මහරජ විහාරය. දඹුලු ලෙන් විහාර අතර විශාලතම ලෙණ වන්නේ ‘මහ රජ විහාරයයි.’ එහි දිග අඩි 122 ක්ද පළල අඩි 75 ක්ද වෙයි. ඔබ දඹුලු ලෙන් විහාරයට ඇතුල්වී එහි ඉදිරිපස මලුවේ ඇති බෝධීන් වහන්සේ අභියසින් ඇති පඩිපෙළෙන් ඇතුල් වූ විට මුලින්ම හමුවන්නේ මේ විහාරයයි. දකුණු පස පඩිපෙළෙන් බරාඳයට ඇතුල්වූ විට පළමුවෙන්ම හා දෙවැනියට හමුවන දොරටු දෙකෙන්ම මේ ලෙන් විහාරයට ඇතුල්විය හැකිය. එයට ඇතුල්වන විටම අමුතුම කලාගාරයකට ඇතුල්වූවාක් වැනි හැඟීමක් ඔබට ඇති වේ. මේ විහාරගෙය තුළ ප්‍රතිමා හැට දෙකක් වේ. ඉන් 56 ක් බුදු පිළිම වෙයි. සෙසු ප්‍රතිමා වන්නේ, දේවරූප දෙකක්, බෝසත් රූප දෙකක්, හා රජරූප දෙකකි. බුදුපිළිම අතරින් 39 ක් හිඳි පිළිමද, 16 ක් හිටි පිළිමද, 01 ක් සැතපෙන පිළිමද වෙයි. එම ප්‍රතිමා ලෙන් විහාරය ඇතුළත පිට බරාඳයට ආසන්නව නෙලා තිබේ .
1/5
මේ තුල පිහිටා ඇති කුඩා චෛත්‍යය හඳුන්වන්නේ ‘ගල්කුඩු සෑය’ නමිනි. එය එසේ හැඳින්වෙන්නේ පළමු වැනි විහාරය හෙවත් දෙව්රජ විහාරයේ නිර්මාණය කරන ලද පිරිනිවන් මඤ්චක ප්‍රතිමාව නෙලීමේදී කඩා ඉවත්කරන ලද “ගල්කුඩු පස්පෑල පල්ලැහක්” තැන්පත් කර ඇති නිසා බව දඹුලු තුඩපතෙහි සඳහන්වේ. මෙම විහාරය හඳුන්වන්නේ ‘මහරජ විහාරය’ යන නමින් බව මුලින් සඳහන් කළෙමු. එසේ වීමටද හේතුවක් තිබේ. මේ විහාරය තුළ මහරජවරුන් දෙදෙනෙකුගේ ප්‍රතිමා නෙලා තිබේ. ඒ මේ විහාර කර්මාන්තයේ මූලිකයා වූ වළගම්බා මහාරජාණන් වහන්සේගේ හා මෙහි ‘තෙසැත්තෑවක් පිළිමවල’ රන් ආලේප කර මෙය ‘රංගිරි දමුල්ල’ හෙවත් ‘ස්වර්ණගිරි ගුහා’ යැයි නම් කළ, නිස්සංකමල්ල මහරතුමාගේ ප්‍රතිමාවයි. මහරජවරුන් දෙදෙනෙකුගේම ප්‍රතිමාවන් නෙලා ඇති නිසා ‘මහරජ විහාරය’ යැයි නම් කළ බව ජනප්‍රවාදයේ එයි. (එසේම මහරජතුමාගේ ප්‍රතිමාව නෙලා ඇති විහාරය යන අදහසින්ද ඒ නම තබන්නට ඇත. මෙහි සැගවුණු අරුත වන්නේ ඔහු යටතේ උප රජවරුන්ද සිටි බවයි. මාතලේ අලුවිහාරයේදී පුස්තකාරූඪ සංගීතියට ප්‍රධානත්වය දෙන්නට ඇත්තේ එවැන්නෙක් විය හැකිය.) විහාරයට ඇතුල්වන ප්‍රධාන දොරටුව ආසන්නයේ, ඇතුළත වම් අත පැත්තෙහි නෙලා ඇත්තේ වළගම්බා රජතුමාගේ ප්‍රතිමාවයි. සැතපෙන පිළිමයේ ශීර්ෂය දෙසින් ඇති සමාධි ප්‍රතිමාවට පිටුපසින් නිශ්ශංකමල්ල රජතුමාගේ ප්‍රතිමාව නෙලා ඇත. එය විහාර අභ්‍යන්තරයට පැහැදිළිව නොපෙනේ. එයට හේතු වන්නේ නිශ්ශංකමල්ල රජතුමාගේ ප්‍රතිමාව නෙලීමෙන් පසුව පසුකාලයේදී ඒ ඉදිරියෙන් බුද්ධරූප නෙලීම බව සිතිය හැකිය. මෙම විහාර මන්දිරය තුළ දේව ප්‍රතිමා සතරක් නිර්මාණය කර තිබේ. දඹුල්ල විහාරය හා දඹුල්ල අඩවිය භාරව ඇත්තේ විෂ්ණු
2/5
දෙවියන්ට බව මුඛ පරම්පරාගත පිළිගැනීමයි. එසේ වුවත් දඹුලු විහාරයේ ඇති විෂ්ණු දේව ප්‍රතිමාවේ ඉතිහාසය ගත් විට එය මහනුවර රාජධානි සමයෙන් එහාට දිව නොයයි. දෙවුන්දර තිබුණු උපුල්වන් ප්‍රතිමාව කඩා මුහුදට විසිකළ බවත්, ත්‍රිකුණාමලයෙදී එය කෙවුලන්ට හමුවී ඔවුන් විසින් එය මහනුවර රජතුමා වෙත භාරදුන් බවත්, එතුමා මහනුවර ටික කලක් එය තබාගෙන දඹුලු විහාරයට ලබා දන් බවටත් ජනප්‍රවාද පවතී. එය එසේ වුවත් මහරජ විහාරයේ පවත්නා උපුල්වන් දෙව් රූපයේ ඉතිහාසය ඊට වඩා ඈතට දිවයයි. ලංකාව ආරක්ෂා කරන ලෙස ශක්‍ර දෙවියන් විසින් උපුල්වන් දෙවියන්ට භාරදුන් බවත්, ඒ නිමිති කරගෙන ඒ දෙවියන්ගේ රූපයක් දඹුලු ලෙන් විහාරයේ මහරජ විහාරයේ ඇඹු බවත්, එම කතා පුවත්වල සඳහන්වේ. මෙහි යම් සත්‍යතාවයක්ද ඇති බව පෙනේ. පැරැන්නන් තවම මහරජ විහාරයේ ඇති උපුල්වන් ප්‍රතිමාව වෙත පුද පූජා පවත්වති. විෂ්ණු දේවාලයේ කපු මහතුන්ද දිනකට එක් වරක් හෝ උපුල්වන් දේවප්‍රතිමාව ඇස ගැටීමට පුරුදුවී සිටිති. උපුල්වන් දේව රූපය අසලම තවත් දේවරූපයක් නිර්මාණය කර තිබේ. ඒ සමන් දෙවියන්ගේ රූපයයි. සමන් දෙවියන් යනු බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩිය අවස්ථාවේ උන්වහන්සේ සරණගිය දේවතාවෙකි. සිය පා සලකුණ සමන්තකූඨයෙහි තැබීමට උන් වහන්සේට සිදුවූයේත් සමන් දෙවියන්ගේ ඇරයුමෙනි. මේ දේවතා රූ දෙක පිහිටා ඇත්තේ මහරජ විහාරයේ වම්පස ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වන විට ඉදිරියෙන් හමුවෙන ප්‍රධාන පිළිමයට පසු පසින්, වම්පසට වන්නටය. උපුල්වන් රූපය නිල් පැහැයෙනුත්, සමන් ප්‍රතිමාව රන්වන් පැහැයෙනුත් නිර්මිතය. මෙම ප්‍රධාන පිළිමය දෙපස බෝධිසත්ව ප්‍රතිමා දෙකක් වේ. සමාන උසකින් යුත් මේ දෙකේ සුලු වෙනස් කම් කීපයක් වේ. මේ
3/5
දෙකෙන් වම් පසින් ඇත්තේ මෛත්‍රී බෝසත් රුවයි. දකුණු පසින් ඇත්තේ නාථ හෙවත් අවලෝකිතේශ්වර බෝසත් රුවයි. මෛත්‍රී බෝසත් යනු ථෙරවාදීන්ගේ පිළිගැනීම අනුව අනාගතයේ බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේය. නාථ යනු මහායානිකයන් පිළිගන්නා ලෙස අනාගතයෙහි බුද්ධත්වයට පත්වන බෝසත් වරුන් අතරින් ප්‍රධාන අයෙකි. මහායානිකයන්ට අනුව ඇත්තේ එකම බෝසත් කෙනෙකු නොවේ. සිය දහස් ගණන් බෝසත් වරුන් අතර නාථ හෙවත් අවලෝකිතේශ්වරද එක් අයෙකි. එහෙත් ඔහු බල සම්පන්න අයෙකි. කෙසේ වෙතත් මේ ආකාරයට මහායාන හා හීනයාන බෝසත් වරුන් එකම ස්ථානයක පිහිටුවා ඇති වෙනත් ස්ථානයක් සොයා ගත නොහැකි බව අනුරාධ සෙනවිරත්න ශූරීහු පවසති. එම සුවිශේෂී ප්‍රතිමා ද්විත්වයද තිබෙන්නේ මෙම මහරජ විහාරය තුළවීම විශේෂත්වයකි. මහරජ විහාරයේ තවත් අසිරිමත් සිදුවීමක් දැකිය හැකිය. ඒ කිසිදාක නොසිදෙන ජලබිඳුවක වෑහීමයි. විහාරයට ඇතුල්වන විට දකුණු අත පැත්තේ මධ්‍යයට වන්නට එය පිහිටා තිබේ. එහි දිය බිඳුව වෑස්සීම වර්ෂයේ සෑම දිනකම සිදුවේ. බඳුනකට එකතුවෙන එම ජලය බුද්ධපූජාව සඳහා භාවිතයට ගැනීම පෙර සිට පැවැති සිරිතකි. මෙම විහාරයේ වියන ගැබ් විසිපහකට බෙදා ඇඳ ඇති බුද්ධරූප ගණන 1025 කි. දහසක් බුදුවරුන්ගේ සංකල්පය එයට ඉවහල් වන්නට ඇතැයි සිතිය හැකිය. අප මුලින්ද සඳහන් කළාක් මෙන් මෙය විශාලතම අවකාශයක් ඇති ලෙණකි. එම නිසා ප්‍රතිමා ශිල්පීන්ටත්, චිත්‍ර ශිල්පීන්ටත්, සිය අභිමතය පරිදි තෙළිතුඩත්, හැන්දත්, භාවිතා කළ හැකිවිය. මෙහි ඇති සිතුවම් බොහෝමයක් පුමාණයෙන් විශාලය. ප්‍රථම
4/5
ධර්‍මදේශනාව හා මාර පරාජය සිතුවම් දෙක උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙහි වියන් සිතුවම් අතර බුදුරජාණන් වහන්සේ සිවුසාළිස් වසක් වස් විසූ තැන්ද, සත් සතිය ගත කළ තැන්ද, බුද්ධත්වයෙන් පසු ඒ ඒ වර්ෂයෙහි සිදුවූ විශේෂ සිදුවීම්ද, චිත්‍රණය කර තිබේ. වම්පස ඇතුල්වන ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇතුළත වියන් සිතුවමෙහි තීරු ලෙස බුද්ධචරිතයේ වැදගත් සියලුම අවස්ථා චිත්‍රණය කර, අවසානයේදී පිරිනිවන් පෑමත්, ආදාහනයත්, ඉන්පසුව ධාතු තැන්පත් කර සෑදූ දස ථූපයනුත්, ඇඳ තිබේ. මධ්‍යයේ ඇති රතු පිළිමය ආසන්නයේ පිට බරාඳ බිත්තියේ දුර්ලබ සිතුවමක් දක්නට ලැබේ. ඒ දුටුගැමුණු එළාර යුද්ධයේ සිතුවමකි. විෂයානුබද්ධ ප්‍රවීණයන්ගේ මතය අනුව දුටුගැමුණු රජතුමාගේ ධජය ගැන ජීවමානව ගත හැති පැරණිම ශාක්ෂිය එයයි. නිශ්ශංකමල්ල රජතුමාගේ ප්‍රතිමාව නෙලා ඇති පාර්ශ්වයෙහි පිට බරාඳ බිත්තියෙහි, ලංකා ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් මෙන්ම බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන සුවිශේෂී සිදුවීම්ද චිත්‍රයට නගා ඇත. සුවිශේෂි අවස්ථාවල පුද පූජාවන් පවත්වන්නේ මේ ලෙන් විහාරය තුළය. එයට හේතුව වන්නේ එහි ඇති ඉඩකඩ ප්‍රමාණය විශාල වීමය. මෙම ලෙන් විහාරයේ තේවා කටයුතු භාරව ඇත්තේ මැද පන්සලටය. එය පිහිටා ඇත්තේ ලෙන් විහාරයේ බටහිර බෑවුමෙහිය. වළගම්බා පිරිවෙන පිහිටා ඇත්තේද එම පරිශ්‍රය තුළය.
5/5