මහ අලුත් විහාරය. දඹුලු ලෙන් විහාර මන්දිර අතර මහනුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදි කළ විහාරගෙය වන්නේ මහ අලුත් විහාරයයි. එය විහාර මන්දිරයක් ලෙස සංවර්ධනය වීමට පෙර හදුන්වන ලද්දේ ඇඳිරිගේ නමිනි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දඹුල්ල විහාරය වන්දනා කිරීමට පැමිණි අවස්ථාවකදී මහරජ විහාරයට ආසන්නයෙහි ගබඩා කාමරයක් සේ භාවිතා කරමින් වසා දමන ලද ලෙන් ගුහාවක් දැක්කේය. එතුමා ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී අඩි 90 දිග 81 ක් පළලැති ගුහාවක් එහි ඇති බව දැනගන්නා ලදී. එය ගබඩා කාමරයකට වඩා ප්‍රතිමා ගෘහයකට සුදුසු බව තේරුම් ගත් එතුමා ඒ සඳහා සුදුසු කාර්ය මණ්ඩලයක් පත් කර, නව විහාර කර්මාන්තයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම විහාර කර්මාන්තයෙහි මූලිකත්වය ගන්නා ලද්දේ අස්ගිරි විහාරවාසීව වැඩ වාසය කළ නාවින්නේ දම්මදස්සී නායක හිමිපාණන්ය. උන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව, රජතුමා විසින්ම එම කාර්ය භාරය පොතුහැර රතනපාල නාහිමියන් වෙත පවරා දෙන ලදී.
1/2
විහාර කර්මාන්තය නිමවීමෙන් පසුව සම්පූර්ණ දඹුලු රජමහ විහාරයේ බුද්ධපූජා ආදී වෑවස්තා කටයුතු නිසි ලෙස අවිච්ඡින්නව පවත්වන ලෙසට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තුඩපතකින් පොතුහැර රතනපාල නාහිමියන්ට පවරන ලදී. දඹුල්ල ලෙන් විහාරයන් අතර වැඩිම බුද්ධප්‍රතිමා සංඛ්‍යාවක් ඇත්තේ මෙම ලෙණ තුළය. සංඛ්‍යාව පනස් හතකි. මහරජ විහාරයේ ඇත්තේ පනස් හයකි. මේ තුළ හිටි පිළිම 42 ක්ද හිදි පිළිම 14 ක්ද, සැතපෙන පිළිම එකක්ද වෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පුතිමාවක්ද නෙලා ඇත. ඇතුලුවන දොරටුව ආසන්නයේ නෙලා ඇත්තේ එයයි. මේ ලෙන් විහාරයේ බිතු සිතුවම් අතර වැදගත් සිතුවම් දෙකක් වෙයි. එකක් වන්නේ වියනේ ඇඳි මෛත්‍රී බෝසතුන් විවරණ ලැබීමේ පුවත සඳහන් චිත්‍රයයි. අනෙක වන්නේ විහාරයට ඇතුළුවන විට දකුණු පස බිත්තියෙහි ඇද ඇති අනෝතත්ත විලේ සිතුවමයි. මෙම විහාරගෙහි වර්තමාන තේවා භාරකාරත්වය දරන්නේ රංගිරිපාය විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලායි.
2/2