද මාරසිංහ -