අන්දරේගෙ දෙවෙනි විවාහය. තමන්ගේ බිරිය අකාලයේ මිය යාම අන්දරේගේ සිතේ ඇති කළේ මහත් වේදනාවකි. නිවසේ සිටින විට හැමතැනම පෙනුනේ ඇගේ රූපයය. දැනුනේ ඇගේ සුවඳමය. ඇසුනේ ඇගේ හඬමය. ඇගේ ඇඳුම් පැළඳුම් දකිනවිටත්, ඇය භාවිතා කළ භාණ්ඩ දකින විටත්, හිතට දැනුනේ මහත් ශෝකයකි. තනිකමකි. අන්දරේගේ දෙමාපියන්ටද තම පුතා විඳින චිත්ත පීඩාව මහත් වේදනාවක් ගෙන දුනි. “පුතා ටික දවසකට කොහෙවත් ගිහින් හිටියොත් මොකද? ඔය දුක් කරදර අමතක වෙන්ටත් එක්ක”. දිනක් අන්දරේගේ මව ඇසුවාය. “කොහෙ යන්ටද අම්මා. කොහේ ගියත් එයා මගේ හර්දවස්තුවේ ඉන්නවා. එයා මගේ ළඟ ඉන්නවා.” “ඒක හරි පුතා. උඹ ඒ ළමයව අමතක කරන්න ඕන නැහැ. ලබන සතියේ අපේ ස්වාමින් වහන්සේලා කීපනමක් සෙංකඩගල නුවරට යනවා. ඒ හාමුදුරුවරු සංගරාජ හාමුදුරුවෝ අඳුරනවා. සංගරාජ හාමුදුරුවෝ රජතුමා අඳුරනවා. උඹ රජතුමා ළඟ සේවය කරන්න කැමැති නම් ඒ වැඩේ කරල දෙන්න පුලුවන්.” තාත්තා කීවේය.
1/6
අන්දරේ ඒකට කැමැති විය. ඔහු නුවර ආවේ එහෙමය. හාමුදුරුවන්ගේ හැදුනුම්කම නිසා රාජසේවයට බැඳීමටද අවස්ථාව ලැබුණි. පැමිණ ටික දිනකින්ම අන්දරේ රජතුමාගේ විශ්වාසය දිනා ගත්තේය. බොහෝ දෙනෙක් රජතුමාට සමීපවන්නේ ලාභ අපේක්ෂාවෙන් වුවත් අන්දරේ එසේ නොවන බව රජතුමාට වැටහුනේ පොකුණේ සිටි ගෙම්බා මරාදැමූ දවසේය. රාජකාරියෙන් බැහැරව විවේකයෙන් අවට සංචාරයේ යෙදුනු දිනෙක අන්දරේට රූමත් තරුණියක් හමුවිය. ඇයගේ රූපයෙන් මත්වූ ඔහු ඇය දෙස බලා මෙසේ කවියක් කීවේය. කොළඹ කලුතර අලුත්ගම් තොටමුනේ මාතර ගාල්ලේ වත් සබරගමු පුත්තලම උඩරට කොට්ටියාරම තොටමුනේ වත් සතර සත් කෝරලේ ඇතුලුව සියලු වැදි හත් පත්තූවේ වත් නුඹසෙ ලස්සන කතක් නොදුටිමි සතර වාසල් කොන් අටේවත්. ඔහුගේ කවියෙන් ඇය කුල්මත් වූවාය. ලජ්ජාවෙන් ඇඹරුනාය. ඇය ගැන මෙවැනි වර්ණනාවක් මින් පෙර කිසිවෙකු කර තිබුනේ නැත. දෑස යටින් ඔහු දෙස ආදරයෙන් බැලුවාය. ඒ බැල්මට අන්දරේ දැවී හලුවී නොගියා පමණි. “අනේ නිකං ඉන්ට අයියා බොරු කියන් නැතුව.” ඇය කීවාය.
2/6
ඇගේ රුවටම කටහඬද ගැලපේ. අන්දරේ ප්‍රබෝධයෙන් මත් විය. අලුත් පණක් ආවේය. ඔහු ඇගේ වං හුං ඇසුවේය. ඇය කීවාය. දින කීපයක් දෙදෙනා මෙසේ හමු විය. අන්දරේ තමන්ගේ අතීතය ඇයට කිවේය. තමන් මුලාවේ දැමීමට අන්දරේට සිතක් නැති බව ඇයට වැටහින. තමන්ගේ දෙමාපියන් හමු වෙන ලෙස ඇය ඔහුට කීවාය. අන්දරේ ඒ අනුව ඇයගේ නිවසට ගොස් දෙමාපියන්ද හමුවිය. තමන්ගේ අදහස කීවේය. ඔහුට රස්සාවක් තිබේ. රුව ගුණයෙන්ද අඩුවක් නැත. කෙලින් කතා කරයි. දෙමාපියෝ කැමැත්ත දුන්නේ, අන්දරේගේ දෙමාපියන් මනාපනම් තමන් අමනාප නැති බව පවසමිනි. එදින අන්දරේ රජ මාළිගාවේදී රජතුමා හමුවී මෙසේ කීවේය. කළඹක් තිබෙන රන්කෙඳි වැනිය පීරා බඳුනක් වගේ රන් - ඇඟ පතැති මෝරා අඟනක් දුටිමි නිරිඳුනි ගුණෙනි සාරා වරමක් යදිමි ඇය බැඳ ගන්න කාරා “උඹ කැමැති නම් මගෙ මොකද අන්දරේ.” රජ්ජුරුවෝ හිනාවෙලා කීවා.
3/6
මේ කසාදෙට අන්දරේගේ අම්මා තාත්තා විරුද්ද උනේ නැහැ. ඉහළින්ම කැමැති උනා. ඒ කැමැත්තත් ලැබුනයින් පස්සෙ වැඩි කල් නොගොස්ම අන්දරේ විවාහ උනා. ඒ විදිහටයි අන්දරේගේ දෙවෙනි කසාදෙ සිද්ධ උනේ. අන්දරෙයි බිරිඳයි දරුමල්ලෝ ලැබිල සතුටින් හිටියා. “ඔයා හැමෝටම කවි කියනවා. මටත් කවියක් කියන්නකෝ.” දවසක් අන්දරේගේ භාර්යාව කීවා. “ඇයි මං ඒ දවස්වල කවි කීවේ.?” “ඒ දවස්වල ඒවා නෙවෙයි දැන් කවියක් කියන්නකෝ.” අන්දරේ කවියක් කීවේය. හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි හෙරළිය වැන්න මොරනා තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා.
4/6
අන්දරේගේ කවිය අසා ඇය කෝපයට පත් උනාය. කෝපය දරාගත නොහැකිව හඬන්නට පටන් ගත්තාය. “නාඬන්න රත්තරන්. මම විහිලුවටනේ කීවේ.” කියා නැවත මෙසේ කීවේය. හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළ දෙනා ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා. ඇය කඳුළු අතරින් සිනාසුනාය. අන්දරේ මේ කවියද කියා ඇය සැනසුවේය. ඉඳුවර වන් දෑසම පාර පාරා මිණි මුතු වන් කඳුළැලි බේර බේරා පුන් සඳ වන් වත සොටු සූර සූරා ළඳ නොහඩන් මගෙ හද පාර පාරා
5/6
ඇය අන්දරේගේ ඇගට හේත්තු වී ඔහු ආදරයෙන් වැළඳ ගත්තාය. කුමන වැඩ රාජකාරි තිබුණත් අන්දරේ බිරිඟ සමඟ සමගියෙන් සහ ආදරයෙන් ජීවත් උනේය. ඇය අන්දරේ ගෙදර එනතුරු හැමදාම මඟ බලන් සිටියාය.
6/6