පශ්චිම විහාරය. දඹුල්ල ලෙන් විහාර කර්මාන්තයේදී ප්‍රථමයෙන්ම නිර්මාණය කරන ලද්දේ මෙම විහාරය බව විශ්වාස කෙරේ. එහි මුලින්ම ඉදිකරන ලද්දේ ප්‍රතිමා වහන්සේලා පස්නමක් එහි තිබූ නිසා එයට ‘පස්පිළිම ගේ’ යන නමද භාවිතා වේ. පශ්චිමව හෙවත් අවසානයට ඇති ලෙන් විහාරය නිසා හෝ බටහිර දෙසින් පිහිටි විහාරය නිසා පශ්චිම විහාරය යන නමද එයට භාවිතා වේ. (පශ්චිම යන්නෙහි බටහිර, අවසන්, යන අර්ථ දෙකම වැටේ) පසු කාලයේදී විටින් විට රාජ්‍ය පාලකයන් හා විහාරයේ අධිපතිත්වයට පත් ස්වාමින් වහන්සේලා විසින් ඉදිකරවන ලද ප්‍රතිමා වහන්සේලා නිසා, වර්තමානයේ මෙම විහාරගෙය තුළ ප්‍රතිමා වහන්සේලා 21 ක් වැඩ සිටිති. එම ප්‍රතිමා වහන්සේලා අතරට හිඳි පිළිම 19 ක් හා හිටි පිළිම දෙකක් අන්තර්ගතය. මෙම ගුහාවේ දිග අඩි 54 ක් වන අතර පළල අඩි 27 කි. මේ තුළ දර්ශණීය කුඩා දාගැබක් වේ . මෙය හඳුන්වනු ලබන්නේ ‘සෝමාවතී දාගැබ’ ලෙසය. ජනප්‍රවාදයට අනුව දඹුල්ල විහාර කර්මාන්තය අවසන් වීගෙන එන විට වළගම්බා රජතුමාගේ බිසව වන සෝමා දේවිය මෙහි

1/2

පැමිණියාය. විහාර කර්‍මාන්තයේ අසිරිය දුටු ඕ තොමෝ තමනුත් එයට දායක විය යුතු යැයි කියමින් ඇය පැළඳ සිටි සියලුම ආභරණ ගලවා විහාරයට පූජා කළාය. එහෙත් එහිදී රජතුමා කියා සිටියේ මේ විහාර කර්මාන්තයට අදාල සියලුම වියහියදම් දැන් පියවී ඇති හෙයින්, අනාගත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඒවා තැන්පත් කරන ලෙසය. ඒ අනුව විහාරගෙය තුළම කුඩා දාගැබක් තනවා ඒ සියලු ආභරණ එහි තැන්පත් කරන ලද්දේය. එම නිසාම එයට සෝමාවතී දාගැබ යන නමද තන ලද්දේය. මෙය ජනප්‍රවාදයකි. ඒ ජනප්‍රවාදයට අනුව යමින් පසුගිය වකවානුවක නිදන් හොරුන් විසින් දාගැබ බිද නිදන් සොයන ලද්දේය. නිදන් තිබුණාද නැද්දැයි නොදනිමු. නිදන් කැඩූ අයද නීතියට අසු නොවිනි. එහෙත් කටින් කට පැතිරී ගියේ එම කාර්යය සඳහා නිරත වූවන්ට ස්වභාව ධර්මයා විසින් නිසි දඩුවම් පැමිණ වූ බවය. මෙම ලෙණ තුළ අලුතින් සායම් කරන ලද හිඳි පිළිමයක් ඇතුල්වන දොරටුවට දකුණු පස කෙළවරේ වෙයි. එසේ කර ඇත්තේ සංචාරකයෙකුගේ අවිනීත හැසිරීමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම ලෙන් විහාරයේ තේවා කටයුතු භාරව ඇත්තේ උයන්වත්ත පුරාණ විහාරස්ථානයටයි.

2/2

- ආනන්ද මාරසිංහ -