අන්දරේ රාජසභාවේ සිටි දක්ෂ කවියෙක්නේ. හිටිවන කවි කියන්ටත් හපනා. විහිළු කතා කියන්නත් හපනා. උපහාස කවි කියන්ටත් එහෙමයි. සමහර කවිවල යටින් වෙන අදහසකුත් තියෙනවා. ශෘංගාරයක්. ව්‍යංගාර්ථයක්. සමහර දවස්වල රාජසභාවේ කවිකාර මඩුවේ රසවත් කවි කියවෙනවා. ඒකට හේතුව රජතුමත් දක්ෂ කවියෙක්. එතුමා ලියාපු කවි පොතුත් තියෙනවා. එක දවසක් කවිකාර මඩුව රැස් උනාට පස්සේ රජතුමා කවියන්ට ප්‍රහේළිකාවක් ඉදිරිපත් කළා උත්තර දෙන්ට කියල. ඒත් කවියෙන්. මෙන්න ඒ කවිය. දාර දෙකයි එක නම මුල් කර තැනුවා පාර තිහක් ගැසුවත් බයකුත් නැතුවා කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා තෝරාපන් ඊයේ මගදී දුටුවා රජතුමා එක පාරට අහපු තේරවිල්ලට උත්තර හොයාගන්නට කවියන්ට අමාරු උනා. ඒ ගොල්ල ටිකක් කල්පනා කළා. තවත් ටිකක් කල්පනා කළා. ම්හු. උත්තරේ එන්නෙ නැහැ. අන්දරේ නැගිට්ටා. රැල් බුරුල් ඇරියා. උත්තරේට මෙන්න මේ කවිය කිව්වා.
1/4
දාර දෙකයි එකමැද එක ගැවසීය වට පිට යන කලට කණු සතරෙන් යාය ගෙට ගිය කලට කිසි බයකුත් නැති වේය. මට පෙනෙනා ලෙසට මහරජ ඉබ්බාය රජ්ජුරුවෝ අන්දරේගේ කවිය අහල සතුටට පත් උනා. ‘මහරජ ඉබ්බාය’ කියල රජතුමාට ඉබ්බා කිව්වා කියල සමහරු කසු කුසු ගෑවට, අන්දෙර් හිනා උනා මිසක් ඒකට උත්තරයක් දුන්නේ නැහැ. කවිකාර මඩුවේ අන්දරේ වගේම තවත් දක්ෂ කවියෙක් හිටියා ‘කැකිරිගමයා’ කියල. ඒයාගෙ ගම ‘කැකිරිගම’. ඒ නිසයි කැකිරි ගමයා කීවේ. ඉතිං මේ දෙන්නා අතර නිතර කවි සංවාද ඇති උනා. ඒවා ඒකක් දෙකක් මම කියන්නම්. දෙපා දෙකින් දුර ගමනක් බෑ හේමා නෙත් දෙකකුත් ඇත නිදිමත නෑ හේමා කුසතුළ බඩ ගින්න උන්දැට නෑ හේමා මෙතුන් පදේ තෝරන්නට බෑ හේමා අන්දරේ කැකිරි ගමයගෙන් දවසක් ඒ විදිහට ප්‍රශ්නයක් ඇහුවා. කැකිරි ගමයා ඒකට කවියෙන්ම උත්තර දුන්නේ මෙන්න මේ විදිහට. වනන්තරේ ගල් උණු වෙනවා හේමයි ගමේ කම්මලේ මිටියේ වැඩ හේමයි ජලේ බොරදියේ පණ රැකුණා හේමයි මෙතුන් පදේ ගිරයට කිව්වා හේමයි
2/4
තවත් දවසක කැකිරි ගමයා අන්දරේගෙන් මෙහෙම ඇහුවා. ගසට නමකි ගස මැරුනම වෙන නමකි ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකි මදයට නමකි මද කනකොට වෙන නමකි මෙතුන් පදේ තෝරා මට කියන් සකි අන්දරේ මෙහම උත්තරේ කීවා. හිස සිදුරුයි බාලේ ළමයින්ගෙ ගති කුස මෝරයි දවසින් දවස කර රුති රස මීරයි මුලු තුන් ලොවට අදිපති තිරසාරයි මවගේ නම පුතුට නැති. තවත් දවසක කැකිරි ගමය මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. සවුසරා සපිරි මුදුනේ වැඩෙන්නේ ගවු ගණන් ගොසින් මහතුන් දකින්නේ නැවු පුරා රුවල් සුළගට වැනෙන්නේ මවු මරා උපන් කුමරා කියන්නේ
3/4
අන්දරේ කිසි චකිතයක් නැතුව මෙහෙම උත්තර දුන්නා. සව් සරා සසිරි මුදුනේ වැඩෙන කල ගව් ගණන් ගොසින් මහතුන් දකින කල නැව් පුරා රුවල් දසඅත අදින කල මව් මරා උපන් කුමරා කෙසෙල් මල ඔය වගේ සංවාද කවි ගණනාවක් තියෙනවා. මේවා සමහර පොත්වල පොඩි පොඩි වෙනස්කම් ඇතිව තියෙනවා. මේවා කටවහරෙන් එන ඒවානේ. එතකොට සමහර කොටස් අඩුවෙනවා සමහර කොටස් එකතු වෙනවා. ඒක එහෙමයි. ඒ ගැන මහ ලොකුවට හිතන්න, තර්ක කරන්න, ඕන නැහැ.
4/4