නරි රාළ නියර දිගේ බිම බලාගෙන පරීක්ෂාවෙන් එන හැටි කක්කොටු අම්මා දැක්කා. “පුතා, ඔය නරියා හරි කපටියා. ඔයා ඉන්න ගුල ළඟට ඇවිත් එයාගේ වලිගේ ගුලට දමාවි. ඔයා ඒක අල්ලන්ට එහෙම එපා.” “ඇයි අම්මේ ඒ?”. “ඔයා අල්ලපු ගමන් නැට්ට උඩට අරන් ගසපුවහම ඔයා උඩට වැටෙනවා. ඊට පස්සේ ඌට අල්ල ගන්නට පහසුයිනේ.” “ හරි අම්මේ මං පරිස්සම් වෙන්නම්.” නරි රාළ ඇවිත් කක්කොටු පැටියා හිටපු ගුලට නැට්ට දැම්මා. කක්කොටු පැටියා කරබාගෙන හිටියා. නරියා තවත් ඇතුළට නැට්ට දාල කැරකුවා. “හිටපන්කො උඹට කරන්නම් වැඩක්.” කියල පැටියා නරියගෙ නැට්ට හයියෙන් ඇල්ලුවා. නරියා එක පාරටම නැට්ට එළියට ඇද්දා. කක්කුටු පැටියා උඩ ගිහින් බිම වැටුනා. මේ ඔක්කොම කක්කොටු අම්මා බලාගෙන හිටියා. අම්මා විදුලි වේගයෙන් නරියගෙ කකුල ඇල්ලුවා. “පුතා ගුලට රිංගන්න.” හයියෙන් කීවා. නරියට හිතාගන්න බැරි උනා මොකද උනේ කියල ඒ අවසරෙන් පැටියයි අම්මයි දෙන්නම ගුලට රිංග ගත්තා. “ඕක තමයි කියන්නේ, අම්මා තාත්තා කියන දේවල් අහන්න කියල.” “අනේ අම්මේ මීට පස්සෙනම් මේ වගේ හිතුවක්කාර වැඩ කරන්නේ නැහැ. නැහැමයි..” පැංචා ගැහි ගැහී කීවා.
1/1