මැදරට මාතලේ දිස්ත්‍රික්කයේ ශාස්ත්‍රීය හා ආගමික සංවර්ධනයෙහි ලා දඹුල්ල වළගම්බා පිරිවෙන කරන ලද්දේ අත්‍යුදාර සේවාවකි. එම සේවාව කිරිමෙහි ලා පිරිවෙන ආරම්භ කරමින් අඩිතාලම දැමූයේ, අපවත්වී වදාළ, රංගිරි දඹුල්ල රජමහ විහාර මැද පන්සලේ අධිපති, පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, කර්මාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී උල්පතගම චන්දජෝත්‍යභිධාන නායක ස්වාමින් වහන්සේය. 1930 ගණන්වල මෙරට අධ්‍යාපනය පැවැත්තේ ඉතාමත් පහළ මට්ටමකය. ඒ අනුව මේ ප්‍රදේශයේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා උල්පතගම චන්දජෝති නාහිමියන් කළ සේවය අගය කළ යුතුය. උන් වහන්සේ වළගම්බා පිරිවෙන පමණක් නොව, තිත්තවැල්ගොල්ල, ඇතාබැඳිවැව, හා ඇරෑවුල, පාසැල් ආරම්භ කිරීමටත් මූලිකත්වය ගත්හ. එදා මෙදාතුර මා/සිරි වළගම්බා පිරිවෙනෙහි, අධ්‍යක්ෂ ධුර දරමින්, පිරිවෙන්පති ධුර දරමින්, හා ආචාර්‍ය ධුර දරමින් සේවය කළ හැම දෙනාමත්, පිරිවෙනේ විස්තරත්, ඇතුළත් කරමින් මා “වළගම්බා සැහැල්ල හෙවත් චන්දජෝති අභිවාදනය” රචනා කළේ 2013 වසරේදීය. දඹුල්ල සුරංග මුද්‍රණාලය විසින් මුද්‍රණය කරන ලද අතර, අනුග්‍රහය දැක්වූයේ වළගම්බා පිරිවෙනේ ඇදුරු මඬුල්ල හා සිසු පිරිසයි. මෙම ග්‍රන්ථය සම්පාදනයේදී භාවිතා කළේ ‘කඳ’ විරිත හා ‘යා ගී’ විරිතයි. ආචාර්ය මණ්ඩලයේ නම් ඉදිරිපත් කිරීමට පමණක් ‘සමුද්‍රඝෝෂ’ විරිත භාවිතා කළෙමි. ඊට අමතරව ග්‍රන්ථාරම්භයේදිත්, චන්දජෝති නාහිමිගේ අභාවයේදිත්, ග්‍රන්ථාවසානයේදිත්, පාලි ගාථාවක් භාවිතා කළෙමි. මෙම කෙටි විරිත තෝරා ගැනීමට හේතු වූයේ පිරිවෙන්වල මූලික ග්‍රන්ථයක් වන ‘ගණදෙවි හෑල්ල’ රචනා කිරීමටද භාවිතා කළේ එම විරිත වීමයි. එවක උසස් අධ්‍යාපනය හැදෑරීමට පාසැල් තිබුනේ අතළොස්සකි. අවම සුදුසුකම් ලැබූවන්ට ඉහළට යාමට අවස්ථාවක් නොවීය. වළගම්බා පිරිවෙන පිහිටුවීමෙන් පසුව දඹුල්ල, නාවුල, කැකිරාව, ගලේවෙල, හා අවට පෙදෙස්වල බොහෝ දෙනාට ඉහළ අධ්‍යාපන වරම් ලබා ගැනීමේ අවස්ථාව උදාවිය. පිරිවෙනේ එදා සිට අද දක්වා එහි අධ්‍යාපන හා භෞතික සංවර්‍ධනය සඳහා ඇප කැපවූ හැමදෙනාටම මෙය උපහාරයක් වේවා.
1/23
නමෝ බුද්ධාය. නමස්සිත්වාන සම්බුද්ධං ධම්මං සංඝංච සාදරං අනුස්සරාමි ගුණවන්තං චන්දජෝති යතිස්සරං 1 ජනපදෙහි මාතුල පරසිදු දඹුලු ගලමුල පිරිවෙනකි නිකසල කියමි ඒ පිරිවෙනේ සුලමුල 2 වළගම්බ නම් ලතා එපිරිවෙන ගැන කතා හැම දෙනගෙ සුව පතා මෙතැන් සිට පවසතා. 3. නෙතට සැප ගෙන දෙතා නන්සිරින් බැබලෙතා සවන් යුග පිනවතා විහඟ කැළ හඬ දෙතා. 4 නාස්පුඩු සැනසෙතා මල් සුවඳ පැතිරෙතා මුවට රස ගෙන දෙතා පලවැලෙන් ඉතිරෙතා
2/23
05. මඳ නළද පැමිනෙතා ගතට සැනසුම දෙතා ගිරි කඳුරු වැගිරෙතා කුළින් රමණිය වෙතා 06. සිසිල් සුළඟින් යුතා ගස්කොළං නැළවෙතා බුදු පුත්හු සුවිනිතා සැරිසරති නිති පතා 07. සිල් සුවඳ පැතිරෙතා වෙහෙර මලු දිදුලතා බණ දහමෙ නියැලෙතා නිවන් මග ළං වෙතා 08. අඹ දඹද රඹ යුතා වැලද වරකා ඇතා කොට්ටම්බ රස යුතා අපට පිහිටට ඇතා. 09. කජු පේර ළඳු ඇතා බෙලි දිවුල් හිනහෙතා දොඩං නාරං වෙතා කුසගින්න මැඬලෙතා. 10. රසැති මහ මී වෙතා දඬුවැල්ද පිරිගතා අයෙක් වනගත වෙතා කනමීද වළඳතා
3/23
11. හෙලා ඇස අපවෙතා දහක් බුදුවරු ඇතා වෙණු රදහු බලවතා අපට පිහිට ඇතා. 12. වළගම්බ රජ පිතා කෙළෙහි ගුණ ගැන සිතා ලෙන් වෙහෙර කර ඇතා එහි උරුමෙ අපවෙතා. 13. පුද සිරිත් දිනපතා බුදුපුත්හු සලසතා බොදුනුවොද දිනපතා දහස් ගණනින් එතා. 14 දෙලොව හිත සුව පතා කරත වත පිළිවෙතා මෙරට අල්ලමි සිතා විදෙස්හුද පැමිණෙතා 15. පෘතුගීසි නම් ලතා වෙළෙඳ දන බලවතා පැමිණ අප රට වෙතා මුහුදු බඩ අල්ලතා. 16. ලන්දේසි බලවතා මෙරට අල්ලමි සිතා පෘතුගීසි බලවතා පරදවා ජයගතා.
4/23
17. ලන්දේසි බලවතා සුන්කරමි යැයි සිතා ඉංගිරිසි බලවතා මෙරට වටකර ගතා. 18. රුදුරු ගිනි ඇවිලෙතා වෙඩි හඬින් ඇළලෙතා ලන්දේසි පරදිතා ඉංගිරිසි රජවෙතා. 19. එතැන් සිට නොනැවතා හෙළ රජුට රිදවතා රදළයන් බිඳුවතා සියපසට අරගතා. 20. කන්ද උඩරට වෙතා සියලු බල යොමු වෙතා අයෙක් තම කුස පතා සුද්දන්ට ළං වෙතා 21. ඔවුනොවුන් කොටවතා සිහළ රජු පරදිතා සියලු දෙන රැවටෙතා ගිවිසුමක් බිහිවෙතා. 22. හෙළ පිරිස විකුමැතා සිය එඩිය සිඳගතා
5/23
හෙළ සිරස පෑගෙතා ඉංගිරිසි රජවෙතා. 23. රැගෙන බල සිවුහෙළේ නිදහසද නැති කළේ අකම්පිත බොදු බලේ කම්පිතය ලෙස ජලේ. 24. අති මහත් බැති සිතින සුමංගල හිමි විසින දළදාව සඟවගෙන ආ සදෙහි දඹුලු වන 25 අප වෙහෙර මහ සඟන එහිමි හා එක්ව ගෙන රහසේම සියලු දින තේවාව කරවමින 26. එතැන් සිට හෙළ දනා සුද්දන්ට යට උනා තේ රබර් උන් ගෙනා වැවී රට පැටවුනා. 27. ඉඩකඩම් ඇරගමින් නොයෙක් බදපනවමින් බොදු බලය වනසමින් කරත රට දැඩිකමින්.
6/23
28. අයුක්තිය දුටු තැනා ජීවිතය වුව දෙනා රුහිරැ කකියන දනා තැනින් තැන එක් උනා. 29. රට පුරා මුලු මුළුව. නැගෙන හෙළ බලමුළුව එකතු කොට යුහුසුළුව අතට ගෙන ගිනිසිළුව 30. විසුන්ගෙන් වරම් ගත් මෙරංගිර අරක් ගත් ඉඳුජෝති බුදුන් පුත් ගම් දෙටුන් අතින් ගත් 31. ලෙනදොරද ගොළහැලද දූල්ලෑ උකුවෙලද පුරං අප්පූ විරුද කුඩාපොල මහ තෙරද 32 මෙරංගිර විහාරෙට වහ වහා එකතු කොට එක්සිත්ව එකට සිට පෙළ ගැසෙමු සටනකට. 33. නැසිය හැකි රුදුරු බල නැගිය හැකි බොදුණු බල සුදුස්සෙකු වෙත නිමල කිරුළ දෙමු පැවසු කල
7/23
34. සියලු දෙන මහ තොසින් එබස් පිළිගෙන හිසින් කතාකොට සෙනහසින් ගොංගාලෙගොඩ විසින් 35. මෙතෙක් දෑ කළ ලෙසට කිරුළ බර ගෙන හිසට පෙර රජුන් පිළිවෙළට සදනු ඇත සෙත රටට 36. එකඟතාවට පැමිණ වැළඳ උනුනුන් බැතින මහ තෙරුන් නැමැදගෙන නැකත් දින බලවමින 37. මඟුල් සක් හඬවමින් පසඟතුරු ගොස ලමින් රණගඬින් ගුගුරමින් ‘සර්‍වසිද්ධි’ නමින් 38. ගොංගාලෙගොඩ වෙතා හෙළ කිරුළ පළඳිතා නැමැද මහ සඟ වෙතා ඔහු කිරුළ පිළිගතා 39. ඉංගිරිසි බලවතා මෙදැක රෝසෙන් ඉතා නසමි මුන් සැම සිතා යුද නීති පනවතා
8/23
40. එවා බළමුළු රුදුරු නසා ගම් බිම් සොදුරු පවා කිරි බොන ළදරු දැවී කරමින් අඟුරු 41. හෙළ විරුවෝ මියදෙතා විරු සටන මැඬලෙතා ඉඳුජෝති බුදු පුතා වනගතව සැඟවෙතා 42. උගත් පිරිසක් විසින් එංගලන්තෙට ගොසින් වූ වනස නිසි ලෙසින් පැවසුයෙන් දොම් නසින් 43. වහා විමසා බලා සියලු තතු හෙළිවෙලා යුද නීති ඉවත ලා රටට සෙත සලසලා. 44. සියලු බදු ඉවත් කොට මහ පුටුද වෙනස් කොට දනන් සිත් සතුටු කොට සහන ගෙන දුනි රටට
9/23
45. අප වෙහෙර හැම දිනා කෙරුණු පුද නැවතුනා බොදු පිරිස රැස් උනා බොහෝ සේ දුක් උනා 46. එහෙත් අප වෙත තිබුණ සැකය නොම සංසිඳුන පාලකයො ගිය රැගෙන යතුර අපවෙත නොදින. 47. ඉංගිරිසි බලවතා මේ සියලු දේ සිතා ගොසින් හයගිර වෙතා සඟ රජහු හමුවෙතා. 48. පැවත එන පොරණ සිට පුද සිරිත් ඒ ලෙසට කරන ලෙස රංගිරට කළා ඇරයුම් හිමිට. 49. සතුව තිබු මෙරංගිර ඉඩකඩම් හා යතුර අස්ගිරට උරුමකර අපට ගැසි මරු පහර 50. රංගිරම එදින සිට නතු උනා අස්ගිරට එම නිසා එදින සිට අපි හිටියෙ මෙහි මුරට
10/23
51. ඉඳුජෝති මහිමි සඳ ටික කලක් සැඟව හිඳ නීතියෙන් ලබන ලද නිදහසින් තුටුව හද 52. රංගිරට යළි පැමිණ බාරකරු විය සොදින එහෙත් මුල් කල තිබුන තේජසින් නොම දිළින 53. ඉඳු ජෝති තෙරවරා වැඩිය පසු සුර පුරා සුනඳ මහ තෙරවරා වෙහෙර පති විය වරා 54. බබළමින් සසුන් කෙත එහිමියන් ඇත්ව මෙත මෙරංගිර එළි කරත දිළිණි හැම බොදුනු වත 55. සසුනඹර දිදුළමින් බුදුපුතුන් සකසමින් දඹුලු උල්පත ගමින් චන්දජෝති නමින් 56. පැවිදි කළ පොඩි නමට හුරුවන්න බණ දමට
11/23
පරම දම් පිරිවෙනට යැවී දිරිගෙන සිතට 57. නිති පතා පිරිවෙනෙහි පැවති හැම විමසුමෙහි හෙළ මගද සකු බසෙහි අගම වී දිළි සදෙහි 58. ප්‍රාචීන මද්දියම විභාගය ඉහළතම ලකුණු ලැබ ජය ගැනුම අගැයුවා මුලු රටම. 59. අධිසීල පත් දිනේ සමිඳු නැණ හෙළි උනේ බුදුන්ගේ නව ගුනේ පැදි බසෙනි කියවුනේ 60. සමිඳු ඉමිහිරි බසින් ගයත ඒ තුන් බසින් මහා නාහිමි විසින් තුති කළා සෙනෙහසින් 61. එදින මැද පන්සලෙහි මගුල් බණ වූ සදෙහි දස පැයක් පිරිස එහි ගිල්වුවා දම් රසෙහි.
12/23
62. ඉගෙන ගත් එපිරිවෙන මෙතොරතුරු අසා දැන කිත් යසස් වඩවමින ඇදුරු වරමින් පිදින. 63. රටේ ඇස් මහිමි දෙස යොමු වෙද්දි සතුටු ලෙස සුනඳ හිමි දරුණු ලෙස ගිලන් විය නොසිතු ලෙස 64. මරු සමග කළ සටන පැරදුනා සිල් රුවන සොබාදම ඉකි බිඳින කඳුළු හෙලි වැසි ලෙසින 65. සුනඳ හිමි සුරපුරා වැඩියෙ ලෙස දිනිසුරා සඳජෝති තෙරවරා වෙහෙරපති විය වරා. 66. නැවතුනා ඉගෙනීම පැවරුනා වගකීම විලසිනා බණ දාම ඉටුඋනා හැමදේම. 67. ගුරු සමිඳු උකුත් වී තෙමස් පින්කමෙක් වී මහ පිරිස් එකතු වී උළෙලක්ද එහිදි වී.
13/23
68. පිරිවෙනක් සදන ලෙද සුනඳ ගුරු සමිඳු හද තිබුණු දැඩි අදහසද හෙළි කළා මහිමි සඳ. 69. එ අදහස ඉටු කරමි පිරිවෙනක් බිහි කරමි ප්‍රාචීන දැණුම හිමි යති වරුන් බිහි කරමි. 70. සංඝ ශෝභන ගුණද කරන වත පිළිවෙතද දැණුම ඇති දම ගැනද බුදු පුතුන් සදමි සොඳ 71. ගුණ නැණද ඇති සේම රට රකින දිවි සේම අසූ මහ සව් සේම පිරිවරක් පෙදෙසේම 72. බිහිකරමි බිහිකරමි පිරිවරක් බිහිකරමි ඒ සඳහ නොමැති බැමි පිරිවෙනක් බිහිකරමි.
14/23
73. සපථ කොට තමාටම සෙත සදා හැමෝටම බලා නැකතක් හොඳම ඇරඹි පිරිවෙන මෙහිම 74. නවසිය තිස් තුනේ වෙසක් මස එළඹුනේ දහනමය වූ දිනේ එම නැකත හමු උනේ. 75. සෙත් පිරිත් මගුල් බෙර සක් හඬින් සුසර කර මල් පැළක් සකර කර පස් තෙළින් පහන් කර. 76. ලෙනදොරහි උපත හිමි ධම්මරක්ඛිත මහිමි දෙපා වැඳ අප මහිමි බරව සිතුවිළි දැහැමි. 77. පැවැති නැකතට උතුං ළඟට ගෙන බුදු පුතුං පිරුණු සුමිහිරි හඬිං කී ස්වස්ති සිද්ධං 78. තබා පැතුමන් යසට වන්දවා ගුරු හිමිට රැස්ව සිටි හැම දෙනට වළඳවා දන් සොඳට.
15/23
79. පණ පොවා ලෙන්වලට තිළිණ කළ මුලු රටට වළගම්බ මහ රජුට උපහාරයක් ලෙසට 80. වළගම්බ නමින් මම තබමි පිරිවෙනට නම මගෙන් පසු සැම දෙනම රකිනු එය දිවි ලෙසම. 81. මහිමි දහමට මෙන්ම කළා රටටද ඇල්ම ලොවට පුන්සඳ මෙන්ම නිතර බෙදි සිල් කැල්ම. 82. ලැබුවෙකුසෙ විවරණය හද රැඳුනි තිසරණය. දිවි පරිදි විනය නය සුරැක ගති හැම දිනය 83. උනුන් ගැන සිතමිනා දිවා රෑ වෙහෙසුනා ගම් දනව් සදමිනා බණ දහමෙ නියලුනා. 84. තිත්තවැල් ගොල්ල ටත් ඇතාබැඳි වැව වෙතත් ඇරෑවුල ගම වෙතත් තළකිරිය ගම වෙතත්
16/23
85. සාදවා ඉස්කෝල දෙමින් නැණ සුවිසාල මනාසේ රැකි සීල කළහ දන මන ලෝල. 86. අස්ගිරිය මේ ගැනා නියම තතු දැනගෙනා අභිධාන දෙවමිනා හිමිට දිරියක් උනා. 87. පොළොන්නරු පුර පොරණ සොළොස්මස්ථාන ගැන ආධිපත්‍යය දෙවන සන්නසද පිරි නැමින. 88. එයින් මතු නොනැවතින හිමි මෙහෙය අගයමින කර්‍මාචාර්‍ය යන පදවියද පිරිනැමින. 89. සේවාව කරනතර පොත් පත්ද සකර කර පිළිබඳව අප වෙහෙර දැණුම බෙදි දන අතර 90. ගුණෙන් පිරි බෝසත් නායක මහිමි පින්වත්
17/23
අසූ වයසට පත් පසුව කම්ලෙස උනා අපවත්. 91. පරිවේණ වරං මයිහං කාරාපෙත්වන සෝ යතිං පත්ථයිත්වාන සම්බෝධිං තාවතිංස දිවං ගතෝ (සම්බුද්ධත්වය පැතූ උන් වහන්සේ, මගේ පිරිවෙන නිමවා අපවත්ව, තව්තිසා දෙව් ලොවට වැඩිසේක.) 92. ෙනායක මහිමි සඳ රැකගත් තමන් පණ ලෙද එපිරිවෙන නොම සිඳ සුරැක ගත්තා ගෝල පිරිසද 93. පරසිදු ඇරෑවුල දම්රතන හිමි නොපැකිල කළ මෙහෙය සුවිපුල කෙසේවත් කළ නොහැක්කේ මිළ 94. ලෙස පැවිදි සිසුනට සෙත සදා ගිහි සිසුනට පිරිවෙන පුලුල් කොට එහිමි විදු මව ගත්තෙ ඉහළට 95. එවකට බොකලවෙල දම්ජෝති හිමි නිකසල වඩා සිසු සවිබල දැරී අදියුරු කමේ බලතල
18/23
96. නැතත් කිසි නිලතල මෙහි දියුණුවට එම කල සමිඳු ෙඕපල්ගල කළා මේයක් නොකළ හැකි මිළ. 97. දම්රතන යතිවර උපැවිදි වුයෙන් වෙහෙරැර ඇරෑවුල ගරුතර සෝමරතනයි නමින් පුවතර 98 මහිමි පිරිවෙන් පති නිළයට තුටින් පත්වෙති එහිමියෝ ගණපති සේව නැණ ගුණ දෙකෙන් පොහොසති. 99. සැප හා දුක්හු නිති රිය සක ලෙසින් පෙරළෙති බොකළවෙල යති පති මෙවක දෙවියන් සමග එක් වෙති. 100. නැතත් කිසි කලබල ලැබගත් දැණුම සුවිපුල පැටි වුවද නැණ බළ සමිඳු අඹගස්වැවේ රාහුල 101. උරුමකම ඇත්තේ මහ පින් බලද ඇත්තේ සැමදෙන කැමැත්තේ විලස අදියුරු තෝර ගත්තේ.
19/23
102. පෙරට ලා යුතුකම පසෙක ලා තම ඉගෙණුම රැගෙන වගකීමම සුරැක ගත්තා අපේ විදු බිම. 103. නවසිය අසූ තුන වසර වනවිට පිරිවෙන පනස් විය සපිරුන තෙර නමක් සේ තෙදින් බැබළින 104. අඩසිය වසක් පිරි. වලගම්බ පිරිවෙන සිරි කුළදරුවො පින් පිරි පනස් දෙනෙකුට නිවනෙ දොර හැරි. 105. එවක ලක අගමැති රනසිංහ පෙම්දස් මැති සමගින් ඇමැති මැති අපේ මේ පිංකමට පැමිණෙති. 106. සමාධී වන සිත බෝරජු එදින රෝපිත සලසමින් සුවසෙත අදත් අපහට කියයි එපුවත. 107. හිමියෝ ඇරැවුල අවටැති සියලු ගම්වල
20/23
තනා කටු මැටිපැල කළා රෝපිත පනහෙ බෝ පැල. 108. ඇරෑවුල යති සඳ අකලට මිළිනවූ සඳ වළගම්බ පින් කඳ හැඬූ දිවරෑ දෙකේ ඉකි බිඳ 109. සොඳුරු රංගිර ගිර වෙණු මහ රජහු පින්සර දල්වනුව නැණ තිර සොයා බැලුවා කෙනෙක් පින්සර. 110. දිවනෙතට බලගතු හමුවිය කෙනෙකු බලගතු මෙම විදු බිමම සතු මිහිඳු නම් වී එපින්බර පුතු 111. නිළය පිරිවෙන් පති බණට දහමට හිත ඇති දඩුබැඳිරුප්පෙ බැති මිහිඳු පඬිහිමි සඳුට පැවරෙති. 112. සමිඳු පිරිවෙන් පති අදියුරු හිමිට ගැලපෙති එහිමිවරු කුළුණැති දෙමාපිය ලෙස සිසුන් රැකගති.
21/23
113. තිස්තුන වසර සිට වළගම්බ විදු මෑණිට සේවය කළ සැමට අවසරයි තුති මල් පිදීමට. 114 සෝමානන්ද, සරණංකර, උපනන්ද යා. ආනන්ද හිමි, හා ධම්මානන්ද බෙදුවෝ දරුවනට විදු නැණ මකරන්ද නමදිමු මහා තෙරවරු ඒ මන නන්ද 115 හේරත්, ජිනදාස, දම්දස්, මාරපන දුන්නෝ පිරිවෙනට මුල් යුගයේදි පණ හීන්බණ්ඩ, රත්නායක, ජයසේන කෙරුවෝ පිරිවෙනට සේවා අසමාන 116 අනුර, ගුණතිලක, කිරිබණ්ඩා, වැන්නෝ සිසු දරුවනගෙ නැණ වැඩුමට දිරි දුන්නෝ විකුම්සිහ, වසත්, විජෙසිං, පැමිණෙන්නෝ සුලු කාලයක සේවය අපහට දුන්නෝ. 117 දත් සකු මගධ ලේනව පියරතන හිමි හිමියන් උපාලි හා සිසු පිරිස දැමී පඤ්ඤාරතන හිමි පාලියෙ කිරුළ හිමි මෙහෙයති සිසු පිරිස සිඳ බිඳ අවිදු බැමි
22/23
118. සෙනරත් ලියනගේ ගනිතෙට පරසිද්ද මාරසිංහ තුන් බස් දත් සහසුද්ද කරුණාතිලක මැති විදු නැණ සන්නද්ද මහ සම්පත්ය පිරිවෙන ලත් දෑවැද්ද 119 මැති ජයසේන හා තාරක මැතින්දා රංගන සඳමාල් සිසුනගෙ මන බැන්දා දර්‍මසේන මැති දත් නෙක සිප් කන්දා පිරිවෙන් මවගෙ රැව ගුණ සැම අත ඇන්දා. 120. මධුර මනෝහර කුරවික නාදං පංකජ සන්නිභ මුඛ සුචි පුණ්ණං චන්ද ජොත්‍යභිධාන යතින්දං කිත්තිමනන්තං නමාමි නිච්චං. ( කොවුලකුගේ හා සමාන මිහිරි හඬ ඇති, මනාව පිපුණු පියුමක් හා සමාන මුහුණක් ඇති, අප්‍රමාන කිතු ගොසින් හෙබි චන්දජෝත්‍යාභිධාන නාහිමිපාණන් වහන්සේට නමස්කාර කරමි.) 121. මහනුවරින් ඇවිත් රංගිර බදාගෙන නොයෙකුත් දේ කරන කළ යුතු නියායෙන මාරසිංහ එම්. එම්. ඒ. දයාවෙන නිමකළෙ කුඩා මේ පොත මේ නියායෙන. සුභමස්තු.
23/23