දෙව්රජ විහාරය ඔබ දඹුලු විහාරයේ වාහල් කඩින් ඇතුල් වීමෙන් පසු දකුණු පැත්තෙන් හමුවෙන පළමු විහාරගෙය හඳුන්වන්නේ ‘දෙව්රජ විහාරය’ යනුවෙනි. එම විහාරගෙය තුළ ප්‍රතිමා වහන්සේලා 07 නමක් වැඩ සිටිති. ඉන් ප්‍රධාන වන්නේ අඩි 27 ක් දිග පිරිනිවන් මඤ්චක ප්‍රතිමාවයි. එම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේදී විශ්වකර්ම දෙවියන්ගේ සහය ලබාගත් නිසා එයට ‘දෙව්රජ විහාරය’ යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි. මෙම ප්‍රතිමාව නෙලා ඇත්තේ පිහිටි ගලේ සම්පූර්ණ උන්නත වන ආකාරයටය. ප්‍රතිමා ශිල්පියාගේ අපූරු නිර්මාණ කුශලතාවය ඉන් මනාව පිළිඹිඹු වේ. පිරිනිවන් ප්‍රතිමාවක හා සැතපෙන පිළිමයක වෙනස හඳුනාගත හැකි ආකාර පහක් දැක්වේ. අඩවන් දෑස, රැස්මාලා නොමැති සිරස, ඇතුළට නෙරුණු කුස, පසුපසට ඇදුණු පාදයේ මහපටැගිල්ල, ඉදිරියට නෙරුණු දනහිස,. දඹුල්ල ලෙන් විහාරයේ දෙව්රජ විහාරයේ ඇති ප්‍රතිමා වහන්සේගේ එම ලක්ෂණ පැහැදිළිවම දක්නට ඇත. එම නිසා එය පිරිනිවන් පිළිමයක් බව කිව හැකිය. මෙම ප්‍රතිමා ලෙණ සහ ප්‍රතිමා වහන්සේ වළගම්බා මහරජතුමාගේ සමයේ නිර්මාණය කරන ලද අතර, නිස්සංකමල්ල,

1/4

සෙනරත්, හා කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයන්හිදී ප්‍රතිසංස්කරණයන්ට ලක්ව තිබේ. මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවිය. ප්‍රතිමා ශිල්පියා අතින් එය කෙතරම් අපූරුවට නිර්මාණය වූවාද යතහොත් එහි නේත්‍රා තැබීමට ඔහු බියවිය. අපේ වහරේ පවතින්නේ නේත්‍රා කිරීමේදී එයට අවශ්‍ය චාරිත්‍රවාරිත්‍ර ඒ ආකාරයෙන් ඉටු නොවුනහොත් හෝ අඩුපාඩුවක් වුවහොත් ශිල්පියාට වස් වදින බවයි. මෙතරම් අලංකාරෙට ඉදිවූ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා නිසියා කාරව නොපිහිටියොත් තමන්ටත් වස්වදීවි යන බිය ඔහුටද ඇතිවිය. එම නිසා නේත්‍රා තැබීම ඔහු ප්‍රමාද කළේය. රජතුමා මේ පිළිබදව ඔහුගේ බිය තුරන් කළත්, ඔහුගේ පසුබෑම එසේම විය. ශක්‍ර දෙවියන්ට මේ ගැටලුව දැන ගත හැකි විය. මෙවන් අසිරිමත් නිර්මාණයක් අතරමග නැවැත්විය නොහැකි බව අවබෝධ කරගත් ශක්‍ර දේවේන්ද්‍රයා එහි කටයුතු අවසන් කරන ලෙස විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට දැන්වීය. සක් දෙව් රජුගේ අවසරය හා අණ ලැබූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මධ්‍යම රාත්‍රියේ පැමිණ ප්‍රතිමාවේ නේත්‍රා තැබීය. මෙය දැනගත් මහරජු මහත් උත්සව පවත්වා ප්‍රතිමාව මහජන වන්දනා මානනයට විවර කළේය. මෙම අසිරිමත් ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් රජතුමා මහත් ගෞරවයක් දැක්වීය. ප්‍රතිමාවේ සෑම ශරීර කොටසක් වෙනුවෙන්ම ගම්වරක් බැගින් පූජා කළේය. සිරසට- සිරස ගමුව. නළලට- නළල් ගමුව. දෑසට - දෑස් දෙණිය. කන්වලට - කණ්ඩලම. (දෙකකි) නිකටට- නිකවටවන. ගිරියට - ගිරිය ගමුව. වැලමිටට- වැලමිටියාව. බඩට- බඩගමුව.

2/4

පිටට- පිටගමුව. දෑලට- ඇලගමුව (දෙකකි) දනහිසට - දනගමුව. පාදයට- පාදෙනිය.(දෙකකි) මෙම ගම්මාන පූජා කරන ලද්දේ විහාරස්ථානයේ තේවා කටයුතු නිසිපරිදි කරගෙන යාමේ පරමාර්ථයෙනි. එහෙත් අද ඒ තත්වය වෙනස් වී ඇති බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය. මෙම ප්‍රතිමා ගෘහය අඩි 37 ක් දිගය. 11 ක් පළලය. මෙහි ප්‍රතිමා හතක් තිබේ. ඒ අතර බුද්ධප්‍රතිමා පහක් තිබේ. එකක් මුලින් කී සැතපෙන පිළිමයයි. හිඳි පිළිම සතරක් තිබේ. එක ශ්‍රාවක පිළිමයකි. පිරිනිවන් ප්‍රතිමාවේ පාදය අසල ඇති හිටි පිළිමය එයයි. එය ආනන්ද හිමියන්ගේ බවයි විශ්වාස කරන්නේ. මෙහි පසුකාලීනව තැන්පත් කළ විෂ්ණු දේව ප්‍රතිමාවක්ද තිබේ විහාරයේම කොටසක් ඒ සඳහා වෙන්කර තිබේ මුල් කාලයේදී විහාරගෙය තුළින්ම ගොස් දේවපූජා පැවැත්වීමට හැමදෙනාටම ඉඩ කඩ තිබුණත්, වර්තමානයේ ඒ සඳහා වෙනමම දොරටුවක් සහ ප්‍රවේශ මාර්ගයක් සකසා ඇත. එහෙත් කෙම්මුර දිනවලදී ප්‍රධාන කපු මහතා පමණක් විහාරගෙය තුළින් ඇති දොරටුව භාවිතා කරයි. දඹුල්ලේ සෙසු ලෙන් විහාර සමග සසදන විට මෙය පටු ලෙනකි. ඒ නිසාම වන්දනා කරුවන්ගේ තෙරපීම වැඩිවෙන අතර පිත්තිවල ඇඳ ඇති චිත්‍රවලට සිදුවිය හැකි ආපදාවන්ද අධිකය. බිත්තිය හා සිවිලිම සිතුවමින් අලංකාර වී තිබේ. ඒ අතරත රහතන් වහන්සේලාගේ රූප සහ මල් මෝස්තරද වේ. මේ සිතුවම් අතර විශ්වකර්ම දිව්‍යපුත්‍රයාග් රූපයක්ද ඇඳ තිබේ. එය ඇඳ ඇත්තේ ඇතුලුවන දොරට ඉහළින් අභ්‍යන්තරයේ උඩලිපත ආසන්නයේය. එහි ඇති අඳුර නිසා එය පැහැදිළිව නොපෙනේ. මෙම ලෙන් විහාරයට ඇතුල්වන ස්ථානයේ ඉදිරියෙන් පාෂාණමය ටැංකියක් වෙයි. සමහරවිට එය පුරාණයේ විහාර

3/4

මන්දිරයට ඇතුල්වන විට භික්ෂූන් වහන්සේලාගේ පා ධෝවනය සඳහා භාවිතා කළ එකක් වන්නටද පුලුවන. නිස්සංකමල්ල රජතුමා විසින් දඹුල්ල විහාරයේ ප්‍රතිමාවල රන් ආලේප කරන විට මෙම විහාරගෙහි පැවති ප්‍රතිමාවලද රන් ආලේප කරන්නට ඇත. මෙම ‘දෙව්රජ විහාරයේ’ තේවා කටයුතු සිදුවන්නේ උයන්වත්ත රජමහ විහාරයේ අධීක්ෂණය යටතේය. උයන්වත්ත රජමහ විහාරය යනු විහාරයේ තේවා පන්සල් සතරෙන් එකකි. එය දඹුලු ගලට නැගෙනහිර දෙසින් පිහිටියේය. අද එය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘ගෝල්ඩන් ටෙම්පල්’ යන නමිනි. ධර්මචක්‍ර ප්‍රතිමා වහන්සේ පිහිටියේ එහිය. දඹුල්ල විහාරයට පූජා කරන ලද බොහෝ පූජාවන් දෙව්රජ විහාරයේ ප්‍රතිමා වහන්සේ හා ශ්‍රී විෂ්ණු දේවාලය කේන්ද්‍ර කරගෙන පූජා කර තිබීමත් නිසා මෙම ලෙන් විහාරය සුවිශේෂී බවින් යුක්තය.

4/4

- ආනන්ද මාරසිංහ -