අපේ අසල් වැසියා වූ කලුඅප්පුගේ කතා ගොඩක් මං කියල දීල තියෙනවා. මේක තවත් එකක්. එයාට ගෙදර තිබිච්චි බරබාගෙන් බඩු වගයක් අරන් නාවුල පොලට යන්ට සිද්ධ උනා. ගමේ මිනිස්සුන්ට දඹුල්ල නගරයට යනවට වඩා ඒ කාලේ පහසු උනේ නාවුලට යන එක. විනාඩි පහලවෙන් විස්සෙන් එහාට යන්න පුලුවන්. දඹුල්ලට එහෙ ඉඳල ඒ කාලෙ බස් තිබුනේ නැහැ. පයින් එනවනම් කලෝගහඇල හරි, දඹුලුඔය හරහා හරි, තිත්තවැල්ගොල්ල පැත්තෙන් හරි, ආවත් පැයකට වැඩි වෙලාවක් යනවා. ඉතිං මෙයා කරත්තේ හරකත් බැදගෙන නාවුල ගියා. ඔහොම යනකොට, කරත්තේ තියෙන අඩුම කුඩුමත් ඇදගෙන, ගොනා යන්නේ අමාරුවෙන් බව කලුඅප්පුට තේරුනා. අනෙක් එක ඉතිං පාරවල් තොටවලුත් අද වගේ හොඳ මට්ටමේ තිබ්බේ නැහැනේ. දැං ඉතිං ගොනා සෙම දාගෙන කන්ද අදිනවා. කලුඅප්පුත් ඉතිං ගොනාට උදව්වක්
1/3
විදිහට පිටි පස්සෙන් කරත්තෙට ටිකක් තල්ලුවක් දානවා. ඒක ගොනාට පහසුවක්. ඒත් ඉතිං ඒක කලු අප්පුගේ හිතට මදි. එයා කල්පනා කළා මම කොහොමද ගොනාට උදව් කරන්නේ කියලා. එයා කන්දේ යන ගමන් ටිකක් කල්පනා කළා. එයාට හොඳ අදහසක් ආවා. කරත්තේ නැවැත්තුවා. “හිටපං පුතා, මට තේරෙනවා උඹ බොහොම අමාරුවෙන් කරත්තේ අදින්නේ කියලා. මම උඹට උදව් කරන්නම්.” කියල, කරත්තේ තිබුණු කුරක්කං ගෝනිය කරට ගත්තා. ඊට පස්සේ කරත්තෙට නැංගා. “දැන් හරි. උඹට බරක් නෑනේ දැන්. බර තියෙන්නේ මගේ කරේ.” කලු අප්පු කීවා. ගොනා මොනවා කරන්නද. කුරහන් ගෝනිය මදිවට කලුඅප්පුත් කරත්තෙට නැගලා. ඉතිං බොහොම අමාරුවෙන් කන්ද අදිනවා. කරේ හමේ රැළි වැටිලා. ඇඟ බෝලේ වගේ ගුලි වෙලා, ගන්න ගැම්මට.
2/3
ඔන්න එතකොට මගදි රංබණ්ඩේ හම්බ උනා. “මොකෑ කලු අප්පු මේ කරත්තේ උඩ කුරහන් ගෝනියකුත් කරේ තියාගෙන.?” “අනේ බලාපං රම්බණ්ඩ මලය. මේකා බොහොම අමාරුවෙන් මේ කරත්තෙ බර ඇදගෙන යන්නේ. මට දුකේ බෑ. මං ඌට ටිකක් උදව් කරන්න, බර හෑල්ලු කරන්න, හිතාගෙන මේ එක බරක් කරට ගත්තේ.” “ඈ බං කලුඅප්පුවෝ.. උඹ ඕක කරේ තියාගෙන කරත්තෙට නැග්ගහම උඹේ බරත් ඔය වස්සා ඇදගෙන යන්න එපාය. උඹ ඔය වහුපැටියට කරුණාවයි නම්, ඔය කුරක්කන් ගෝනිය කරේ තියාගෙන කරත්තේ පස්සෙන් පයින් පලයන්.” “ඒකත් එහෙමද එහෙනං මං එහෙම කරන්නම්.” කියු කලුඅප්පු කරත්තයෙන් බැස කුරහන් ගෝනියත් කරේ තියාගෙන කරත්තය පස්සෙන් ගියා.
3/3