මව්පිය වරුණ’ (කවි බණ.) 2013 දී රචනා කරනලද මෙම පොතෙන් මා බලාපොරොත්තු වූයේ කවි බණ කීමට හුරුව ලැබීමට අපේක්ෂා කරන කුඩා ස්වාමින් වහන්සේලාට තමන්ට තනිව එය කියවා හුරුවක් ලබා දීමටය. පැයක දේශනාවකට එය ප්‍රමාණවත් වේ. එහි දේවතාරාධනාව, පුණ්‍යානුමොදනාව, වැනි මූලික කරුණු සඳහන් නොකලේද ඒ නිසාය. එය තමන්ගේ සම්ප්‍රදායික රටාවට අනුව සකස් කර ගැනීමට අවකාශ තිබේ. ගිහියෙකුට වුවත් තනිව කියවා රස විඳිය හැකි ආකාරයේ කථන ක්‍රමයක් එහිදී අනුගමනය කළෙමි. විරාම ලකුණු තැබුවෙමි. ගෙදරක වැඩි හිටියෙකුට තමන්ගේ දරුමුණුබුරන් වටකරගෙන මෙය කියවිය හැකිනම් දරුවන්ට එයින් හොඳ ආදර්ශයක් ලබා දිය හැකියැයි සිතමි. දරුවන්ට යහ මාර්ගය පෙන්වා දිය හැක්කේ කුඩා අවධියේදිමය. එසේ වුවහොත් අප නිතරම අපේක්ෂා කරන යහපත් සමාජයක් සකස් කර ගැනීමේ මාර්ගය එයින් පහසු වනු ඇත.

1/22

මව් පිය වරුණ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.෴ සම්බුද්ධ රාජ මසමං හදයේ ඨපෙත්වා සද්ධම්ම සුන්දරතරං සිරසේ කරිත්වා තං පුඤ්ඤ ඛෙත්ත සදිසා භගවා සුතංච වන්දාමි තෙන පුඤ්ඤේන ලභාමි මොක්ඛං. සංසාර වට්ට විවටේසු චරීයමානේ සබ්බේපි ආචරියුපජ්ජ වරෝ නමිත්වා මාතාපිතුච්ච ගුණසාර අනුස්සරිත්වා පූජෙමි කබ්බ කුසුමං භව තාරණාය. “බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වුච්චරේ ආහුණෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා”

2/22

ලෝක ශිවංකර, කරුණානිධාන, අසමසම ගුණයන්ගෙන් පරිපූර්ණ වූ, මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්, පාරමී දම් පිරුවේත්, තමන් අත පත් නිවන් රසය අතහැර, මේ ගොර බිරම් සසර සයුරේ සැරිසැරුවේත්, මේ අසරණ අප වෙනුවෙන්මයි. එම නිසා උන් වහන්සේට මාගේ නමස්කාරය පළමුකොට පූජාකරමි. පූජාවේවා. සාරාසැකි කල්ප ලක්ෂ පාරමි දම් පුරා පුරා නානාවිධ දුක් කරදර විඳ තුන්ලොව සරා සරා අතවෙත පත් නිවන් සැපත අප වෙනුවෙන් හැරා හැරා සසරට වන් ලෝනා හිමි වඳිමි දෝත් පුරා පුරා ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත්, අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයත්අපි මේ විදිහට වන්දනා කරමු. පච්චත්තං වේදිතබ්බ එහි පස්ස ඕපනයික ස්වර්ග මෝක්ෂ සැපත සදයි සද්ධර්මය නෛර්‍යාණික සැප සම්පත ගෙනත් දෙවන ජීවිතයේ හැම මොහොතක සාදු සාදු සැනහෙමු අපි සිරි සදහම් ගංගාවක. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අරිය සංඝ සුපටිපන්න ගුණයෙන් යුත් තුන් කල් වැසි අරිය සංඝ

3/22

අරහත් චීවරය දරා ලොව සනසන අරිය සංඝ දෝත් මුදුන් තබා වදිම් සාදු සාදු අරිය සංඝ. ලෝකෝත්තර සුවය, මට සැලසෙන්නේ තුනුරුවන්ගෙන්. ඒත් ලෞකික සුවය, මට සැලසෙන්නේ දෙමාපියන්, ගුරුවර ගුරුවරියන්ගෙන් හා, යහලු හිතමිත්‍රාදීන්ගෙන්. ඒ විතරක් නෙවෙයි, මගේ දායක දායිකාවන් හා මගේ ගුරු ස්වාමින් වහන්සේලාගෙන්. ඒ හැම දෙනාගෙන්ම මට ලැබෙන පිටු බලය වචන වලින් කියල නිමා කරන්න බැහැ. ආදරයෙන් හැදුව වැඩුව ඇස් දෙක වන් මව් පියන්ට යහමග මේයැයි පෙන්වන මගෙ ආදර ගුරුවරුන්ට සිවුපසයෙන් මා සුරකින දායක දායිකාවන්ට පින්දී අවසර ගන්නෙමි කවි බණ අසුනට වඩින්ට. අද මම මේ කවි බණ දෙසුම සඳහා මාතෘකා කරගත්තේ මුලු ලෝකයේම උත්තරීතර වස්තුව වන දෙමාපියන් පිළිබඳවයි. අම්මා කෙනෙකුගේ, තාත්තා නෙනෙකුගේ, ගුණ, වචනයෙන් කියලා නිම කරන්න බැහැ. මාතා “පිතුණ්නං ගුණා අනන්තා” කියල දේශනා කළේ ඒකයි. බුදුවරු, පසේබුදුවරු, මහරහත්වරු, සක්විති රජවරු, මහා විද්‍යාඥයෝ, පහළවන්නේ දෙමාපියන් නිසයි. ඒ නිසා මව් පියන් පිළිබඳව කොච්චර කවි ලීවත්, ගුණ ගායනා කළත්, මදි කියලයි මට හිතෙන්නේ.

4/22

සූවිසි මහා බුදුවරයන් ජනිත කළ ලෝකයේ මහා සක්විතිවරු පුහුණු කළ යතිවරු වියත් චින්තයන් ඔපලු කළ මව් පියෝ නමින් පිබිදෙයි කව් නෙළුම් මල ලෝකය එකලු කළ ලා හිරු අම්මාය මුලු රැය සිසිල දුන් පුන්සඳ අම්මාය සිසිලස ගතට දෙන මඳ නළ අම්මාය බුබුලෙන් ගලා එන උල්පත අම්මාය මහමෙර වගේ ඔබ සවියකි අප්පච්චි මහ සාගරය මෙන් ගැඹුරකි අප්පච්චි විශ්වය වගේ දිගු පුළුලයි අප්පච්චි මගේ දිවිමගේ ඔබ හිරු සඳු අප්පච්චි අම්මා කෙනෙක් ළඟ තියෙන සිසිලස, සුවය, වෙන කොහෙන්වත් ලබා ගන්න බැහැ. ඒ වගේම තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආරක්ෂාව, ශක්තිය, වෙන කොහෙන්වත් ලබා ගන්න බැහැ.

5/22

හැම වස්තුවකම ස්වභාවය තමයි වෙනස්වීම. ඒත් දෙමාපියන්ගේ ආදරය වෙනස් වෙනවද? නෑ. ඔබ පුංචි දවස්වල වඩාගන්නකොට අම්මගේ තිබිච්ච, ආදරයමයි අදත් තියෙන්නේ. ඔබ කරේ තියාගෙන ඇවිද්ද, තාත්තගෙ එදා තිබුණ ආදරයමයි අදත් තියෙන්නේ. ඒක වෙනස් වෙලා නැහැ. ඒක නොවෙනස් වන ආදරයක්.. සෙනෙහසක්. එදා වගේ බත් ගුලි අනල කැව්වේ නැති උනාට, වඩාගත්තේ නැති උනාට, අම්මටයි තාත්තටයි, තාම ඔබ ඒ චූටි පුතාමයි. චූටි දුවමයි. ඒ ආදරේ වෙනසක් වෙලා නැහැ. පෙන්නන්නෙ නැති කම විතරයි. වෙන හැම දෙයක්ම බෙදනකොට අඩුවෙනවා. ඒත් අම්මගෙ තාතගේ ආදරේ දරුවො අතර බෙදුනට අඩු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අම්මලා තාත්තලා රැක ගන්න ඕන, ආදරේ කරන්න ඕන, පෝෂණය කරන්න ඕන කියල කියන්නේ. සිසිලස ලබා දී පුන්සඳ බැස යන්නේ රැය මිස දවල් නැහැ එම සිසිලස දෙන්නේ දිව රෑ දෙකෙහි එක ලෙස සිසිලස දෙන්නේ මව් පියො මිසක වෙන කවුරුද නැහැ දන්නේ.

6/22

තරු දහසට බැරිය පුන්සඳ පරදන්න පන්දම් දහට බැහැ හිරුගේ තැන ගන්න විරුවෝ ඇතත් මේ ලෝකය ජයගන්න ඒ කිසිවෙකුට බැහැ පියෙකුගෙ තැන ගන්න අම්මගෙ මුහුණ පියුමක මල් පෙති සේය අම්මගෙ සෙනෙහෙ පුන්සඳ සිසිලස සේය අම්මගෙ පහස කපු පුලුනේ සුව සේය අම්මගෙ වදන කොවුලෙකුගේ හඬ සේය. හිරුගේ ආලෝකය, ප්‍රභාව, බැබලීම දහවලට විතරයි. චන්ද්‍රයාගේ බැබලීම, ආලෝකය, රාත්‍රියට විතරයි. ඒත් අම්මගෙ තාත්තගෙ ආදරය, ප්‍රභාව, බැබලීම, රෑ දාවල් දෙකේම අපට ලබා ගන්න පුලුවන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉර හඳට වඩා අපේ මව් පියෝ අපට වටිනවා. පන්දම් සිය දහස් ගානක් පත්තු කළත්, හිරුගේ ආලෝකයට සමාන කරන්න පුලුවන්ද? ඒ වගේ ආලෝකය දෙන්න පුලුවන්ද? බැහැ. කාන්තාවෝ කොච්චර හිටියත්, අම්මගේ සෙනෙහස, ඒ අයගෙන් ලබා ගන්න පුලුවන්ද.? බැහැ. හරියට හිරු එළිය නැතුව නෙළුම් මල් පිපෙන්නෙ නැතුවා වගේ. සඳ එළිය නැතුව කුමුදු මල් පිපෙන්නේ නැහැ වගේ. පොඩ්ඩක් කල්පනා කරන්න. ලෝකයේ ලස්සනම ගායකයාගේ ගීතයකට වඩා වටිනවා නේද, අම්මගේ ‘මගේ පුතේ, මගෙ දුවේ,’

7/22

කියන වචනය. තාත්තගේ ‘මගේ පුතේ, මගෙ දුවේ’ කියන වචනය. ඒ තරම්ම ඒක දයාබරයි නේද, මිහිරියි නේද.? අම්මගෙ තාත්තගෙ ළඟ තියෙන සුවඳ මේ ලෝකයේ තියෙන කිසිම මලක් ළඟ තියෙනවාද? නැහැ. ඒ සුවඳ තියෙන්නේ අම්මා තාත්තා ළඟ විතරමයි. ඒ උණුසුම තියෙන්නේ අම්මා තාත්තා ළඟ විතරයි. ඕනම දෙයක් ආදරයෙන් ගෙනවිල්ලා පූජා කළ හැකිය අම්මගෙ පා අල්ලා ආහුණෙය්ය නම් ඒ ගුණ සුවිපුල්ලා මව් පියෝ ළඟද ඇත දරුවෙනි දැන ගල්ලා. දෑතම එකතු කර ආදර බැතින් නැමී සිඹ සිඹ දෙපා වැඳ වැඳ සිඳ සසර බැමි නිවනට යනු පිණිස මව්පිය දෙපද කෙමි අංජලි කරණ කෙරුමය දරුවනට හිමි. බුදු කෙනෙකුගේ ළඟ තියෙන ගුණයක් තමයි සිවු බඹ විහරණය කියන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, කියන ඒ සිවු බඹ විහරණය, මව් පියෝ ළඟත් තියෙනවා. එහෙම නම්, අපේ අම්මා, තාත්තා, සමාන වන්නේ කාටද?. මහා බ්‍රහ්මයාට. බුදු හාමුදුරුවන්ට. ඒ නිසා තමයි ‘බ්‍රහ්මාති මාතා පිතරෝ’ කියන්නේ.

8/22

ධර්‍මයේ තියෙන ගුණයක් තමයි ‘සන්දිට්ඨික’ බව කියන්නේ. සන්දිට්ඨික කියන්නේ, මෙලොවදීම විපාක දෙන කියන එකයි. දෙමාපියන්ට කරන සැලකිලිවල විපාක, මෙලොවදීම ඔබට ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බැහැ. මහා සංඝරත්නයට වන්දනා කරනකොට ‘ආහුණෙය්‍ය, ‘පාහුණෙය්‍ය,’ දක්ඛිණෙය්‍ය, ආදි ගුණ සමූහයක් කියවෙනවා. ‘ආහුණෙය්‍ය’ කියන්නේ, ගෙනවිත් පූජා කිරීමට සුදුසුයි කියන එක. ‘පාහුණෙය්‍ය’ කියන්නේ, ‘එකතු කරගෙන ගිහින් පූජා කිරීමට සුදුසුයි’ කියන එක. ‘දක්ඛිණෙය්‍ය’ කියන්නේ දීමට සුදුසු කියන එක. පොඩ්ඩක් කල්පනා කරල බලන්න. ඔබේ මව, පියා, ඒ විදිහේ පූජාවන් ලැබීමට සුදුසු නැද්ද කියල. එතකොට අපට පේනවා, බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නයේම තියෙන උතුම් ගුණාංග, අපේ මව් පියෝ ළඟ තියෙනවා කියන එක. ඒ නිසා එවන් ගුණයන්ගෙන් යුත්, දෙමාපියන්ගේ ගුණ ගායනා කිරීම, පූජා පැවැත්වීම සුදුසු බව පේනවා නේද?. එවන් මව් පියන්ට නොසලකනවා නම්, නොතකා හරිනවා නම්, ඒක අපරාධයක් නේද? සමාව දෙන්න බැරිතරම් විශාල පාපයක් නේද? සම සිත සැමට සැම වේලෙම මුදාලා බුදුවරු බඹහු සැනසෙති සිත පුරාලා මව් පියෝ එවැනි මෙත්තා ගුණ පුරාලා සරසති ලොවම නමදිමු හිස නමාලා

9/22

දුටුවිට අනුන්ගේ දුක හද උනු වේය ලොකු පොඩි බේදයක් එහි නොම තැකුවේය මේ ගුණ ඇත්තෙ බුදු කෙනෙකුන් හමුවේය කරුණා සුවඳ මව් පියො ළඟ හැමුවේය. අටලෝ දහම ගැන කම්පාවක් නැතුව උසුලන සැම දෙයම සම ගුණයෙන් යුතුව තිබු මහ ගුණය මගෙ බුදු හිමියන් සතුව මව් පියො ළඟද ඇත කිසි අඩුවක් නැතුව. ලෝකයේ සෑම උත්තරීතර මනුස්සයෙක්ම, ඒ තත්වයට ගෙන ඒමට මුල් පියවර තැබුවේ, ඒ අයගෙ දෙමව්පියෝ. අපේ බුදුහාමුදුරුවන්ට “පුතේ උඹ බුදුවෙයන්” කියල මුලින්ම විවරණ දුන්නේ අම්මා. සක්විති රජවරුන්ගේ මනස, මහජනතාවට සේවයක් කරන්න පුලුවන් විදිහට හදන්නේ අම්මා. ඔබට මතක ඇති බිම්ඹිසාර රජ්ජුරුවෝ, තම අජාසත්ත පුතාගේ විසර ගෙඩියක් තිබිච්ච ඇඟිල්ල, කටේ දාගෙන උරපු හැටි. අංගුළි මාල අල්ලන්න, චතුරංගිනී සේනාවම යනකොට, ඔහු බේර ගන්න අම්මා තනියම වනයට ගිය හැටි.. දුටුගැමුණු කුමාරයාගේ හිතට විහාර මහ දේවි අම්මා ජීවය කවපු හැටි.. දුටුගැමුණු කුමාරයා එළාර සමඟ සටන් කරන්න අවසර ඉල්ලන කොට, දරු සෙනෙහස නිසාම, එය කාවන්තිස්ස රජ්ජුරුවෝ ප්‍රතික්ෂේප කරපු හැටි.

10/22

කුමන නිලතල තනතුරු ලැබුවත්, ඒ හදවත ඇතුළේ ඉනනේ අම්මා කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම්, ඒ හැම තනතුරක්ම ඉවතට දාල, ඉස්මතු වෙන්නේ මව් කම. පියකම. මට මතක් වෙනවා, කුමාර කාශ්‍යප මාතාව ගැන. ඒ අම්මට පුතා හම්බවෙන්නේ අවුරුදු විස්සකට පස්සේ. ඒ වෙලාවේ අම්මගේ දරු සෙනෙහස, කොච්චර මහත් උනාද කියනවා නම්, ඇගේ පියවුරු වලින් කිරි වෑස්සෙන්න ගත්තලු. බලන්න, අවුරුදු විස්සකට පස්සේත්, අම්ම කෙනෙක්ගේ ආදරය, කොච්චර නම් සැඟවිලා තියෙනවද කියල. ඒත් අපේ සමහර දරුවන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඔබත් ඔබේ හදවතට තට්ටු කරල බලන්න, ඔබ දෙමාපියන්ට දක්වන ආදරේ ප්‍රමාණවත්ද? ඔබට එයින් තෘප්තිමත් වෙන්න පුලුවන්ද කියල.. බුදු පදවිය ලබන්නට විවරණ දුන්නේ සක්විති මහා රජ කුමරුන් සකසන්නේ මව් පිය වරුන් බව ලොව කවුරුත් දන්නේ එහෙයිනි මව් පියෝ ලොව මුල් ගුරු වන්නේ. රජු ගිය මොහොතෙ ගැනුමට අංගුළිමාල මතකද අම්මෙකුගෙ හද කකියපු ලීල කස්සප මව්ට දැක පුතු හිමි පිරි සීල මතකද එදා ගැලු හැටි රන් කිරි ඌල

11/22

තනියක් නොදී සිය පුතු හට සටන් බිමේ වෙහෙර දේවි පෑවා මව් ගුණය ළැමේ ගාමිණි තිස්ස නොනැසෙන්නට සටන් බිමේ කාවන් තිස්ස පෑවා පිය ගුණය ලැමේ. ලෙඩ දුක් හැදුන විට නොගොසින් ඈතකට හෙදකම් කරන කරුණාවෙන් සෑම විට මව්පිය වරුනි ඔබගෙන් දිවි මාවතට ලැබු රන් කිරණ මිළ කරමිද කීයකට ඔය විදිහට අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපවෙලා වැඩ කටයුතු කරනවා. ඒත් සමහර දරුවන්ට ඒවා මතක නැහැ. පටු වාසි ලබාගන්න අම්මලාට තාත්තලාට නොයෙක් හිරිහැර කරනවා. වෙනස් කම් කරනවා. දරුවො වෙනුවෙන් දෙමාපියෝ අනන්ත අප්‍රමාන දුක් විදිනවා . වෙහෙස විදිනවා. රෑ නිදි මරනවා. නින්දා අපහාස විඳිනවා. සමහර දරුවො කරන වැරදි වැඩ වලට නින්දා අපහාස විඳින්නේ දෙමව් පියෝ. සමහර දෙමව්පියෝ පිටතින් රළුවට පෙනුනට ඇතුළතින් හරිම මොළොක්.

12/22

මහා සාගරය වගේ රළුවට පෙනුනට, බලන්න ඇතුළත, කොච්චර මුතු මැණික් වගේ ගුණ ධර්ම තැන්පත් කරගෙන සිටිනවාද කියා. ඒවා පිටට පෙනෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට උපමා කරන්න පුලුවන් අම්මා කෙනෙක් විතරයි. තාත්තා කෙනෙකුට උපමා කරන්න පුළුවන් තාත්තා කෙනෙක් විතරයි. වෙන උපමා කොහෙන්ද හොයන්නේ.? නින්දා අපහාස තුති කුසුමින් පිදුන හැම විට ඔබෙන් බිඳකුදු වෙනසක් නොවින මේ මහපොළව මෙන් ඉවසුව සියලු තැන අම්මේ ඔබට උපමාවක් කොහෙද වෙන විටෙකදි රළුගතිය පිටතට දිස්වෙනවා එනමුත් ඇතුළෙ රන් මිණි මුතු දිළිසෙනවා. හැම විට සිනා රැළි එක පිට මතු වෙනවා පියතුම එයින් ඔබ සයුරට සම වෙනවා. ගුමු ගුමු නදින් හා රස පිරි මකරන්ද විසිතුරු මලින් සුවඳින් කරවන නන්ද සුපිපෙන නෙලුම් මානෙල් රතුපුල් කුන්ද ඔබ මහ විලකි පියතුම පිපි අරවින්ද.

13/22

චන්දන අගිල් සපු නා මොර පලු වීර පුල් පියුමුපුල රැඳි විල් රැසෙකින් සාර සිවුපා විහඟ මී මැසි ගුමුවෙන් සාර මහ වන පෙතකි පියතුම ඔබ සිරි සාර ගුණ නැණ බීජ වපුරන්නට නිසි පසෙකි ඉසි කෝ මාන සේදිය හැකි දිය වැලෙකි නැති කටු කෝල් සුව ගෙනදෙන මහවතෙකි පියතුම අපට ඔබ නොසැලෙන මහ මෙරකි අපේ අම්මා වගේම තමයි තාත්තත්. තාත්තාගේ නොසැලෙන ගුණය අපට මහ ආරක්ෂක ප්‍රාකාරයක් වගේ .ඒක අපට දැනෙන්නේ තාත්තා ගෙදර නැති වෙලාවට. ඒ වගේ වෙලාවට තමයි දැනෙන්නේ අපි අනාරක්ෂිත බව. මහ වනාන්තරයේ හැම දෙයක්ම ප්‍රයෝජනයට ගන්නවා. ගස් වැල් ඇල කඳුරු සතා සීපාවා විල් පොකුණු එයට සුන්දරත්වයක් ගෙන දෙනවා. තාත්තගේ ජීවිතයත් එහෙමයි. තාත්තාත් කරන කියන වැඩ හැම එකකින්ම අපට පාඩමක් කියල දෙනවා. අපට අත්දැකීමක් ලබා දෙනවා. අපට වටිනාකමක් එකතු කරනවා. හැබැයි ඉතිං ඒ ගමන්ම කියන්න ඕන, සමහර තාත්තලා ඒ ගෞරවණීය පදවියට නින්දා කරනවා. ඒ ගොල්ලෝ කසිප්පු

14/22

ගුබ්බෑයම් වගේ. කටු පඳුරු වගේ.. තාත්තෙ, ඔබ දිහා බලලයි දරුවො හැදෙන්නේ. ඒ වගකීම තියෙන්නේ ඔබේ අතේ. ඒ නිසා තාත්තේ, මං වැඳල කියන්නම්. දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට වැඩ කරන්න. අම්මා සඳක් මෙන් සිසිලස බෙදන විට අප්පච්චිලයි තේජස සැපයුවෙ නුඹට කේසර සිංහ ලීලාවෙන් සිටින්නට දරුවෙනි නොහැකි වේ පියවරු නොවන්නට බාධක කම්කටොලු ලෝකයෙ හතර කෙනෙන් ආවත් එඩිතරව උරදී දැනුන සැනින් මහමෙර වගේ රැකදෙන දරුවනට ගුණෙන් පියවරු ඔබට ලැබෙනුය කළ සසර පිනෙන් අව්වැසි වගේ ගහවැල පල ගන්වන්ට සරණක් කොහිද පියවරු මෙන් දරුවන්ට මේ වැටහීම ඇති වෙනතුරු මිනිසුන්ට හැකිවෙද දරුවනේ ලෝකය ජයගන්ට.

15/22

නැත කිසි හව්හරණ වහලක් නැති ගෙදර පහනක් නැති ගෙදර රජ කරවයි අඳුර තිබුණත් කොතෙක් සම්පත් අහසක් විතර පිය සෙනෙහසක් නැති තැන අරුතද කවර. ඔබට දැන් තේරෙනවා ඇති තාත්තා කෙනෙක්ගේ අගය.. තාත්තා කෙනෙක් නැති ගෙදර, වහළයක් නැති ගෙයක් වගේ. මොන සම්පත් තිබුණත්, තාත්තා නැත්නම් වැඩක් නෑ කියන්නේ ඒකයි. අපි දැන් ටිකක් බලමු, අම්මගේ ආදරේ කොහොමද කියලා. ඔබෙත් මගෙත් අම්මා පින් කෙතක්නේ.. හොද ගතිගුණ නමැති බීජ වපුරලා අපව සමාජයේ යහපත් පුද්ගලයෙක් කළේ අම්මා.. පොඩ්ඩක් කල්පනා කරල බලන්න, රසවත් පළතුරු ගෙනවිත් අපට දීපු අම්මා කැතකුණු අත ගගා අපව රැක ගත්තා අම්මා ලෙඩදුක් වැළදුණු විටකදී කදුළු බීපු අම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින් අම්මා

16/22

ගත වැරහැළි දරා මෙමට ඇඳුම් මහපු අම්මා කුස ගින්දර දරා අපේ බඩ පුරවපු අම්මා වදනින්වත් කිසිකෙනෙකුගෙ සිත් නොරිදවු අම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින් අම්මා හොඳ දරුවෙක් වෙන්න කියා උපදෙස් දුන් අම්මා හොඳයි නරක දෙකේ වෙනස පෙන්වා දුන් අම්මා ශක්තියෙ නොව යුක්තියෙ ඇති අගය කියපු අම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින් අම්මා මහසයුරේ සියලු මැණික් එකට කළත් අම්මා ඔබගේ පා දූවිල්ලක් තරම් නොමැත අම්මා පරසතු කඩුපුල් මල් හැම එකට කළත් අම්මා ඔබගේ දහඩිය සුවඳට අසම වේය අම්මා

17/22

මා හොඳ දරුවෙක් කරන්න ඔබ විඳි දුක් අම්මා වචනවලින් කියාලන්න්නන බැහැ මගෙ සුදු අම්මා සංසාරේ හැමදාකම මගෙම වෙලා අම්මා නිර්‍වානෙන් සැනසෙන්නට එනව නේද අම්මා. ඉතින් අම්මේ, මාව හොඳ පුරවැසියෙක් කරන්න, ඔබව වින්ද වෙහෙස, මට අමතක කරන්න බැහැ. පුංචි සන්දියේ මම අම්මගෙ කිරි බොනකොට, අම්මට පයින් ඇන්න නේද අම්මේ.?. අනේ සුදු අම්මේ, මම ඒ නොදැන කරපු වැරදිවලට සමාව දෙනව නේද අම්මේ?.. අනේ මේ පුංචි පුතාට සමාව දෙනව නේද අම්මේ..? මට මේ ලෝකයේ තියෙන උතුම්ම වස්තුව තමයි මගේ අම්මා. නිවන් දක්නා ජාති දක්වාම, මගේම සුදු අම්මා වෙලා මාව බලාගන්නවා නේද අම්මේ?.. දෙපයින් ඇන කිරි උර උර ගැහුව නුඹට අම්මේ සිනාසිසි ඔබගෙ දෙතන හැපුවා සුදු අම්මේ වැටි වැටි එහෙ මෙහෙ දුවලා බය ගැන්නුව අම්මේ කරපු වැරදි හැම දේටම සමාවෙන්න අම්මේ. ඔබෙ ඔය මුදු සිත හමුවේ නිවන ළඟයි අම්මේ ඔබෙ ඔය මුදු බස හමුවේ නිවන ළඟයි අම්මේ.

18/22

ඔබෙ ඔය කටයුතු හමුවේ නිවන ළඟයි අම්මේ ඔබෙ අත ගෙන නිවන් යන්න එනව නේද අම්මේ සදාතනික සංකල්පය අපට උනේ අම්මා ජීවිතයම ගුණ සුවඳින් එකතු කළේ අම්මා සංසාරෙන් සංසරෙට මගෙම වෙලා අම්මා මෙතේ බුදුන් හමුවේදී නිවන් දකිමු අම්මා. මේ ලෝකෙ නොයෙක් පදවි තානාන්තර තියෙනවා. ඒත් ඒ හැම පදවි තානාන්තරයකටම වඩා, මව්පදවිය, පියපදවිය වටිනවා. මව්පිය පදවිය ලබන්න, සරල පිංකමක් කරල බැහැ. ලොකු වාසනාවක් තියෙන්න ඕන. එහෙම වාසනාවක් නැති අය තමයි, දරුවෝ ගගේ මූදේ දාන්නේ. පන්සල්වල, කෝවිල්වල, බෝක්කු වල, දාල යන්නේ. ළමයි එක්කම ගගේ මූදෙ පනින්නේ. වස විස බොන්නේ. කවමදාකවත් ඒ වගේ අයට නැවත මව් පදවියකට, පිය පදවියකට, හිමිකම් ලැබෙයිද කියල විශ්වාසයක් තියන්න බැහැ. එහෙම ලැබෙන්න හේතුවකුත් නැහැ. මේ ලොව ඇති උතුම් සැපත මව් පිය පදවිය කිසි දවසක පිලුණු නොවන මව් පිය පදවිය කිසි තැනකදි දෙවැනි නොවන මව් පිය පදවිය ඔබට උරුම ලොකුම සැපත මව් පිය පදවිය.

19/22

ඉතිං අම්මෙ තාත්තේ, අයියේ අක්කේ, නංගී, මල්ලී, දුවේ පුතේ, ඔබට වටිනා සම්පතක් ලැබුනොත් ඔබ ඒක අහක දානවද?.. නෑ නේද.. මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි, අම්මා තාත්තා.. ඔබ ඔබේ පණ වගේ, ඒ දෙන්න ආරක්ෂා කරගන්න ඕන. කිසිම දවසක ඒ අයගේ හිත රිදවන්න එපා.. ඒ අය ඈත් කරන්න එපා.. අම්මයි තාත්තයි දෙන්නගෙ ආශීර්වාදය අරගෙන වැඩ කරන්න. කවමදාකවත් ඔබට වරදින්නේ නැහැ.කිරි උතුරන්න වගේ හරියනවා. ගමනක් යනවිටදි අම්මට පවසන්න ආශිර්වාදෙ අප්පච්චිගෙ ලැබගන්න වැඩකරනතර උන් ගුණ සිහි කර ගන්න හැකිවේ ඔබට හැම දේ සරු කර ගන්න මව් පියො අතරමංකර පැන යන්න එපා ඔවුනට නොදී ඇඳුමක් මහගන්න එපා උන් අසරණව සිටියදි ඔබ සිනහ පපා කෑමක් නොවේ දිය බිඳකුදු බොන්න එපා.

20/22

සමහරු කියනවා ගෙදර තියාගෙන, අම්මට තාත්තට සලකන්න බැහැ, ඒක නිසා, ‘වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානෙකට’, භාරදෙන්න ඕන කියල. ඒ වැඩි හොඳට.. ඒත් මතක තියා ගන්න, ඒක අනාථ මඬමක්. අනාථාගාරයක්.. මහලු මඬමක්.. ඒක හන්දා කිසිම දරුවෙක්, තමන්ගේ අම්මව තාත්තව, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයකට භාරදෙනව නම්, දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන. මොකද හැම අම්ම නෙනෙක්ම, තාත්ත කෙනෙක්ම, කැමැති, වයසට ගියාම, පුතා ළඟට හරි, දුව ළඟට හරි, වෙලා ඉන්න.. මෙරුවෙකුට තටු ලැබිලා උඩ ඉගිලෙනකොට, ඌ නොකීවාට මුලු ලෝකයම දන්නවා, මෙරුවා උපන්නේ කොහේද කියල.. ආරක්ෂා උනේ හුඹහක කියල. නෙලුම් මල කොතරම් ඉහළින් වැජඹුනත්, ඒක මඩේ උපන්න බව හැමෝම දන්නවා. කස්තුරි උපන්නේ මුවාගේ නැඹේ බව හැමෝම දන්නවා. එහෙම දැනගත්ත කියල කවදාකවත් ඒවගේ වටිනාකමේ අඩුවක් වෙන්නේ නැහැ. ඔබ දුප්පත් පවුලක උපන්නා කියල කවමදාකවත් ඔබට නින්දාවක් වෙන්නේ නැහැ. ඉතිං දරුවනේ, ඔබ කොච්චර ලොකු මහත් උනත්, ඔබේ දෙමාපියන් කවුද කියල ලෝකයම දන්නවා. ඔබ ඒක අමතක කරන්න එපා.. ඒ ගොල්ල රටක් රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ. තියෙන විදිහට කන්ට බොන්ට ටිකක් දීල, බේත් හේත් ටිකක් අරන් දීල, බලා ගන්න එකයි තියෙන්නේ. ලෝකය ඉස්සරට වඩා දැන් වෙනස්. පාරෙ ඉන්න බලු පැටියෙක් පවා අරන් ගිහින්, ආදරයෙන් බලා ගන්න කට්ටිය ඉදිරිපත් වෙනවා. ඉතිං ඔබේ අම්මයි තාත්තයි ඒ තත්වෙට දාන්න එපා. ඒක ඔබට මදිකමක්.

21/22

මේ වගේ අනන්ත ගුණ තියෙන, දෙමාපියන් රැක ගන්න, ගුණගරුක දරුවෝ බවට ඔබත් පත්වෙන්න. එතකොට ඔබත් ලෝකයාගේ ගෞරවයට පත්වෙනවා. ඔබේ දරුවෝත් ඒ ආදර්ශය අරන් ඔබ වයෝවෘද්ධ උනහම ඔබටත් සලකාවි. සුවහසක් මව්වරුන් වෙනුවෙන්, පියවරුන් වෙනුවෙන්, මම කතා කළේ. ඉතිං මේ දහම් කතාව තවත් ඉදිරියට ගෙනියන්න කාලය හරස්වෙලා කියලා හිතෙනවා. මෙතෙක් වෙලා, මව්පිය ගුණ සමරමින්, ඔබත් මමත් කළ මේ උතුම් පිංකමේ බලයෙන් ඔබටත් මටත්, සසර දුක් කෙළවර උතුම් නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මව්ගුණ කවිකර කවි බණ කිව්වෙමි පියගුණ සව් සත සිත තුළ ලැව්වෙමි මව්පියො බුදුවරු සම බව දන්නෙමි මව්පිය වරුණෙන් නිවන් දකින්නෙමි. ආකාසට්ඨාච භුම්මට්ඨා ....... (දියුණුව පතන නිතරම සම්බුදු සසුන රංගිරි දඹුලු පුරවර දැහැමෙන් වසන එම්. එම්. ඒ. මාරසිංහයි නම් දරන මවිසින් ලියන ලද්දෙමි මව්පිය වරුණ)

22/22

- ආනන්ද මාරසිංහ -