පොඩි හාමුදුරුවන්ට දායකයෝ හරි ආදරෙයි. ඒ නිසා වස් කාලය අවසන් උනාට පස්සේ සිවුරු පිණිස රෙදි දෙකක්ම පූජා කළා. ‘මම මේ එකක් ලොකු හාමුදුරුවන්ට දෙන්න ඕන’ එහෙම හිතල පොඩි හාමුදුරවෝ ලොකු හාමුදුරුවන්ගේ පන්සලට ගිහින් එකක් පූජා කළා. “මට එපා පොඩි නම. මේක පොඩි නමම තියා ගන්න.” “එහෙම කියන්න එපා ලොකු හමුදුරුවනේ. මම කැමැත්තෙන්නේ මේක පිළිගන්වන්නේ ඒ නිසා ඒක පිළි ගන්න.” “එපා පොඩි උන්නාන්සේ. මට සිවුරු තියෙනවානේ. පොඩි උන්නාන්සේ තියා ගන්න.” “එහෙම කියන්න එපා ලොකු හාමුදුරුවනේ. මේ සිවුරු රෙද්ද ඔබ වහන්සේට පූජා කරන්නමයි ගෙනාවේ. ඔබ වහන්සේ නිසයි අද මම මේ තත්වයෙන් ඉන්නේ.” “ඒක ඇත්ත පොඩි උන්නාන්සේ. මට සිවුරු අවශ්‍ය නැහැ. මට ප්‍රමාණවත්ව තිබෙනවා. බහු භාණ්ඩික වෙන්න මට උවමනාවක් නැහැ.” ලොකුහාමුදුරුවෝ ආයෙත් කීවා. මෙච්චර බලාපොරොත්තු තියාගෙන ආවත් ඒක ඉටු නොවීම ගැන පොඩි හාමුදුරුවන්ට දුකයි. දෑසේ කදුලු පිරුණා. ලොකු හාමුදුරුවෝ මාත් එක්ක තරහ වෙලා තමයි මේක භාර නොගන්නේ. එහෙමනම් මම මොකටද තවත් මහණකමේ ඉන්නේ. මම සිවුරු ඇරල යනවා. මේ රෙදි කෑල්ල විකුණලා ගන්නවා එලිච්චියක්. ඒකෙන් මට පුලුවන් එලු පට්ටියක්ම හදා ගන්න. ඊට පස්සේ ටිකෙන් ටික දියුණු වෙලා සල්ලි හොයාගෙන හොඳ විවාහයකුත් කර ගන්නවා.

1/2

දරුවෙක් හම්බ උනාට පස්සේ ඒ චූටි පැටික්කත් අරගෙන, බිරිඳත් එකතු කරගෙන එනවා, ලොකු හාමුදුරුවෝ බැහැ දකින්ට. ඔන්න වංගුවක් ගන්නකොට බිරිඳගේ අතේ ඉන්න බබා වැටෙනවා බිමට. “ඔහොමද ළමයි බලා ගන්නේ? මේ ගෑණිට දෙකක් දෙන්නේ නැතුව හරි යන්නේ නැහැ.” කියල බිරිඳට ගහනවා. ඒත් අතේ තිබුනු වටාපතින් ගහල තියෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ ඔලුවට. “මොකද සංඝරක්ඛිත බිරිඳට පහර දෙන්න බැරුවද මට ගහන්නේ?”. ලොකු හාමුදුරුවෝ ඇහුවා. තමන් සිතු සියල්ල ලොකු හාමුදුරුවෝ දැන ගත්ත කියල තේරිලා ලජ්ජාවට පත් වෙච්ච පොඩි හාමුදුරුවෝ ඇත්තටම පන්සලෙන් පැනල ගියා. ඒත් අනෙක් හාමුදුරුවරු එයා අල්ලලා ලොකු හාමුදුරුවන්ට භාර දෙනවා. “ඔක්කොටෝම කලින් හිත පාළනය කර ගන්න පොඩි නම. මේ හිත දමනය කර ගන්න එක හරි අමාරුයි. කුලු හරකෙක් වගෙයි. එක තැනෙක ඉන්නේ නැහැ. හැම තැනම දුවනවා. විසිරෙනවා. මුරණ්ඩුයි. ඒ හිත දමනය කර ගත්තොත් මාරයාගේ බැමිවලින් මිදෙන්ට පුලුවන්.” ලොකු හාමුදුරුවෝ කරුණාවෙන් එයාට කරුණු කාරණා අවබෝධ කරල දුන්නා. පොඩි හාමුදුරුවෝ සංසාරේ යථා තත්වය අවබෝධ කර ගන්තා. නිවන් දැක්කා.

2/2

- ආනන්ද මාරසිංහ -