දවසක් හවස් යාමයේ කලු අප්පු පන්සලට ගියා. ලොකු හාමුදුරුවෝ හාන්සිපුටුවේ වාඩිවෙලා සුරුට්ටුවක් උර උරා හිටියා. හාමුදුරුවෝ සුරුට්ටු බොන එක රහසක් නෙවෙයි. මිනිස්සු ඒක ගණන් ගන්නෙත් නැහැ. උන්වහන්සේගේ ගමත් මේකමයි. ගමේ මිනිස්සු ඔක්කොම වගේ නෑදෑයෝ. සමහරු හවසට ගිලන් පස ගේනකොටත් සුරුට්ටු මිටියක් ගේනවා. හැබැයි කලු සුරුට්ටු. අර සුදු සුරුට්ටුවලට හාමුදුරුවෝ කැමැති නැහැ. ඒවා සැර නැහැ කියල. කවුරු හරි ඒව ගෙනත් දුන්නොත් භාර ගන්නවා. ඒත් ඒවා බොන්නේ නැහැ. කාට හරි දීල දානවා. “මොකෝ බං කලු අප්පු. මේ බර කල්පනාවක වගේ.” හාමුදුරුවෝ ඇහුවා. “ඈ බං හාමුදුරුවෝ මං උඹෙන් කාරණයක් අහන්ට මට උත්තර දෙනවද.?” “හරි අහපන්කෝ බලන්ට.” “දවසක් උඹැහැ බණකට කිව්වා නේද, අර කවුද ඉස්තිරියාවක් ඇඳගෙන හිටපු වස්තරේ හෝදලා පසේ බුදු කෙනෙකුට පාත්තරේ තියා ගන්න දරණුවක් හදල දුන්නා කියල.” ( උඹ, බං, බොලං, කීවට වෙනසක් හිතන්ට එපා ඒ කාලේ එහෙම කතා කළා. අනෙක කලු අප්පුගෙ කතා රටාව.) “ඔව්. අසෝක රජ්ජුරුවන්ගේ බිසවකගේ කතාවනේ.”
1/5
“එයා ඒක පූජා කරල කරපු ප්‍රාර්ථනාවත් හරි ගියානේ.” “ඔව්.” “ඒ පිනෙන්නේ එයා අසෝක රජ්ජුරුවන්ගේ බිසව උනේ.” “ ඔව් ඉතිං?” “මාත් එහෙම පිංකමක් කළොත් ඒක හරි යයිද?.” “මොකෝ හරියන්නේ නැත්තේ. හොද හිතෙන් කළොත් හරියනවා.” “හරි එහෙනං මං ගිහින් සුටුස් ගාල එන්නම්.” කියල කලුහාමි පිටත් වෙලා ගියා. ටික වෙලාවකට පස්සේ ආපහු පන්සලට ආවේ කමිසෙ නැතුව. කමිසේ ඇලේ දාල හෝදල මිරිකල නවල කෙසෙල් කොලේක තියාගෙනයි ඇවිත් තිබුනේ. “මොකෝ කලු අප්පු මේ?” හාමුදුරුවෝ ඇහුවා. “මම මේ කමිසෙ හොඳට කුණු යන්න හෝදල තියෙන්නේ. මං මේක උඹ වහන්සේට පූජා කරනවා.” “ඒ කොරල?” හාමුදුරුවෝ ඇහුවා. “මං ප්‍රාර්ථනාවක් කරනවා. ඒක ඒ විදිහටම ඉෂ්ට වෙන්ට කියල උඹැහැ මට විවරණේ දෙන්ට ඕන.” “මට උඹේ අපබ්‍රංශ තේරෙන්නේ නැහැ කලු අප්පු.”
2/5
“මේකයි. මම මොනවා කළත් ගමේ මිනිස්සු මට හිනාවෙනවා. මං ඒක දන්නවා. ඒක මගේ මෝඩකම තමයි. මට ඕන මගේ මෝඩකම නැති කර ගන්න.” “ඉතිං කලුඅප්පු උඹ මෝඩයි කියල උඹට තේරෙනවනම් ඒකත් පණ්ඩිත කමක්නේ.” “මම මේක පූජා කරනවා. ඊට පස්සේ උඹැහැ මට නුවණ ලැබෙන්ට කියල විවරණ දෙනවා. මම අර ඇළට ගිහින් පැනල මැරෙනවා. ඊට පස්සෙ මං උපදින්නේ හොඳ ඥාණවන්තයෙක් වෙලා.” කලු අප්පු කීවා. කලු අප්පුගේ අදහස හාමුදුරුවන්ට තේරුණා “හොඳයි කලු අප්පු ඕක පූජා කරපන්කෝ. මිනිස්සු මැරෙන්ටම ඕන නැහැ මොළේ පෑදෙන්ට.” කලු අප්පු දෝතින්ම හෝදපු කමිසය හාමුදුරුවන්ට පූජා කළා. බිම දිගාවෙලාම හාමුදුරුවන්ට වැන්දා. “දැන් මට විවරණ දෙන්ට එහෙනම්.” කලු අප්පු කීවා. “හොඳයි එහෙනම් වැඳ ගනින් කලු අප්පු.” හාමුදුරුවෝ කීවා. කලු අප්පු වැඳගත්තා. “මිනිස්සු, මනුස්ස ආත්මයක් ලබලා උපදින්නේ ලොකු පිනක් කරපු හින්දා. නැත්තං තිරිසන් ආත්ම භාවෙක තමයි උපදින්නේ. ඒ මිනිස්සු කරපු පින්දහම් අනුව තමයි ඒ අයගේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වැඩන්නේ. උඹට අඩු වෙලා. තියෙන්නේ ප්‍රඥාව විතරයි. ඒකත් නැත්තෙම නැහැනේ. ඉර
3/5
හඳ තාරකා උඹ අඳුනනවා. ගහකොල සතා සීපාවා අඳුනනවා. බේත් හේත් වර්ග, ඒවායේ ගුණාගුණ උඹ දන්නවා. ගෑණු මිනිස්සු අඳුනනවා. පොතේ පතේ දැණුම නැති උනාට උඹ හැමදේම නොදන්නවා කියල උඹ හිතන්නේ ඇයි?. උඹ ගස් නගින්ට දන්නවා. මම දන්නවාද නැහැ. උඹ කුඹුරු හාන්ට දන්නවා. මම දන්නවාද නැහැ. උඹ ඔරු පදින්න දන්නවා. මම දන්නවාද නැහැ.” “ඉතිං උඹ මට වඩා ප්‍රඥාවන්තයෙක්නේ. උඹට තියෙන්නේ ඒ තියෙන මොළේ දියුණු කර ගන්න විදිහක් නැති කම. මෝඩයා මෝඩයා කියලා හැමෝම උඹ කොන් කරපු එක. උඹට හොඳ ආස්සරයක් ලැබුනොත් ඔය අඩු පාඩු මැකිලා යන්ට පුලුවන්. උඹ මැරෙන්ට ඕන නැහැ. ගෙදර ගෑණු උන්දගෙනුත් අවසර අරන් වරෙන් පන්සලට. මං උඹට කරුණු කාරණා උගන්නලා මහණ කොරඤ්ඤං.” “අනේ අපේ හාමුදුරුවනේ එහෙමනං කොච්චර එකක්ද ඒත් අපේ මායියා මෙහාටත් ඇවිත් මාව ඇදගෙන යාවි.” “ඒක එහෙම නොවෙන්ට තමයි මං උන්දැගෙන් අවසර අරං එන්ට කීවේ. නැත්තං උන්දැත් එක්කම වරෙං. මං කරුණු කාරණා කියල දෙන්නං. උඹ මැරෙනවාට වඩා එතකොට කොහේ හරි ජීවත් වෙනවනේ.” “ඇත්තටම මට එහෙම ඉගෙන ගන්න පුලුවන්ද?” “පුලුවන් හින්දනේ කියන්නේ.” “ඉගෙන ගෙන ආපහු මට එතනහාමි ළඟට යන්න පුලුවන්ද?”
4/5
“පුලුවන්.. පුලුවන්. දැන් ගෙදර පලයන්කෝ. ආ මේ කමිසෙත් අරන් පලයන්.” “පූජා කරපු එක ගන්න එක හොඳ නෑනේ.” “පූජා කළාට පස්සේ ඒක මගේ. මම උඹට දුන්නේ මගේ එකක්. ඒකෙ වරදක් නැහැ.” පහුවදා උදේ දානෙත් හදාගෙන, කලුඅප්පුයි, එතනයි, දුවයි, බෑනයි, ඔක්කොම පන්සලට ආවා. හාමුදුරුවෝ එතනට කරුණු කාරණා පහදල දුන්නා. “උඹට මේ මුතු බණ්ඩගේ කොල්ල වගෙ බෑණෙක් ලැබිච්චි එකත් හොඳයි. ඒකා උඹේ කෙලී වගේම උඹත් බලා ගනීවි. කලුඅප්පුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මම වෙනස් කරනවා. ඊට පස්සේ ගෙදර එනවාද පන්සලේම ඉන්නවාද කියන එක එයාම තීරණය කරාවි.” හාමුදුරුවෝ කීවා. එතන හාමියි දරුවොයි හාමුදුරුවන්ටයි කලු හාමිටයි වැඳල පන්සලෙන් පිටත් වෙලා ගියා. ඔවුන් ගියේ කඳුළු පෙර පෙරා. “අපේ හාමුදුරුවනේ, මම එතනගෙ ඔලුව ටිකක් අතගාල එන්නද?” කලුඅප්පු ඇහුවා. “හොඳයි හොඳයි, කලු අප්පු. දුක් වෙන්නෙ නැතුව ඉන්න කියාපං” කලු අප්පු ඉක්මන් ගමනින් ගිහින් එතනහාමිගෙයි දුවගෙයි බෑණගෙයි ඔලුව අතගාල ආපහු පන්සලටම ආවා.
5/5