අලියට උඩින් ගිය උරුළෑවා. රජ්ජුරුවෝ දවසක් රටවැසියන්ගේ තොරතුරු බලන්න ගම්දනව්වල සංචාරයක් ලෑස්ති කළා. මැති ඇමැතිවරුත් මේකට සහභාගි කරවගත්තා. අන්දරේත් රජ්ජුරුවන්ගේ නියෝගය මත ඒකට සහභාගි උනා. අද වගේ ඉතිං ප්‍රධාන මාර්ගවල විතරක් නෙවෙයි, ගම් දනව්වල අතුරුමාර්ගවලත් රජ්ජුරුවෝ ගියා. එතුමා ගියේ ඇතා පිට. ගම් තියෙන තැන්වලදී එතුමා මිනිස්සු හම්බවෙලා තොරතුරු, දුක් කරදර, අඩුපාඩු ගැන අහල බැලුවා. කෙටිකාලීන, මැදිකාලීන, දිගුකාලීන, විසඳුම් ලබා දුන්නා. ඔය යන අතරමගදී තරමක ලඳු කැලෑවක් මැඳිනුත් රජ්ජුරුවෝ ඇතා උඩින් ගියා. රජතුමා ඒ යන අතරෙදි ගහක කොලයක් කඩල, ඒක නහයට අල්ලලා බැලුවා. ඊට පස්සෙ මහ ඇමැතිට දීල කීවා, “බලන්න මහ ඇමැති, මේකෙ උරුළෑ ගඳයි නේද” කියල. “එසේය දේවයන් වහන්ස, අනිවාර්යයෙන්ම මේ උරුලෑවෙක් ගිය පාරක් තමයි . ඒකයි ඒ ගඳ.” කියල ඒකෙ සුවඳ බලපු මහඇමැති තුමා කීවා. “අනෙක් අයටත් දෙන්න, මොන ගඳද කියල බලන්න” රජතුමා කීවා.

1/4

ඒ අනුව හැමදෙනාම ඒක නහයට කරල බැලුවා. “එසේය දේවයන් වහන්ස. උරුළෑ ගඳම තමා. මේ උරුළෑවෙක් ගිය පාරක්.” හැමෝම කීවා. තවත් කොලයක් කඩල දුන්න. ඒකත් අර විදිහටම කළා. හැමෝම කීවේ එකම කතාව. ඒ කියන්නේ ඒ කොලේ උරුලෑ ගඳයි කියන එක. “අන්දරේ.. මේ කොලේ ඉඹල බලල කියන්න මොන ගඳද කියල.” රජතුමා අන්දරේටත් කීවා. අන්දරේ කොලය ඉඹල බැලුව. හිනා උනා. “මොකද අන්දරේ හිනාවෙන්නේ.” රජතුමා ඇහුවා. “අනේ සමාවන්න දේවයන් වහන්ස, මේ කොලේ උරුළෑ ගඳක් නම් එන්නේ නැහැ.” “එහෙනං.”

2/4

“දේවයන් වහන්ස මට සමාවන්න. ඔබවහන්සේ කියන හැම දෙයක්මත්, මේ ඇමැති වරුන් හැමදෙනාම කියනදේත්, දේව වාක්‍ය විදිහට පිළිගන්න බැරිවීම ගැන. මෙහි උරුළෑ ගඳක් වහනය වෙන්නේ නැහැ. අනෙක් කාරණය දේවයන් වහන්ස, අලියෙකුට වඩා උස උරුළෑවෝ ඉන්න රටක් තිබෙනවාද. මේ හැමදෙනාම කියන්නේ මුසාවාද විය හැකියි.” රැළි යට දිය රැගෙන යන තෙප්පම් ඇද්ද කෙළියට නමුත් කී කල බොරු පව් නැද්ද නිරිඳුට අනුව පවසති බොරු කර සුද්ද ඇතෙකුට උඩින් යන උරුළෑවොත් ඇද්ද. අන්දරේගේ කතාවෙන් මැති ඇමැති වරුන්ගේ මුහුණු රතු උනා. රජ්ජුරුවෝ ඇමැති වරු දිහාට හැරුනා. “රජකෙනෙකුට ඇමැති මණ්ඩලයක් පත්කරන්නේ රජු කරන කියන හැමදේම හරි කියන්න නෙවෙයි. රජුන්ටත් වරදින්ට පුලුවන්. එවැනි අවස්ථාවක නිවැරැදි කිරීමයි ඔවුන් කළ යුත්තේ. මහජනයාට පීඩාකාරී යමක් කෙරෙනකොට ඒ පිළිබඳව නිවැරැදි උපදෙස් හා මග පෙන්වීම ඔවුන් කළ යුතුයි. එසේ නොමැතිව තාන්න මාන්න බලාගෙනම, ලාබ ලෝබ බලාගෙනම ඇමැති මැතිකම් ආරක්ෂා කරගන්න බොරු නොකිව යුතුයි. බොරු නොකළ යුතුයි.” රජතුමා ඇමැති වරුන්ට අවවාද කළා.

3/4

“අන්දරේ කියපු කාරණය මම පිළිගන්නවා.උරුළෑවා ගසකට නැංගා වෙන්න පුලුවන්. ඒත් අප යන පාරදිගේම ගස් කොළංවලම අග්ගිසි හැම එකකම යයි කියල හිතන්න පුලුවන්ද” කියල අන්දරේට ප්‍රසංසා කළා.

4/4

- ආනන්ද මාරසිංහ -