සිදුහත් උපතයි. මායා විපතයි. “අනේ ප්‍රජාපතී නැගෙණියනි, අපි මේ සාල වනෝද්‍යානයේ මොහොතක් නැවතී සිට යමු.” “අපි පරක්කු වෙන්ට නරකයි මායා අක්කණ්ඩි. මහරජතුමා නියෝග කළේ කිසි තැනෙක ප්‍රමාද නොවී දෙව්දහ නුවරට යන්න කියලයි.” “ඔව් මහරජතුමා පරිවාර සෙනගටත් නියෝග කළේ එහෙම තමයි. එහෙත් මගේ දරුප්‍රසූතිය සඳහා වෙදදුරන් දුන් දිනයට තවත් සති දෙකකට වඩා වැඩි කාලයක් තියෙනවා. අනෙක අපේ ගමන් වෙහෙස නිවා ගන්ට සුලු වෙලාවක් මෙහි නැවතී සිට යමු. මහරජතුමා විමසුවොත් අපි පළතුරු පානයක් සදහා සුලු වේලාවක් නැවතුනු බව පවසමු.” “මායා අක්කණ්ඩි, ඔබ තුමියගේ දොළ සංසිදවා ගැනීම සදහා මෙවැනි මුසා බිණීම නුසුදුසු බවයි මට සිතෙන්නේ.” “එය මුසාවක් නොවෙන්න අපි මෙහිදී පළතුරු යුෂ පානයක් ගමු.” මහමායා සිනාසී කීවාය.

1/16

“අක්කණ්ඩි සිනාසෙන්න එපා. අපි මහත් අවදානමක් දරාගෙනයි මේ ඉන්නේ.” ප්‍රජාපතී කීවාය. පිරිස මලින් බර සල් ගසක් යටට ගියේ එහි විහිදුනු ශාඛාවන්ගෙන් සූරිය තාපය බිම පතිත නොවී තිබුණු හෙයිනි. රාජකීයයන්ගේ අදහස දැනගත් කාරිය භාර ඇමැතිවරයා වහා එහි අවශ්‍ය පහසුකම් සැලසීය. රන් සිවිගෙයින් බිමට බට මායා දේවිය ගැඹුරු හුස්මක් ඉහළට ඇද්දාය. ඇගේ ගත වෙලී තිබුනේ සැහැල්ලු කසී සළු වලිනි. ඇගේ කුස ඉදිරියට නෙරා තිබුණි. ඇය ගමන් කළේද තරමක් අසීරුවෙනි. බොහෝ වෙලාවක් රන්සිවි ගෙහි වාඩිවී සිටි නිසා ඇතිවූ හිරිය වලක්වාගනු සදහා මායා බිසව සෙමින් සෙමින් සක්මන් කළාය. කුඹුක් ගසක් යට තිබූ දිය කඩිත්තකින් මුව දොවා ගත් මායා දේවිය දෑඟිළිවල තිබූ දිය බිඳක් ප්‍රජාපතීගේ මුහුණට විද සිනාසුනාය. සල්මලින් බරව පහතට නැමී තිබුණු සල් අත්තක් දුටු මායා දේවිය එයින් මලත් කඩා දෙන ලෙස සේවිකාවකට කීවාය. සේවිකාව අත්ත පහත් කළ විට මායා දේවියම මලක් කඩා ගැනීමට මඳක් ඉහළට එසඋනාය.

2/16

“ඔහ් .. මගේ උකුල.” සල් අත්ත අතහැරි මායා දෙවිය ඉණට අත තැබුවාය. වහාම පරිවාර කාන්තාවෝ ඇය වටකර ගත්හ. මහවෙදනාද වහාම පැමිණියේය. වින්නඹු මාතාවෝද ඇය වටකර ගත්හ. “හොඳින් හුස්ම ගන්න බිසවුනි. බිය විය යුතු නැහැ. ඔබතුමියට පීඩාවක් ඇති වන්නේ නැහැ. තව හෝරා දෙක තුනකින් අපිට දෙව්දහ නුවරට යා හැකි වේවි.” “ඔව් ඔබතුමියගේ ප්‍රසූතියට කල් වේලා තිබෙන නිසා මෙය එක්වරම ඉඑළට එසවීම නිසා ඇතිවූ, වෙනත් අතුරු ආබාධයක් විය හැකියි. අපි ඒ සඳහා යම් වේදනා නාශක පානයක් ගමු. ඖෂධ ස්වල්පයක් ආලේප කරමු. මහ වෙදනා වින්නඹු මාතාවන්ට හා මායා බිසවට ප්‍රකාශ කළේය. “මෙය දරු ප්‍රසූතිය සඳහා පූර්‍ව වේදනාවක් වුවත්, ඇයගේ ප්‍රථම දරු ප්‍රසූතිය නිසා පැය කීපයක් ගතවේවි. ඒ කාලය ඇතුළත අපට දෙව්දහ නුවරට යා හැකි වේවි. කෙසේ වෙතත් මේ තත්වය අපි මහරජතුමාට දන්වා යවමු.” ප්‍රධාන වින්නඹු මාතාවද කීවාය. මහමායා බිසව යම් අපහසුතාවයකින් පෙළෙන බව දක්නට ලැබුණි. දෑලයේ සිට වේදනාවක් පහළට ගමන් කරන බවක් ඇය වින්නඹුවට කීවාය. වින්නඹුව මහ වෙදනාගේ මුහුණ දෙස බැලීය. තත්වය තමන් සිතුවාට වඩා වෙනස්වී ඇති සෙයක් ඔවුනට දැනින

3/16

“ඇයි එහෙම උනේ?” මහ වෙදනා වින්ඹුවගෙන් විමසුවේය. “ගමන් වෙහෙසත් ඇඟිළි තුඩුවලින් එසවී සාල පුෂ්පයන් නෙළීමට තැත් දැරීමෙන්, කුස පහතට තෙරපීම නිසා මෙය වන්නට ඇති.” “ඒ කෙසේ වෙතත් අපි දැන් ප්‍රසවයට සූදානම් විය යුතුයි.” මහ වෙදනා කීවේය. කාර්‍ය්‍ය භාර ඇමැතිවරයා සහ වගකිව යුතු නිළධාරීහු වහා ක්‍රියාත්මක වූහ. සල් ගස වටා ආවරණ තිර සකස් විය. බිසවුන් වහන්සේට ඒ තුළ සුව පහසු යහනාවක් සකස් කෙරින. දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය කටයුතු වහ වහා සකස් විය. මහ වෙදනා හැර සියලුම පුරුෂ පාර්ශ්වය එතැනින් බැහැර කරන ලදී. හැමදෙනාගේම මුහුණු බැරෑරුම් බවින් යුතු විය. අශ්වාරෝහකයෙක් දෙව්දහ නුවරටද, තවත් අයෙක් කිඹුල්වත් නුවරටද පිටත් කර හරින ලද්දේ මේ තොරතුරු දැන්වීමටය. මායා බිසව අසීරුවෙන් පියවර තැබුවාය. ඇයට එක තැන සිටිය නොහැකි විය. ප්‍රජාපතීද ඇගේ සෙවනැල්ල මෙන් ඇය අසලම වූවාය.

4/16

“අක්කණ්ඩි බිය විය යුතු නැහැ. කුසේ සිටින්නේ මහ පිනැත්තෙකු බවයි හැමෝම පවසනුයේ. ඒ නිසා ඔහු කිසි උපද්‍රවයක් නැතිව බිහිවේවි.” ප්‍රජාපතී කීවාය. “අනේ ප්‍රජාපතී මට ටිකක් වෙහෙසයි. ඇය පහත්වී තිබුණු සල් අත්තක් තදින් ග්‍රහණය කර ප්‍රජාපතියගේ ගතට බර දුන්නාය. ප්‍රජාපතී ඇයගේ උරිස්සෙන් අල්ලා ගත් අතර වින්නඹු මාතාවෝ වහා ඇයව වත්තන් කර ගත්හ. “ඉක්මනට ඇය යහනට ගන්න. ඇය යහනට ගන්න.” මහ වෙදනා කලබලයෙන් පැවසුවේ ඇගේ අවදානම් තත්වය තේරුම් ගනිමිනි. “ඉක්මනින් වස්ත්‍රයක් ගන්න. ඇයට ප්‍රසූතිය සිදුවෙනවා. ඇයට ප්‍රසූතිය සිදුවෙනවා.” වින්නඹුවෝ කලබලයට පත්ව ඇය යහනට ගැනීමට වෙහෙසුනහ. “ඇය වෙහෙසවන්න එපා. සිටින ඉරියව්වෙන්ම සිටිද්දි දරුවා නිරුපද්‍රිතව ගන්න. බිම පතිත වීමට ඉඩ නොදෙන්න. ඉන්පසුව ඇය යහනට ගන්න.” මහ වෙදනා බැරෑරුම් ලෙස කීවේය. අනපේක්ෂිත ආකාරයෙන් එහෙත් නිරුපද්‍රිතව කුමරා බිහිවිය

5/16

හෝරාවක් ගතවීමට මත්තෙන් සුදොවුන් රජතුමා එතැනට සැපත් විය. ඔහු පුතු සහ මව සුවසේ සිටිනු දැක ඉමහත් සතුටට පත්විය. “දෙව්දහ නුවරට යනවට වඩා ආපහු කිඹුල්වතට යාම සුදුසුයි. හෝරා දෙකකින් එහි ළඟා විය හැකියි. දෙව්දහ නුවරට යන්නේනම් හෝරා හතරක්වත් ගතවේවි. එය බිසවුන් වහන්සේටත් පුංචි කුමරුවාටත් වෙහෙස ගෙන දෙන්නක්.” රජතුමා පැවසීය. කිසිවෙක් එබසට විරෝධතාවයක් නොදැක්වූහ. සෙමින් ගමන් කිරීම නිසා තරමක් වෙලා ගත වුවත් සන්ධ්‍යාව එළඹීමට පෙර සුදොවුන් මාළිගයට ඔවුහු ළඟා වූහ. මුලු කපිලවස්තු පුරයම මංගල සිරියෙන් ඇළලුනේ සුදොවුන් රජ පවුලට පින්වත් කුමරෙකු ඉපදීම හේතුවෙනි. සුදොවුන් රජතුමාගේ නියෝගයෙන් සතර වාහල්කඩම දුගී මගී යාචකයන්ට දන්සැල් පැවැත්වේ. නගර මධ්‍යයේ තවත් දන්සැලෙකි. ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන්ටය. මාළිගාව අභ්‍යන්තරයේ අග බිසොවුන් වහන්සේ වෙනුවෙන් වෙනම උපහාර උත්සවයකි. ඊට සහභාගි වූයේ පවුලේ සමීපතමයින් පමණි.

6/16

“අපේ මහරාජෝත්තමයාණන් වහන්සේටත්, බිසවුන් වහන්සේටත්, පුත් කුමරුවන්ටත්, දේවාශීර්‍වාද ලැබෙන්න ඕන.” දන්සැලට පැමිණියවුන් ආසිරි පැතූහ. “කුමාරයා මහ පින් ඇත්තෙක්ලු නේ.?” “ඔව්. ඊයේ මහ ආශ්වර්‍යයන් වෙලාලු නේද?” “ඔව්. ඒවා ඇත්තද දන්නේ නැහැ. අපට ආරංචි විදිහට උපන් වෙලාවෙම බිමට බැහැල පියවර හතක් ගියාලු.” “ඔව් අපටත් එහෙමයි ආරංචි. ඒ පියවර තියනකොට නෙළුම් මල් හතක් පිපුනලු. අන්තිම නෙලුම් මල උඩ ඉඳල, ‘මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යේෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. මීට පස්සෙ නැවත උපදින්නේ නැහැ.’ කියලත් කීවලු.” “අපටත් එහෙම තමයි ආරංචිය. ඒත් ඒක වෙන්න පුලුවන්ද.? ඉපදිච්ච ගමන් ඇවිදින ඒවයි, කතා කරන ඒවයි, කවුරු හරි පතුරන මුසා වෙන්නැති.” “මුසා බස් පැතිර වීමෙන් ඇති ඵලය කුමක්ද යාලුවා. ඊයේ අහසෙත් පොලවේත් ගංගා ඇල දොළවලත් විශේෂ වෙනස් කම් උනා ඔබ දුටුවද?”

7/16

“ඔව්.. ඔව්.. මතකයි. මතකයි. මම හිතුවේ ඒක මගේ මනෝ විකාරයක් කියලයි. මම කාටවත් ඒ ගැන කිව්වේ නැහැ.” “ඔබට ඇහුනද මහපොළවේ යම් කම්පා වීමක් වගේ සිදුඋනා.” ඒ අසා සිටි තවකෙක් කීය. “බලාපුවහම මේ විශේෂ සිදුවීම් හැමදෙනාටම දැනිල තියෙනවානේ.” “ඔව් ඒ නිසා ඇවිද්ද කතාවයි, නෙලුම් මල් පිපිච්චි කතාවයි, කතා කරපු කතාවයි. අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ.” “ඔව් එහෙම වෙන්ට පුලුවන්. මහ පින්වන්ත කුමාරයෙක් කුසේ ඉන්නවා කියලනේ කිය කියා හිටියේත්.” “ඒක වෙන්ට පුලවන්. නැත්නම් අපට අද මේ විදිහට කෑම බීම සමග තෑගි භෝගත් හම්බ වේවිය.” “ මේවා යම් අනතුරක පූර්‍ව නිමිති වෙන්න බැරිද?”

8/16

“වෙන්ටත් පුල්වන් . නොවෙන්ටත් පුල්වන්. ඒ උනාට කිසිම කෙනෙකුට කිසිම හානියක් වෙලා නෑනේ. එයා පින්වන්ත කුමාරයෙක් වෙන්නැති.” සුදොවුන් රජමාළිගයේ මීට දින කීපයකට පෙර තිබුණු මංගල සිරිය හදිසියේම අතුරුදන්වී ඇති සෙයක් පෙනේ. මාළිගාවෙන් ඇසෙන්නේ ඉතා දුක්මුසු පුවත්ය. “දැන් මොකද අභ්‍යන්තර මාළිගාවේ තත්වේ?.” සේවය මාරුවී යන එක් ආරක්ෂක භටයෙක් අනෙකාගෙන් විමසීය. “ආරංචි විදිහට නම් සතුටු දායක නැහැ. මහමායා බිසවුන් වහන්සේට අසාධ්‍ය බවයි කියවෙන්නේ.” “මහ වෙදනාත් උපරිමයෙන් මහන්සි වෙලා හොඳින් ප්‍රතිකාර කරනවානේ. එයා නුසුදුසු නම් වෙනත් රාජ්‍යයකින් හරි දක්ෂයෙක් ගෙනල්ලා බේත් කරන්න එපාය.” “අපේ මහ වෙදනා ගැන එහෙම කියන්න එපා. එයා මේ රටේ ඉන්න දක්ෂතම වෛද්‍යවරයා. අනෙක එයාගෙ උදව්වට තවත් වෙදවරු ගණනාවක්ම එකතු වෙලාත් තියෙනවා.” “දැන් ඉතිං මොකද වෙලා තියෙන්නේ?”

9/16

“මේවා කටින් කට යන එකත් හොඳ නැහැ. අපේ ඥාති දියණියක් අභ්‍යන්තර සේවිකාවක් විදිහට මාළිගාවේ සේවය කරනවා. ඇය ඊයේ සවස අපේ නිවසට ආවා . අපේ බිරිඳ සමග ඔය ගැන කතා කළා. මම එතැනට ගියේ නැහැ. කාන්තාවන්ගේ කතාවක්නේ. ඒත් මම අහගෙන හිටියා.” “ඉතිං මොකද කියන්නේ.?” “තත්වෙ හොඳ නැති බව තමයි කියන්නේ.” “මොකද ඒකට හේතුව?”. ඔහු වට පිට බැලුවේය. රහසින් මෙන් අනෙකාට කතා කළේය. “මේව අපෙත් බොටුව ගහල යන කතා. ඔබ විශ්වාස කරලයි මම කියන්නේ.” “මම කටේ කෙළ බිඳක් බිම හෙලන්නේ නැහැ.” “පුංචි කුමාරයා උපන්නේ ලුම්බිනි උයනෙනේ. එදා බිසවගේ දරු ප්‍රසූතිය සිදු උනේ අඩු පහසුකම් යටතේ. ඉරියව්වත්

10

අස්වාභාවිකනේ. එදා වැඩි රුධිර වහනයක් වෙලා තියෙනවා. ඒක මේ අය වහගෙන තියෙනවා.” “ඉතිං?” “ප්‍රසූතියෙන් පැයකට හමාරකට පස්සේ ආපහු මාළිගාවට එක්කන් එනකොටත් බිසවගේ සුවපහසුව එතරම් සැලසුනේ නැහැ. ඇගේ රුධිර වහනය ඒ වෙලාවෙත් තිබිල තියෙනවා. එහෙත් යා යුතු නිසාත්, අතරමග නොරැඳිය හැකි නිසාත්, ආපසු සුදොවුන් මාළිගාවටම පැමිණියා. ඇගේ ශාරීරික දුර්වලතාවයට ඒකත් හේතුවෙලා.” “රජ මාළිගාවේ හැමදෙනාටම එය ප්‍රීතිදායක අවස්ථාවක්. ඔවුන් රටපුරාම ප්‍රීති උත්සව සංවිධාන කළා. පහුවදා මාළිගාව ඇතුලෙත් උත්සවයක් සංවිධානය කළා.” “ඒත් ඒ උත්සවය හෝරාවක් පමණ කාලයක්නේ තිබිල තියෙන්නේ.” “ඔව්, හෝරාවක් වුවත් මහමායා බිසවුන් වහන්සේ එයට සහභාගි උනානේ. මුලින් අකැමැති වුවත්, සුදොවුන් රජුගේ පෙරැත්තය නිසයි ඇවිත් තියෙන්නේ. ඇය පැමිණියේ සර්වාභරණයෙන් සැරසිලා. ඒවා පැළඳගැනීමටත්, ඉවත් කිරීමටත්, සෑහෙන වෙලාවක් ගත වෙනවා.”

11/16

“මමත් ඒ උත්සවයේ රාජකාරියට ගියා. බිසවගේ මුහුණේ තිබුණෙ වෙහෙසකාරී බවත්. බමුණෝ හෝම පූජා පවත්වන විටත් ඇය සිටියේ අපහසුවෙන්.” “ඉතිං ඔය උත්සවේ නොකර ඉන්නනේ තිබුනේ.” “අපි එහෙම කිව්වට ඒවා සම්ප්‍රදායික උත්සවනේ. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියල.” “මේ සියලු අවිවේකයන් නිසා ඇය අසනීප වෙලා තිබෙනවා. යම් සංකූලතාවයකුත් ඇතිවෙලා තියෙනවා. වෙනෙකක් තබා ඇයට කුමාරයාට කිරිදීමේ අපහසුතාවකුත් ඇති වෙලා තියෙනවා. ඇඟ රත්වෙලා. කිරි ගල් වෙලා. කිරිමව්වරු බොහොම අසීරුවෙන් තමයි කිරි පොවල තියෙන්නේත්.” “දැන් මොකද අලුත් තත්වේ.?” “අපට ශෝක ජනක පුවතක් අද හෙටම අසන්න ලැබේවි. මාළිගාවේ ධජය අඩ කුඹු වේවි.” මාළිගාවේ රාජකීය ධජය අඩකුඹු විය.

12/16

වෙනදා ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් පිරුණු සුදොවුන් මාළිගාවේ සියලු දෙනාගේ මුහුණු මැළවී තිබුණි. ගස්වැල්වල පවා තිබුණේ ගුප්ත නිහැඩියාවකි. වෙනදා සතුටින් කූජනය කරන කුරවි කෙවිල්ලෝ අද සිය මධුරස්වරය වා ගැබට මුදා නොහැරියහ. සුදු වතින් සැරසුණු සේවක සේවිකාවෝ තමන්ට පැවරුනු රාජකාරිවල නිරත වූහ. මාළිගාවේ අභ්‍යන්තර සේවක සේවිකාවෝ රාජකීය අවමංගල්‍යයකදී අඳින විශේෂ ඇඳුමින් සැරසී සිටියහ. මේ කිසිත් නොදත් සිදුහත් කුමාරයා සිය දීප්තිමත් දෑස් ඇර වට පිට බැලුවේය. සිය ජීවිතයෙහි සිදුවී ඇති දුක්ඛතම අවස්ථාව ගැන ඔහුට වැටහීමක් නොවීය. “පව් අසරණ කුමාරයා. ඉපදිලා සත් දිනෙන් මෑණියන් අපවත් උනා.” අසල සිටි කිරිමවක් දුකින් පැවසුවාය. “නැහැ කුමාරයා අසරණ නැහැ. මම කුමාරයාට අම්මා වෙනවා.” ඒ ඇසූ ප්‍රජාපතී ගෝතමිය පැවසුවේ ඇඬුම් බරවය. ඇගේ දෙතොල් වෙවුලුවේය. සිය සහෝදරිය අද අවසන් ගමන් යන බව වැටහුණු ඇය සිදුහත් කුමාරයා අසලට විත් ඔහුගේ රෝස පැහැති දිගු ඇගිළි ආදරයෙන් අත ගෑවාය. කුමාරයා ඇගේ මුහුණ දෙසම බලා සිටියේය. සුදොවුන් රජතුමාගේ හිස පහතට නැඹුරු වී තිබුණේය. ඔහු සිටියේ රාජාභරණයෙන් තොරවය. මහමායාගේ අවසන් කටයුතු

13/16

වෙනුවෙන් ඔහු සහභාගි වන්නේ මහරජු ලෙස නොව ස්වාමි පුරුෂයා වශයෙනි. මීට වසර කීපයකට පෙර මහමායා මේ රාජමාළිගාවට කැඳවාගෙන ආ හැටි ඔහුට මතක් විය. සිදුහත් කුමාරයා කුස පිළිසිඳ ගත් දිනයේ ඈ මහත් තෘප්තියෙන් එය තමන්ට පැවසූ ආකාරය ඔහුට මතක් විය. දින හතකට පෙර තමන්ට පුතෙකු දායාද කර මුලුරටම සැණකෙළි වෙස් ගැන්වූ ආකාරය මතක් විය. ඔහු ශෝකයෙන් ඇළලී ගියේය. දෑස කඳුළින් බරවිය. එය දරාගත නොහැකිව මුහුණ දිගේ ගලා හැලුනේය. ඔහුට මහ හඬින් හැඬීමට සිතින. ‘අනේ මගේ ජීවිතය තනි උනා. මගේ බලාපොරොත්තු සුන් උනා. ඇයි මාව මෙතරම් අසරණ කළේ මහමායා.’ ඔහු සිතින් කීවේය. රජ පවුලේ සැම දෙනාම සිටියේ ශෝක භරිතවය. කිසිවෙක් මහමායා බිසව මෙසේ අකලට මිය යාවියැයි සිතුවේ නැත. මහමායා බිසවගේ දෙන රාජාංගනයේ විශේෂ පීඨිකාවක තැන්පත්කර තිබුණි. මුරායුධ රැගත් සෙබලු සතර දෙනෙක් ඒ වටා බිමට පහත් කරගත් හිසින් යුතුව සිටියෝය. රජ පවුලේ සමීපතම ඥාතීහු දේහය වටා සිටියහ. අලුත උපන් බිළිඳා කිරිමව් වරුන් භාරයේ තබා ප්‍රජාපතී ගෝතමියද පැමිණ

14/16

සිටියාය. ඇගේ දෙනෙත් රත් පැහැ වී තිබුනේ ඊයේ රාත්‍රී සිට හැඬීම නිසාය. කිසිවක් ආහාරයට නොගත් නිසාය. හෝම පූජාවෙන් පසු ප්‍රජාපතී ඉක්මන් ගමනින් අලුත උපන් බිළිඳා වෙත ගියේ ස්නානය කිරීමෙන්ද අනතුරුවය. ඇමැති මැතිවරු හා ශ්‍රේෂ්ඨි කුලවල ප්‍රභූහු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීහුද පසෙක අසුන් ගෙන සිටියහ. රාජ විථියෙහි හා රාජ්‍ය ආයතනයන්හී රාජකීය ධජ අඩකුඹු කර තිබුනේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහාය. හෝම පූජාවන්ට පැමිණි බමුණු පඬිවරු ස්තෝත්‍ර ගයන්නට වූහ. ගින්නට ගිතෙල් වත්කරමින් දෙවියන් වෙත ඇගේ ආත්මය බාර ගන්නා ලෙස ආයාචනා කළහ. ආගමික චාරිත්‍රවලින් අනතුරුව දේහය මහත් පෙරහැරින් ආදාහන ස්ථානය කරා ගෙනගියේය. මහජනයා මග දෙපස රැඳී බිසවට ගෞරව දැක්වූහ. ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ ගගෙහි පාකර හරින ලද්දේ ඇයගේ ආත්මයට විශුද්ධියක් ලබා දීමේ අරමුණෙනි. මහා බලවතෙකු සේ සිතා සිටින තමන් කෙතරම් අසරණ වී ඇත්දැයි සුදොවුන් රජුට සිතුනි.

15/16

‘මගේ බිසවගේවත් ජීවිතය රැක ගැනීමට නොහැකි රජකමෙන් ඇති ඵලය කුමක්ද?’ “මෙය ශෝක ජනක අවස්ථාවක් තමයි සොයුර. එහෙත් අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි. අපි රථයට නගිමු.” ධෝතෝදන හා ශුක්ලෝදන දෙසෝවුරන් සුදොවුන් රජුගේ දෙපසින් සිටගෙන සෙමින් කීවෝය. සුදොවුන් රජු රූකඩයක් සේ ඔවුනට අවනත විය.

16/16

- ආනන්ද මාරසිංහ -