කාවන්තිස්ස රජ්ජුරුවෝ රජ කළේ මාගම. අනුරාධපුරේ රජකළේ එළාර රජ්ජුරුවෝ. කාවන්තිස්ස රජ්ජුරුවන්ට තිබුණු ලොකුම අභියෝගය උනේ එළාර රජුගෙන් මාගම ආරක්ෂා කර ගැනීම. ඒ වගේම මහජනයාගේ බලාපොරොත්තුව උනේ නැවත අනුරාධ පුරය ද්රවිඪ රජතුමාගෙන් බේරාගැනීම. ජය පරාජය දෙකම මිනිසුන්ට උරුම වෙනවා. හොඳ සැලස්මක් ඇතිව වැඩ කළොත් අනුරාධ පුරය නැවත අල්ලා ගත හැකි බව කාවන්තිසස්ස රජතුමා දැනගෙන හිටියා. ඒ අනුව තම හමුදාව ශක්තිමත් කිරීමේ වැඩ කටයුතු මෙහෙයෙව්වා. ආහාරපානවලින් මෙන්ම යුධ ශක්තියද වර්ධනය කළ යුතු බව එතුමා දැන සිටියා. මේ අනුව දීඝාභය කුමාරයා කසාතොට නවත්තලා ඒ ප්රදේශය සශ්රීක කරන අතරම, ඒ ප්රදේශයෙන් තම හමුදාවට සෙබලුන් බදවා ගැනීමේ කාර්යද ඔහුට පැවරුවා. දීඝාභය කුමාරයා පිරිමි දරුවන් සිටින පවුල්වලින් අවම වශයෙන් එක් අයෙකුවත් හමුදාවට බඳවා ගැනීමට තීරණය කරල, එයාගේ පාළනය යටතේ තිබුණු හැම නිවෙසකටම ඒ බව දන්වල යැව්වා. මේ කාලේ කඩවිටි කියන ගමේ සංඝ කියල ගම් නායකයෙක් හිටියා. එයාට පිරිමි දරුවොම හත් දෙනෙක් හිටියා. බාලයා නිර්මල කියන කෙනා. අයියලා වත්තේ පිටියේ වැඩ කළත්, මෙයා ඒවාට වැඩි මනාපයක් තිබුනේ නැහැ. දීඝාභය කුමාරයාගේ අදහස දැනගත් පියා දරුවන් ගෙන්වලා ඇහුවා, කවුද රාජ සේවයට යන්නේ කියලා. වැඩිමල් සහෝදරයෝ හය දෙනාම කිව්වා, මෙයා ගෙදර වත්තේ පිටියේ වැඩක් කරන්නෙත් නැහැ, ඒක හන්ද එයා යවන්න කියලා. තමන්ගේ සහෝදරයන් සියල්ලම එක පැත්තක් ගෙන තමන් නිවෙසින් බැහැර කිරීමට කතිකා කිරීම ගැන නිර්මල කණගාටුවට පත් උනා. ඒ අනුව නිර්මල පහුවදා උදේම නිවෙසින් පිටත් වෙලා, ගවු දොළහක්ම පයින් ගිහින් ඉර මුදුන් වෙන්ට ඉස්සර වෙලා, දීඝාභය කුමාරයාගේ රජමාළිගාවට ආවා. දීඝාභය කුමාරයා නිර්මල පිළිගෙන තොරතුරු කතා කළා. අද උදේ පාන්දරින් පිටත්ව මෙතරම් දුරක්, මෙතරම් ඉක්මනින් පැමිණීම ගැන පුදුමයට පත්වෙලා, එය සනාථ කර ගැනීමට ඒ වෙලාවේම ඔහුට වැඩක් පැවරුවා. “යහලුවා ඔබට වේගයෙන් ගමන් කළ හැකි බව පේනවා. එය සතුටට කාරණයක්. දොරමඬලාවේ මගේ හිතවතෙක් සිටිනවා. එයා ළඟ පිටරටින් ගෙනා භාණ්ඩ වගයක් තියෙනවා. එහේ ගිහින් ඔහුගෙන් ඒවා රැගෙන ඒන්න.” යැයි කියා හසුනක්ද ලියාදී, නිර්මල දොරමඬලාවට පිටත් කළා. දහවල් කෑම වෙලාවටත් පෙරම නිර්මල දොරමඬලාවේ අදාල ස්ථානයට ගියා. හසුන දුන්නා. ගෙහිමියා සතුටු වෙලා, “එහෙම නම් වැවෙන් නාලා වෙහෙස නිවාගෙන, දවල් කෑමට පැමිනෙන ලෙස කීවා. නිර්මල, තිසාවැවට ගිහින් නාල, ජයශ්රී මහ බෝධීන් වහන්සේත් වැඳගෙන, නගරයේ සල් පිල්වලින් සුවඳ විළවුන් එහෙමත් අරන්, බමුණාගේ නිවසට ගියා. එතරම් ඉක්මනින්, එතරම් වැඩ කොටසක් කිරීම ගැන සතුටට පත් බමුණා ඔහුට කෑම බීම දී දීඝාභය කුමාරයාට දෙන්නයැයි තුටු පඩුරුද හස්නක්ද ලියාදී නිර්මල ආපසු පිටත් කළා. ඒ දවසෙම සවස් වීමට පෙර නිර්මල යළිත් දීඝාභය කුමරු හමු උනා.
1/2
දීඝාභය කුමරු සතුටට පත්වෙලා ඔහුට මසුරන් දස දහසක් හා ඒ තරම්ම වටිනා පිළි සගලකුත් ඔහුට දීලා තමන්ගේ සේනාවට බදවා ගෙන එයාට එදාම රාත්රී රාජකාරියකුත් පැවරුවා. නිර්මල ඒ මුදල් සහ පිළි සගල අරගෙන තමන්ගේ නිවසට ගිහින් මුදල් මෑණියන්ටත් පිළිසඟල පියාණන්ටත් දී ආපසු මාළිගාවට ගිහින් රාජකාරියේ යෙදුනා. උදේම දිඝාභය කුමාරයා ඒ බව දැනගත්තා. මේ තරම් හපනෙක් මෙහේ තියාගන්නවාට වඩා මහරජු ළගටම යවන එකයි වඩාත්ම හොඳ කියල හිතල, නැවත ඔහුට මුදල් සහ පිළි සගලක් දී මාගම කාවන්තිස්ස රජතුමා වෙත පිටත් කර හැරියා. නිර්මල මහරජු වෙත යනවිට එතුමා ආයුධ නිෂ්පාදනාගාරය පරීක්ෂා කරමින් හිටියේ. ඔහු පරික්ෂා කර බැලීම සදහා මුවහත් නොකරන ලද කඩු දහසයක් දී මුවහත් තබන ලෙස නියෝග කර රජතුමා සෙසු පිරිස් පරීක්ෂාවට පිටවී ගියා. රජතුමා ඔවුන් පරික්ෂා කර ආපසු ඒමට පෙර නිර්මල කඩු සියල්ලම ගලගා ඉතා හොඳින් මුවහත් තැබුවා. රජතුමා ඒ දැක ඉමහත් සතුටට පත් උනා. රජතුමා නිර්මල එදිනම වැඩට බඳවා ගත්තා. දිනකඩ කඩු දහසක් මුවහත් තැබීමට ඔහුට භාර උනා. එයා ඒ වගකීම නොපිරිහෙලා ඉටු කළා. ඔහුට නිවෙසක් හා ආහාර පාන සම්පාදනය කළා. වැටුප් හා දීමනාවන් දෙනු ලැබුවා. දුටුගැමුණු කුමාරයා රජකමට පත්වූ විට ඔහුගේ ප්රධාන සෙනවියෙක් බවට නිර්මල පත් උනා. අනුරාධපුරය අල්ලා ගැනීමට කළ සටනේ පුරෝගාමී මෙහෙවරක් කළ අයෙක් උනා. විජිත පුර බලකොටුව ඇල්ලීමට යාමට පෙර ඔහු සුරා නැළි තිස් දෙකක් පානය කර තිබෙනවා. ඒ නිසා (සුරා - නිර්මල) පසු කාලයේ සුර නිම්මල හෙවත් සුරනිමල බවට පත්වෙලා තියෙනවා. එළාර රජතුමාගේ ප්රධානම සෙනවියෙක් වූ දීඝජන්තු හා සටන් කර ඔහු මරණයට පත් කර ඇත්තේත් සුරනිමල යෝධයා විසින්. අනුරාධපුර අල්ලා ගැනීමෙන් පසු සුරනිමල යෝධයා දුටුගැමුණු රජතුමා සමග එක්ව වෙහෙර විහාර දාගැබ් ඉදිකිරීම වැනි බොහෝ පින්කම්වලට සහභාගි වෙලා රට වෙනුවෙන් ලොකු සේවාවක් කරල තියෙනවා
2/2