අන්දරේගෙ බිරිඳගේ මරණය.. අන්දරේට උගන්නන්න තාත්ත කොච්චර උත්සාහ කළත් ඒක හරිගියේ නැහැ. ඉගෙනීම පැත්තක දාල එහෙම ආපු වෙලාවක තමයි තාත්ත පුතාව ගහේ බැඳල ගැහුවේ. එදා ‘තාත්ත ඕන දෙයක් කියාපුදෙන්’ කියල අන්දරේ බැම්මෙන් ලිහල බේරගත්තේ අම්මා. අම්මගේ හදවත උනු උනේ මෙන්න මේ කවිය අහල. අසමානේ අම්මේ මේ අහපන්නේ නොතෙමා මා මෙතැනින් අහකට ගන්නේ. බුසමානේ තල්පත ගෙන ඉසලන්නේ ගැටමානෙට ගෙනගොස් මා ඇරලන්නේ. ‘අම්මයි පුතයි ඕන දෙයක් කරගනිල්ලා’ කියල, තාත්තා ඊට පස්සෙ අන්දරේට සාස්තරේ උගන්නන්ට ගියේ නැහැ. අන්දරේට හිටියා අක්ක කෙනෙක්. මේ අක්කගෙ කසාදෙ කරනකොට අන්දරේත් ඉලන්දාරියා. ටික කාලයක් යනකොට එයාගෙ හිතටත් එක එක ආල හැඟුම් එන්න පටන්ගත්තා. ගෑනු ළමයි දැක්කම හිතට මොකක්දෝ අමුතු හැඟීමක් ආවා. හිත හිරිවැටිල යනවා වගේ හැඟීමක්. ඒත් ඉතිං ඒක කාට කියන්නද අම්මට තාත්තට කියන්ටත් ලැජ්ජයි. අන්දරේ ටිකක් මොළේ කල්පනා කළා. එයාට අදහසක් පහළ උනා.

1/5

දවසක් රාත්‍රී කෑම කාල නින්දට ගියාම අන්දරේ අම්මටයි තාත්තටයි ඇහෙන්න මෙන්න මේ විදිහට කීවා. “පල ඇත්නම් වවුලොත් එල්ලෙති ලේනු රුව ඇත්නම් අපටත් බහදෙති ගෑනු ඇසින් එන කඳුළු පිස දමමින් මූණු ඉතින් මොටද මේ වයසට නැති ගෑනූ” අන්දරේගේ කවියෙන් අඟවන්නේ මොකක්ද කියල අම්මටයි තාත්තටයි තේරුනා. මොකද ඒ අය බබ්බුය. ඉතිං අම්මයි අප්පච්චියි කපු මහත්තයෙකුට කියල, අන්දරේට කෙලි පොඩ්ඩක් බැලුව. ඒකිගෙ කියන්ට තරම් වරදක් නැහැ. අන්දරෙත් එක්ක ගියා, එයාගෙ කැමැත්ත බලන්ට. අන්දරේ ඉහටත් උඩින් කැමැති උනා. කේන්දර බැලුවා. විසිපොරොන්දම් වලින් දහඅටක්ම හරි. දැන් ඉතිං එයා ගෙදරට එක්කන් එනකල් අන්දරේට හදිස්යියි. හැමවෙලාවෙම, හැමතැනම, පෙනෙන්නේ එයාගෙ මූණ. හිනාව. ලස්සන ගමන බිමන. කතාව. දිග කේස කලාපය. මැවි මැවී පේනවා. ඉතිං අන්දරේ එයාගෙ මනාලිය හම්බවෙලා තමන්ගේ අසනීපය ගැන මෙහෙම කීවා.

2/5

“වතට ලවනතට නුඹ බලන බැල්මට වරළට ගෙලට නළලට නාසිකාවට ගමනට බසට නුඹහට ලොබ කළ මෙමට කුමකට කියමි නිදි නැත රැය තුන් යමට” අන්දරේගේ අසනීපයම තමන්ටත් වැළඳිලා තියෙන බව ඇය කීවා. දෙමාපියෝ කසාදය ඉක්මන් කරල, දෙන්නගෙම අසනීප හොඳ කරල දුන්න. දෙන්න දෙමහල්ලෝ වැඩි කල් නොගොස්ම තුන්වැන්නෙකු ලැබීමට තරම් වාසනාවන්ත වූනා. අලුත මෙලොව දැකීමට එන බිළිඳාගේ මුහුණ දකින තුරු ඔවුනට ඉස්පාසුවක් නැතිවයි උන්නේ. කුළුඳුල් දරුවා ලැබීම සඳහා, අන්දරේ බිරිය දෙමාපියන්ගේ නිවසට ඇරලුවා. ඒත් තම බිරිඳ නොදැක සිටීමට නොහැකි වූ අන්දරේත් හැමදාම එහේ ගියා. ඇගේ අත අල්ලාගෙන තමන්ගේ පාලුව ගැන කියන අතරෙම ඇගේ හිතේ බය අහක් කරන්ටත් සැනසිලි වචන කීවා. ඇගේ හිස අත ගෑවා. ඇගේ කුසට සෙමින් අත තියල බැලුවා. කන තියල බැලුවා. දරුවා දඟළන හැටි ඇය ඔහුගේ අත බඩට තියල පෙන්නුවා. එහෙත් හදිසියේ ඇයට දරුවා ලැබෙන්ට අමාරු උනා. වින්නඹු අම්මා ගෙදරට ගෙන්නුවා. අවට වැඩි හිටි කාන්තාවන් කීපදෙනෙක්ද ඇයගේ අත් උදව්වට එක් උනා. පිරිමි කීපදෙනෙක්ද අවශ්‍ය වුවහොත් සුදානමින් මිදුලේ ඇනබාගෙන සිටියා.

3/5

නිවස ඇතුළේ කලබලය අන්දරේගේ සිතට ගෙනාවේ බියක්. කාන්තාවෝ කලබලෙන් කරන කතාවයි, ගෙහි එහෙ මෙහෙ ඇවිදින හැටියි අන්දරේ තවත් අපහසුවට ලක් කළා. පැය ගණනක් ගෙතුල තිබූ කලබලය වැඩි වූවා මිසක් අඩු උනේ නැහැ. ගෙයින් එළියට ආපු අම්මා අන්දරේට කීවේ ඉක්මනින් වෙද මහත්මයා එකතු කරගෙන එන ලෙසට. අන්දරේ ගියා නොවේ ඉගිලුනා. එයා පස්සේ තවත් කෙනෙකු ආවා. අන්දරේ වෙද ගෙදරට ගිහින් වෙද මහත්තයාත් කැටුව ඒමට කරත්තයට නගිනකොටයි පස්සෙන් ආපු එක්කෙනා හති දාගෙන ගෙදරට ගොඩ උනේ. වැඩි වේලාවක් යන්ට ඉස්සරවෙලා ලෙඩා හිටපු තැනට වෙද මහත්තයා ආවා. හැමෝගෙම මුහුණුවල තිබුනේ දුක්මුසු බවක් හා අවිනිශ්චිත පෙනුමක්. අම්මා කඳුළු පුරෝගෙන සිටියා. වෙද මහත්තයා ගේ ඇතුළට ගියා. වින්නඹු අම්මාත් ගියා. වෙන කිසිම පිරිමියෙකුට ඇතුළට යන්න දුන්නේ නැහැ. අද වගේ එදා වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තිබ්බේ නැහැ. වෙද මහත්තයා වැදුම් ගෙයින් එළියට ආවේ සුන් වූ බලාපොරොත්තුවෙන් හා නවාගත් හිසින් යුතුව.. එයා වචනයක් වත් කතා කළේ නැහැ. අන්දරේ ළඟට ගියා. උරිස්සට අත තිබ්බා. ඔහුගේ මුහුනේ පැවැත්තේ ශෝකී බව එහෙමම තිබුණා.

4/5

“එයා ගෙනාව ආයුෂ එච්චරයි අන්දරේ.” “අනේ මගේ රත්තරන් දෙයියෝ ..” අන්දරේ හිස අත් බදාගෙන එතැනම වාඩි උනා.. ගේ ඇතුලෙන් ඇසුනේද එයටම නොදෙවෙනි අදෝනාවක්. ඒ අම්මා. දරුවා බිහි නොකරම අන්දරේගේ බිරිද අවසන් ගමන් ගියා. ඒක කරුමෙද අවාසනාවද දෛවෙද කියන්ට දන්නෙ නැහැ. සිය ප්‍රියම්බිකාවගේ අවසන් කටයුතු ඉතා උසස් අන්දමින් කළ අන්දරේ හත්දොහේ දානයද එහිදීම දුන්නා. දාහක් බලාපොරොත්තු පුරවාගෙන ගමෙන් ආ අන්දරේ අද ආපසු ගෙදර යන්නේ හිස් අතිනි. හුදෙකලාවය. ඒ දුක කෙසේ නම් දරා ගන්නද? හිතේ දුකට මේ කවිය ඔහුගේ මුවින් නික්මුනේ ඒ වෙලාවේ. “මන් හොද තරුණ සුරතල් කතකුත් ලබාලා උන්නෙමු සතුටු සයුරේ අපි ගිලීලා රන්කඳ අනේ මගෙ අද පස් යට කරාලා මන් අද යන්නෙ කොහොමද පිය නගාලා”

5/5

- ආනන්ද මාරසිංහ -