දෙවන අලුත් විහාරය. දඹුලු ලෙන් විහාරයේ අවසානයට හෙවත් පස්වැනිව ඇත්තේ මෙම විහාරයයි. එම නිසා ‘පස්වැනි විහාරය’ යන නමිනුත් හැඳින්වේ. එසේ වුවත් මෙම විහාරය, මහ අලුත් විහාරයටත් පසුව නිර්මාණය වූ නිසා එය ‘දෙවැනි අලුත් විහාරය’ යන නමින් හැඳින්වේ. එය කුමන වර්‍ෂයක කවරෙකු විසින් ඉදි කළාදැයි නිශ්චිතවම කිව නොහැකියි. ‘ලෝරි ගැසටියර්’ නමැති පොතේ සිංහල පරිවර්තනයේ, 180 පිටුවේ සිට 191 දක්වා පිටු අතර දඹුල්ල විහාරය පිළිබඳ වාර්තාවක් වෙයි. ඔහු එය උපුටාගෙන ඇත්තේ ආචාර්ය ‘ඩේවිගේ’ වාර්තාවකිනි. එම වාර්තාව ඩේවි ලියා ඇත්තේ 1919 දීය. ‘ලෝරි කියන්නේ විහාරයේ එම වාර්තාවේම සිදුවීම් හා විස්තරයට වඩා වැඩි යමක් ඉදිරිපත් නොවන නිසා එම වාර්තාවම යළිත් ඉදිරිපත් කරන’ බවයි. 1893 මිශ්‍ර පාඨශාලාවක ශිෂ්‍ය සංඛ්‍යාව ගැනද සඳහන් කරයි. එසේනම් මෙම වාර්තාව 1894 දී ලියුවායැයි උපකල්පනය කළත්, ඒ වන විට මෙම විහාරය නොතිබුණු බව සිතිය හැකිය. විහාරය තුළ ඇති සටහනේ ඇත්තේ 1915 දී එම විහාරය ප්‍රතිසංස් කරණය කළ බවයි. ඒ අනුව 1893ත් 1915 ත් අතර කාලයේදී මෙම විහාරය ඉදි කළ බව කෙනෙකුට සිතිය හැකිය. එසේ වුවත් ‘ශ්‍රීමත් එමර්‍ෂන් ටෙනන්ට්’ 1848 ජූලි 12 ලියන ලද වාර්තාවක සඳහන් වන්නේ මාතලේ ඉතා ප්‍රබල පොහොසත්

1/2

ප්‍රභූවරයෙක් වූ ‘දිවා නිළමේ’ වරයා විසින් මෑතකදී එකතුකොට සාදන ලද විහාරස්ථානයක් තමන්ට පෙන්වූ බවයි. එම මෑත කාලය වසර දෙකතුනක අතීතයට ගෙන ගියත්, 1848 ආසන්න කාලයේදී මෙම විහාරය ඉදි කරන්නට ඇති බව සිතිය හැකිය. මේ කාරණා දෙකම සඳහන් කළේ කෙනෙකුට තව දුරටත් ඒ ඔස්සේ කරුණු විමර්ශනයට පහසු කිරීමටය. (සමහර නිළධාරීන් තමන්ගේ ගැලවීම සදහා පැරණි වාර්තා මතම පදනම් වන නිසා දෙවැනි අදහස ගැලපේයැයි සිතමි) මේ තුළ ප්‍රතිමා11 ක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ ඇතුලු වනවිටම දෘෂ්‍යමාන වල මහ සැතපෙන පිළිමයයි. එම ප්‍රතිමාවේ ශීර්ෂය අසල හිටි, හිදි හා නාගදරණ සහිත හිඳි පිළිමයක්ද, පාද ආසන්නයේ සාමාන්‍ය ප්‍රමාණයේ, මධ්‍යයෙන් නාගදරණ සහිත හිඳි පිළිමයක් හා ඒ දෙපස හිඳි හිටි පිළිමය බැගින්ද නිර්මාණය කර තිබේ. නාගදරණය බුදුරජාණන් වහන්සේට සෙවන සලසමින් සය වැනි සතියේ බුදු රජාණන් වහන්සේට සෙවන සලසමින් සිටි මුචලින්ද නාග රාජයා සිහිපත් කරවයි. සෙසු විහාරගෙවල් වල මෙන්ම මෙම විහාරගෙහිද බිත්ති හා වියන සිතුවම් වලින් අලංකාර කර තිබේ. ඒ අතර සැතපෙන ප්‍රතිමාවේ පාදාසන්න බිත්තියේ, විෂ්ණු, කතරගම, හා දේවතා බණ්ඩාර, දෙවියන්ගේ සිතුවම් නිර්මාණය කර තිබේ. විහාර මන්දිරයට ඇතුල්වන ස්ථානයේම ඇතුළත බිත්තියෙහි මෙහි ප්‍රතිසංස්කරණය කරන ලද කෝරාළ කෙනෙකුගේ සිතුවමක් ඇඳ තිබේ. එහි සඳහන් කර තිබෙන්නේ ඇහැලේපොල උඩ වලව්වේ තොළඹුගොල්ලේ කෝරාළ විසින් 1915 දී ප්‍රතිසංස්කරණය කරන ලද බවයි. මෙම විහාරයේ තේවා කටයුතු කරනු ලබන්නේ මැද පන්සල මගිනි.

2/2

- ආනන්ද මාරසිංහ -