කාන්තා රූපය කවියන්ට කවි උල්පතක්. ඇගේ පසිඳුරන් විතරක් නෙවෙයි සම් මස් ඇට නහර පවා වර්ණනා කරන්නේ ඒ අනුවයි. ඇගේ ඇසි පිල්ලමද ඔහුට වටිනා මුතු කැටයක් වන්නේ එහෙයිනි. කවියා එහි සුන්දරත්වය දකින්නේ එහි ශූණ්‍ය බව නොදැන නොවේ. එය උත්කර්ෂයෙන් රස විදීමට බොහෝ පිරිසක් කැමැති හෙයිනි. ඉතිං අන්දරෙත් කවියෙක්නේ. එයත් කාන්තාවන් ගැන නොයෙක් කවි කියල තියෙනවා. එහෙම කවි කීවට ඒවා කවියට පමණයි සීමා උනේ. අන්දරේගේ සිතේ අසංවර සිතුවිලි පහළ උනේ නැහැ. දවසක් අන්දරේ ගමනක් යනකොට කාන්තාවක් වතුරට බැහැල කෙකටිය දලු කඩනවා. ඒක දැකල එයාගේ කවි සිතුවිලි ඉස්මතු උනා. එයා මේ කවිය කීවා. පතුල ගසා දලු නෙලනා කලට ලියේ මකුල වනා වත සුළගට යාය ලියේ මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ ඇය විළියෙන් සිනාසුනාය. අන්දරේ එතැන මනමාලකං කරමින් නොසිට තනිවම සිනාසිසී යන්ට ගියේය. තවත් දවසක් අන්දරේ ගමනක් යනකොට කාන්තාවන් තුන්දෙනෙක් නනා හිටියා. ඒ අය අන්දරේ අඳුනනවා. අඳුනනවා කීවට අහල දැකල තිබුණා. ඔවුන් එකිනෙකා

1/4

මොනවදෝ අන්දරේ ගැන කියල හිනා උනා. මේක අන්දරේ දැක්කා. එතකොට මේ කවිය අන්දරේට කිය උනා. කද්දුවගොඩ උඩ අම්බලම ගාවා ගෑනුන් තුන්දෙනෙක් හිස නාව නාවා මා දැක උන් කරනා මේ හිනාවා කොහොමද යන්නෙ උන්ගේ හැටි මනාවා කාන්තාවන් කීපදෙනෙක් එකතුව අන්දරේට සරදම් කළහ. එයට පිළිතුරක් නොදුන්නහොත් නොමැනවයි සිතූ අන්දරේ ඔවුන්ට මෙසේ කීවේය. ලේනුන් නොයන අතු අග යන ගිජිදු වගේ පීනුන් නොදැක බැස්සා වැන්න මහ ගගේ මාලුන් දැගලුවම දිය බොරවෙතිද ගගේ ගෑණුන් දුටුවාම බඩ දගලනව මගේ. අන්දරේගේ කවියෙන් කාන්තා පිරිස වික්ෂිප්ත උනා. ඒ අය බලාපොරොත්තු උනේ එහෙම කවියක් නෙවෙයි. අන්දරේ එතැනින් ගියේ උපහාසාත්මක සිනාවක් කාන්තාවන්ට හෙලමිනි. දිනක් අන්දරේ ගමනක් යනවිට කෙකටිය මල් නෙලන තරුණියක් දුටුවේය. ඇගේ රුව දුටු අන්දරේගේ කට කහන්නට විය. ඔහුටත් නොදැණුවත්වම මේ කව මුවින් පිටවිය.

2/4

නාලිය ලස්සනයි රණහස මොළකැටිය නාලිය ලස්සනයි ඇඳි වතෙක දිගැටිය නාලිය ලස්සනයි යන ගමනේ සැටිය නාලිය ලස්සනයි මල් නෙලන කෙකටිය. කොතැනදිත් අන්දරේගේ නෙත් කාන්තාවනට ඇදී ගියේය එහෙත් ඔහුගේ සිතේ එවිට පහළවන්නේ රාගික සිතුවිල්ලක් නොවේ. සෞන්දර්යාත්මක සිතුවිලිය. දිනක් ඔහු ගමනක් යනවිට ඉස්කාගාරයක් අසලදී රූමත් කතක් දුටුවේය. ඈ කුමක් සදහා එහි පැමිණියේද යන්න ඔහුට ගැටලුවක් විය. එවැනි තැනෙක කාන්තාවන් නොගැවසුන හෙයිනි. එහිදී ඔහුගේ මුවින් මේ කවිය පිටවිය. විස්තර මෙමට හෙලිකර කීමට බැරිය බැස්ස බිමට පුන්සද සේම එළිවිය ඉස්කාගාරෙ ළගදී දුටුව දිගැසිය ඇස්දෙක පල්ල දහසක් වටිය ඉඟටිය. තවත් දිනෙක මහමග තනිවම ගමන් කරන කාන්තාවක් දැක ඔහු මෙසේ කීවේය.

3/4

හීන් ඇඟට පෙති ගෝමර ඉසුනාම පාන් තරුව වැනි උවනත දිලුනාම හීන් සීරුවේ යන නුඹ ගත දුටුවාම කාන් දමසෙ ඇදුනයි සිත නොදැනීම අන්දරේ ගැන බොහෝ දෙනා අහල තිබුණා. ඔහුගේ කියුම් කෙරුම් ගැනත් අහල තිබුණා. ඉතින් පාරේ තොටේ යනකොට ඒ අය අන්දරේ දිහා බැලුව. හිනා උනා. ඒත් ඉතිං රාජ සභාවේ සේවය කරපු නිසා භය පක්ෂපාත කමකුත් තිබුණා. අන්දරේ බොහෝවිට තරුණියන්ට විහිලුවක් තහලුවක් කරන්නේ, තරුණියන්ට එවැනි ශෘංගාරාත්මක කවියක් කියනකොට ඒ අයගෙ මූණ ලජ්ජාවෙන් රතු වෙන හැටි බලන්ට, නැත්නම් මුහුණ කෝපයෙන් රතු වෙන හැටි බලන්ට ඕන නිසා. ඉතිං දවසක් අන්දරේ ගමනක් යනකොට තරුණියක් දොර අස්සෙන් එබිල බැලුව. ඒ ළමයට මෙන්න මේ කවිය කීවා. ඉහළ ගෙදර වී පැදුරේ කොබෙයියා පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා ටිකිරි ළියක් දොර අස්සෙන් එබෙයියා ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා. අපි ආයෙත් දවසක අන්දරේ ගැන තවත් ටිකක් කියවමු.

4/4

- ආනන්ද මාරසිංහ -