රුහුනේඋතුරු කරවිට කියන ගමේ තමයි සෝණ කුමාරයා උපන්නේ. චූටිකාලෙ ඉදලම එයාගේ ස්වරූපය වෙනස්. දවසට දෙකට එයා පුෂ්ඨිමත්ව හැදුනා. වාසනාවට අම්මටත් හොදට කිරි තිබුනා. බඩගාන්න දනගාන්න පුලුවන් කාලෙ ඉඳලම දෙමාපියන්ට එයාගේ අමුතු ශක්තියක් පෙනුනා. ඇවිදින්න පටන් ගන්න කාලෙම ගෙයි තිබුණ බඩු මුට්ටු එයා එහාට මෙහාට අදිනවා. සමහර ඒවා වැඩිහිටියන් පවා එහාට මෙහාට කරන්නේ අමාරුවෙන්. අවුරුදු හතර පහ වෙනකොට පොඩි පොඩි ගස් ගල් පවා පෙරලන්න ගලවන්න පුලුවන් ශක්තියක් එයාට ඇති උනා. අවුරුදු පහළොව දාසය වෙනකොට පොල් පුවක් ගස් හොලවලා ගෙඩි කඩන එක එයා විනෝදයට කළා. සමහර ගස් තල්ලු කරලා ගලවලා දැම්මා. යාලුවෝ දහපාළොස් දෙනෙකුට කරන්න බැරි වැඩ එයා කිසිම මහන්සියක් නැතුව තනියම කළා. එයාගේ මේ හපන්කම් කාවන්තිස්ස රජ්ජුරුවන්ටත් ආරංචි උනා. රජතුමා දෙමාපියන්ට තෑගි බෝග ගොඩක් හා ගම්වරයකුත් දීලා සෝණ තමන්ගේ යුද හමුදාවට බඳවා ගත්තා. රජතුමා රජ මාළිගාව ආසන්නයේම ගෙයක් එයාට පදිංචියට දුන්නා. ඒ විතරක් නෙවේ, එක් එක් දවසට කළ යුතු වැඩ රාජකාරි ගොඩක් එයාට පවරලත් දුන්නා. දුටු ගැමුණු කුමාරයාගේ සේනාපතිවරයෙකු ලෙසත් පත් කළා. දුටුගැමුණු කුමාරයා රජකමට පත්වෙලා එළාර රජු සමග සටන් කිරීමට ගියාට පස්සේ, සටන් පෙරමුණේ මුලින්ම හිටපු කෙනෙක් තමයි සෝණ සෙනවියා. විජිතපුර සටනේදී, එයා ඒක වටේ බැදල තිබුණු ආරක්ෂක බැම්මෙන් ඇතුළට පැනල, තල් ගහක් උදුරාගෙන ඒකෙන් සතුරන්ට පහර දුන්නා කියලත් කියනවා. අනුරාධපුරය නැවත අල්ලා ගත්තට පස්සේ, දුටුගැමුණු රජතුමා ඇති කළ ශාසනික දියුණුවට එයත් ගොඩක් උදව් කරල තියෙනවා. මහාසෝණ රිටිගල ජයසේන නමිනුත් හඳුන්වනවා. ඒකට හේතු උනේ එයා රිටිගල කන්ද වාසස්ථානය කරගෙන සිටි නිසා. එයා අතින් ගෝඨයිම්බර සෙනවියාගේ බිරිදට අගෞරවයක් වීම නිසා ඒ දෙන්නා අතර ගැටුමක් ඇතිවෙලා තියෙනවා. රජතුමාත් ඒ ගැටුම නවත්වන්න උත්සාහ කළත් ඒක හරිගිහින් නැහැ. සටනෙදී ගෝඨයිම්බර එල්ල කළ පා පහරකින් ජයසේන යෝධයාගේ හිස කඳින් වෙන්වෙලා ඈතට විසිවී ගිහින් කරඳ ගහක රැඳිල තියෙනවා. අද කැකිරාවේ ‘ඔලුකරඳ’ කියල කියන්නේ ඒ ගමට කියල පැරැන්නෝ කියනවා. එදා ජයසේන යෝධයාගේ ජීවිතය බේරා ගැනීමට සෙනසුරා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් ඔහුගේ හිස නියමිත කාලය ඇතුළත සොයා ගැනීමට අපොහොසත් වෙච්චි හන්දා වලසෙක්ගේ හිසක් කපාගෙන ඇවිත් ජයසේන යෝධයාගේ කඳට සවිකර තියෙනවා. ඒත් කලබලයට එය සවිකර තිබෙන්නේ හිස අනිත් පැත්තට හැරෙන විදිහට. ඒ අනුව මහසෝන් යක්ෂයා විදිහට එයා ඉපදිලා තියෙනවා.
1/1