අන්දරේ කරපු අල කලංචියක්. අන්දරේ පළමුවරට රජතුමා හමුවීමට මහනුවරට පැමිණියේ භික්ෂූන් වහන්සේලා සමඟ බව අපි කලින් දවසක කීවා. ඒ නිසාම අන්දරේ හාමුදුරුවරුන්ට ගෞරවයක් තිබුණා. කවටකම් කරන්ට ගියේත් නැහැ. ඒත් මේ ළඟදී ළඟපාත පන්සලක සිද්ධවෙන්ට යන කාරණාවක් ගැන අන්දරේට හිතවතෙකුගෙන් දැනගන්න ලැබුණා. එයා කතාව කීවේ මෙහෙම. “අන්දරේ, අපේ අල්ලපු ගමේ සල්ලිකාර වෙළෙන්දෙක් හිටියා. එයා මරුණා. ඒකෙ තුන්මාසෙ දානෙ අනිද්දා.” “ඔව් ඉතිං කෙනෙක් මැරුණම දානයක් දීල පිං අනුමෝදන් කරන්ට එපාය. ඒකනේ අපේ සිරිත.” අන්දරේ කීවා. “ඔව්. ඒක ඇත්ත අන්දරේ. ඒත් ඒ පන්සලේ හාමුදුරුවෝ මහ කපටිකමක් කරනවා. ඒ වෙළෙන්දගේ පුතා රවට්ටලා.” “මට තේරුනේ නැහැ. ඒ මොකක්ද.?” “මේකයි. ඒ වෙළෙන්දා මරණාසන්න වෙලාවේ කැවුම් කන්න ආසාවක් හිතිලා. ඒක පුතාට කියලා. ඉතිං ගෙදර හාල් දියේදාල, කොටල, කැවුම් හදල දෙන්ට වෙලා යන හන්දා මෙයා සේවකයෙක් යවල තියෙනවා වෙළඳපොළට කැවුම් ගේන්න. ඒත් කැවුම් අරන් එන්ට ඉස්සර වෙලා

1/7

වෙළෙන්ඳා මැරිලා. මේක වෙළඳ පුතාට හරි හිත් වේදනාවක් උනා. එයා මේ කතන්දරේ හාමුදුරුවොත් එක්ක කියලා.” “ඉතිං.?” “කෙනෙක්ගේ අවසාන ඉල්ලීම ඉෂ්ඨ කරන්ට බැරි උනොත් ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමා. එහෙම උනාම එයාට සුගතියක උපදින්න හම්බවෙන්නේ නැහැ.” හාමුදුරුවෝ එහෙම කියලා. “ඉතිං හාමුදුරුවනේ මොකද අපි කරන්ට ඕන. අපේ අප්පච්චිට යහපතක් වෙනව නම් ඕනම දෙයක් කරන්න පුලුවන්.” වෙළෙඳ පුතා කියලා. “අපි මෙහෙම කරමු. අප්පච්චිගෙ අවසාන ඉල්ලීම ඉෂ්ඨ කරන්න ඕන හින්ද, අපි රත්තරනින් කැවුම් හදල, පිරිකර විදිහට හාමුදුරුවරුන්ට එක එක පූජා කරමු.” “අප්පච්චිට තියෙන ආදරය හින්දම පුතා එහෙම කරන්ට පොරොන්දු වෙලා. ඒ දානෙ තියෙන්නේ අනිද්දා.” මේ කතන්දරේ සහසුද්දෙන් අහගත්තට පස්සේ අන්දරේ මේ වැඩේට හොඳටම කේන්ති ගත්තා.

2/7

“මේ කරන වැඩේ අන්තිම නරකයි. මිනිස්සුන්ට කැමැති දෙයක් පූජා කරන්න නිදහස තියෙන්නෙ ඕන. මිනිස්සු කැමැති නම් ඒ අයගේ ගෙවල් දොරවල් ඉඩකඩම් හරක බාන ඔක්කොම පූජා කළත් කමක් නැහැ. ඒත් මේ වගේ කපටිකමින් මිනිස්සු රවට්ටන්ට හොඳ නැහැ. ආයෙත් ඒ වගේ වැඩ නොකරන්න මම හොඳ වැඩක් ඔය හාමුදුරුවරුන්ට කරනවා.” අන්දරේ කීවා. “මොකක්ද අන්දරේ කරන්නේ. හාමුදුරුවරුන්ට හිරිහැරයක් එහෙම කරන්න එපා. දානය නවත්තන්ටත් එපා. ඒක පව්.” “මම ඒක දන්නවා. කෙනෙක්ගේ දානයක් වලක්වලා, මට බල්ලෝ කපුටො වෙලා උපදින්නවත්, උකුස්සෙක් වෙලා උපදින්නවත්, හිඟන්නෙක් වෙලා උපදින්නවත් ඕන නැහැ. ඒත් මම හොඳ පාඩමක් උගන්වනවා. මමත් ඔය දානෙ ගෙදරට යනවා. උඹත් වරෙන්කෝ බලන්ට.” අන්දරේ හිත ඇතුලේ තිබුණු කෝපය පෙන්වන්නේ නැතුව හිනාවෙලා කීවා. නියමිත දවසෙ දානයට හාමුදුරුවරු වැඩියා. අන්දරේත් දානෙ ගෙදරට ගියා. එයත් දානෙ පිළිගන්වන වැඩවලට උදව් කළා. අන්දරේගෙ යාලුවත් ඇවිත් හිටියා. එයාට පුදුමයි හාමුදුරුවන්ට බැන බැන හිටපු අන්දරේත් දානෙ පිළිගැන්වීම ගැන. දානෙ ඉවරවෙලා පිරිකර පූජා කළා. හැම හාමුදුරුනමකටම රත්තරන් කැවුම් ගෙඩියක් පිරිකර විදිහට ලැබුනා. හාමුදුරුවෝ ඉහළින්ම මිය ගිය කෙනාට පිං අනුමෝදන් කළා. පිං අනුමෝදන් කළාට පස්සේ අන්දරේ ලොකු හාමුදුරුවෝ ළඟට කිට්ටු උනා.

3/7

“ස්වාමින් වහන්ස, මගේ අප්පච්චිත් නැති උනේ අද වගේ දවසක. මට ලොකුවට පිංකම් කරන්න විදිහක් නැහැ. මේ යන ගමන් ගිලන්පස ටිකක් වළඳන්ට, අපේ ගෙදරටත් වැඩම කරන්න. එතකොට මට පුලුවන් අප්පච්චිගෙ අවසන් කැමැත්ත ඉටු කරන්නේ නැතුව මගේ අතින් සිදුවූ වැරද්දත් නිවැරදි කර ගන්න.” යැයි ආරාධනා කළා. ලොකු හාමුදුරුවෝ ඉහළින්ම කැමැති උනා. යන ගමන් අන්දරේගේ ගෙදරටත් ගොඩ උනා. ගෙදර සුදු රෙදි එළල අසුන් පනවා තිබුණා ගිලන්පසත් ලෑස්ති කරලා තිබුනා. අන්දරේ ඒවාත් පිළිගැන්නුවා. ඉන් පස්සේ හාමුදුරුවන්ට මෙහෙම කීවා. “හාමුදුරුවනේ අපේ අප්පච්චිට ලොකු වාත අමාරුවක් තිබුණා. එයා මැරෙන්ට ඉස්සර වෙලා මට කතා කළා.” “අනේ පුතේ මේ වාත අමාරුව හරිම වේදනායි. රත්තරං කටුවක් හොයාගෙන ඇවිත් රත්කරලා මගේ මාපට ඇගිල්ල පුච්චපන්කෝ.” කියල කීවා. “ඒත් මං රත්තරං කටුවක් හොයාගෙන එන්ට ඉස්සරවෙලා අප්පච්චි මැරුණා. අර වෙළෙන්ඳාගේ අවසාන කැමැත්ත ඉෂ්ඨ කරන්න රත්තරන් කැවුම් ගෙඩියක් පූජා කළා වගේ, ඔබ වහන්සේලාගේ පයේ මාපටගිල්ල රත්තරන් කූරකින් පුච්චල මගේ සිත් වේදනාව අඩු කර ගන්ටත්, මගේ අප්පච්චි සුගතිගාමී කරන්ටත්, මට අවසර දුන මැනවි.”යි, අන්දරේ කීවා. අන්දරේ එහෙම කියල ගෙදර දොරවල් වහල දැම්මා. රත්කරපු රත්තරං කූරු කීපයක් ගෙන්වා ගත්තා.

4/7

“මොකද දායක මහත්තයා මේ කරන්න හදන්නේ. එහෙම කරන්න එපා.” නායක ස්වාමින් වහන්සේ ඇතුලු සියලුම දෙනා බැගෑපත්ව ඉල්ලා සිටියා. “බැහැ ස්වාමින් වහන්ස, අපේ අප්පච්චිගේ අවසන් ඉල්ලීම ඉටු කර ඔහු ස්වර්ගගාමි කිරීමට ඔබ වහන්සේලා මට සහය විය යුතුමයි.” අන්දරේ දැඩිව කීවා. “හරි අන්දරේ, මේ රත්තරං කැවුම් අපි ඔබට දෙන්නම්. අපට යන්න දෙන්න.” භික්ෂූන් වහන්සේලා අවසානයේ කීවා. “හොඳයි, එහෙමනම් ඒ සියල්ල මට දෙන්න.” යැයි කියු අන්දරේ කැවුම් සියල්ල ගෙන හාමුදුරුවරු නිදහස් කරල යැව්වා. භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම රජමාළිගයට වැඩම කර තමන්ට අන්දරේ කළ හිරිහැරය ගැන රජුට පැමිණිළි කළා. රජතුමා වහාම අන්දරේ මාළිගයට ගෙන්නුවා. නිදහසට කරුණු විමසුවා. “දේවයන් වහන්ස, මරණාසන්න මෙහොතේදී යමෙකුගේ ආසාවක් ඉෂ්ට කරගන්න බැරි වුවහොත් ඔහු දුගතිගාමි වන බවත්, ඔහු සුගතිගාමී කිරීමට නම් ඔහු කැමැති වූ දෙය භික්ෂුන්ට පූජා කළ යුතු බවත්, කියා මුන් වහන්සේලා වෙළෙඳ පුත්‍රයා රවටා රත්රන් කැවුම බැගින් වංචාවෙන් ලබා ගත්තා.”

5/7

“මගේ පියාත් එවැනි ආශාවක් ඉටු කරගත නොහැකිව මරණයට පත්උනා. ඒ ආශාව ඉටු කරදීමට නොහැකි වූ හෙයින් භික්ෂූන්ට එය පූජා කිරීමේ අරමුණින් පාදයේ මහපටඟිල්ල පිළිස්සීමට ඉල්ලා සිටියා. රත්රන් පූපය පිළිගත් මුන් වහන්සේලා මගේ පූජාව පිළිගැනීමට අකැමැති උනා. එකම බුදු දහම දෙදෙනෙකුට දෙවිදියකට ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ඔබ වහන්සේම විසඳා දෙනු මැනව.” යි අන්දරේ රත්රන් කැවුම් සියල්ල රජතුමාට පරිත්‍යාග කරමින් කියා සිටියා. ඒ කතාව හොඳින් අසා සිටි රජතුමා භික්ෂූන් දෙස හැරුණේය. “බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය ආත්මාර්ථය වෙනුවෙන් හරවා ගැනීම මහත් වරදක්. වැලිවිට තෙරුන් වහන්සේ උත්සාහ දරන්නේ මෙවැනි දුසිරිත් නවතාලීමට. මම මෙය උන්වහන්සේටද දන්වන්නම්. ආයෙත් මේ වගේ මහණකමට නොගැලපෙන දේවල් කිරීමෙන් ඔබ වහන්සේලාත් වලකින්න ඕන.” යැයි ස්වාමින් වහන්සේලාට අවවාද කළා. “අන්දරේ, තමනුත් කල්පනාවට ගන්න ඕන. නීතිය තමන්ට ඕන විදිහට අතට ගන්න බැහැ. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කටයුතුවලදී. ඒවා ගිහියන්ට සුදුසු දේවල් නොවේ. ඒවා මහවාසලට දැන්විය යුතුයි. මහවාසල ඒ සියල්ල සංඝාධිකරණය වෙත යොමු කරනු ඇති.” “මට සමාවන්න දේවයන් වහන්ස. නැවත මෙවැනි දේ නොකරමි. මම උන් වහන්සේලාගෙන් වැඳ සමාව ගනිමි.” යි අන්දරේ කීවා.

6/7

මාළිගාවේදීම අන්දරේ භික්ෂූන්ට වැඳ සමාව ගත්තා. අන්දරේවත්, භික්ෂූන්වත්, යළි එවැනි කටයුතු වලට සම්බන්ධ උනේ නැහැ. අන්දරේ මාළිගාවෙන් යන ගමන් අසල සිටි අයට ඇහෙන්ට මෙහෙම කීවා. යුක්තිය පසිඳන්න ගොස් අද වැරදිච්චි කොට්ටෝරුවගෙ වාගේ හොට පැටලිච්චි මහරජතුමා හොඳ හින්දා බේරිච්චි අද මම පැරදුනා මගේ බුදු අප්පච්චි

7/7

- ආනන්ද මාරසිංහ -